ජාත්‍යන්තර කඳුකර දිනය අදයි… ජීවිත රකින කඳුකරය රකිමු

459

ලොව පුරා ඇති කඳුකර පරිසරය, සොබාදහම හා ජීවින්ගේ පැවැත්ම උදෙසා නොනිමි මෙහෙවරක් සිදුකරනු ලබයි. මුහුදු මට්ටමේ සිට මීටර් 300ට වඩා උස්වූ ප්‍රදේශ කඳුකර ලෙස හඳුන්වනු ලබන අතර මෙම ප්‍රදේශ මගින් මිහිතලයේ සුන්දරත්වය ඔප්නැංවීමට නොමඳ දායකත්වයක් ලබා දේ. ජෛව ගෝලයෙන් 27% ක පමණ පරාසයක් පුරා මෙම කඳුකර ප්‍රදේශ පැතිර පවතී. මෙම ප්‍රදේශවල විවිධත්වයෙන් යුත් වාසස්ථාන විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර ජෛව විවිධත්වයෙන් ද අනූනවේ. කඳුකරයේ පවතින විශේෂිත වූ පාරිසරික සාධක භූගෝලීය සාධක, දේශගුණික සාධක හා වර්ෂාපතනය හේතුකොට ගෙන ඉහළ ජීවී විශේෂ සංඛ්‍යාවක් වාසය කරයි. ලෝක ජනගහනයෙන් බිලියනයක් පමණ ජනතාව කඳුවැටි ආශ්‍රිතව ජීවත් වන අතර ආහාර, ජලය මෙන්ම නැවුම් ශක්ති ප්‍රභවයන් ලබා ගැනීම සඳහා මෙම කඳුකර ප්‍රදේශ උපයෝගි කරගනු ලබයි. පෘථිවියේ පවතින භූගත ජලය හා ගංගාවල ජල උල්පත් සඳහා මනා රැකවරණයක් ලබාදෙමින් මිනිස් ජීවිතයේ පැවැත්ම උදෙසා ජලය සපයන පෝෂක ප්‍රදේශ වශයෙන් කඳුකරය නොනිමි මෙහෙවරක් සිදු කරනු ලබයි. කඳුකරය සහ මිනිසා අතර ඇති සබඳතාව වෙන් කළ නොහැකි තරම්ය. කඳු වැටි මානව වර්ගයාගේ පැවැත්මට දක්වන නොබිඳිය හැකි දායකත්වය හේතුවෙන් මිහිතලයට කඳුකරයේ ඇති වටිනාකම මෙන්ම එය සුරැකීමට ඇති අවශ්‍යතාවය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2002 වසරේ දෙසැම්බර් මස 11 දිනය ජාත්‍යයන්තර කඳුකර දිනය ලෙස නම් කරනු ලැබීය. එතැන් සිට සෑම වසරකම විවිධ තේමාවන් ඔස්සේ මෙම දිනය සමරනු ලබන අතර “Women move mountains ” (කඳුකරයේ පැවැත්ම උදෙසා වනිතා මෙහෙවර) මෙවර කඳුකර දින තේමා පාඨය වේ.

කඳුකරයේ පිහිටි භූ විෂමතාවය, වර්ෂාපතනය, සූළඟේ බලපෑම වැනි සාධක කඳුකරය තුළ ඉතා පැහැදිලි දේශගුණික විවිධත්වයක් දැරීමට හේතුවේ. ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 1/3 පමණ කඳුකරයට අයත්වන අතර නිවර්තන සදාහරිත වනාන්තර, කඳුකර වියළි වනාන්තර, කඳුකර තෘණ භූමි මෙම කඳුකර ප්‍රදේශවලට අයත් වේ. එසේම ගංඟා දියඇලි හා ස්වාභාවික පොකුණු ආදියෙන් පාරිසරික විවිධත්වයද චමත්කාරය ද ඉහළ නංවයි. ලොව අනෙකුත් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශ සුන්දරත්වයෙන් මෙන්ම ඉහළ ආර්ථික වටිනාකමකින් යුක්ත වේ.

සාමාන්‍ය වනගත ප්‍රදේශවලට සාපේක්ෂව ක්‍රියාකාරීත්වය අවම ප්‍රදේශ ලෙස කඳුකරය සැලකිය හැකි අතර ජෛව විවිධත්වය සාපේක්ෂව සුරැකිව පවතී. ලංකාවේ නිරිතදිග වැසි වනාන්තර මගින් ආවරණය වන කඳුකර ප්‍රදේශවල අධික ජෛව විවිධත්වයක් හා ආවේනිකතාවයක් පවතී. බොහොමයක් කඳුකර වනාන්තරවල ඉතාම දුර්ලභ ශාක පිහිටන අතර එම පරිසර විනාශ වීමෙන් ශාක විශේෂ වඳවීයෑමේ තර්ජනයට මුහුණ පා තිබේ. මෙරට ප්‍රධානම ජල පෝෂක ප්‍රදේශ ලෙස කඳුකරයට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර එය මුළු රට පුරාම හිතකර පාරිසරික තත්ත්වයන් සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වේ.

ලංකාවේ කඳුකර ප්‍රදේශ සලකා බලන කල ආර්ථිකයේ උන්නතියට විවිධාකරයන් දායක වේ. සංචාරක කර්මාන්තය, එළවළු පලතුරු වගාව ඇතුළත් කෘෂිකර්මාන්තය, පැණි හකුරු කර්මාන්තය, වේවැල් කර්මාන්තය, කැපුම්මල් වගාව හා විසිතුරු පැල වගාව ආදී ක්‍රියාකාරකම් කඳුකරය හා බැඳී පවතී. එමෙන්ම හුදකලාමය සුන්දරත්වයෙන් යුතු ඇතැම් කඳුකර ප්‍රදේශ භාවනාමය වැනි අධ්‍යාත්මික කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශිකයන්ගේ ආකර්ෂණයට භාජනය වී ඇත.

ජාත්‍යන්තර කඳුකර දිනය අදයි… ජීවිත රකින කඳුකරය රකිමු

පෙර සඳහන් පරිදි සොබාදහමේ චමත්කාර බව ඔප්නංවමින් ඇති කඳුකරය සංචාරක කර්මාන්තයට මංපෙත් සාදමින් රටෙහි ආර්ථික උන්නතියට වැදගත්වූ දායකත්වයක් දක්වයි. කාර්යය බහුල අවිවේකී දිවිපැවැත්මක් ගතකරන නූතන මිනිසා හට කඳුකර පරිසරය විඳීම තුළින් කායික මෙන්ම මානසික සුවදායක බවක් ලැබේ. පවුල තුළින් සමාජයට මේ පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා කාන්තාවගේ භූමිකාව වැදගත් වේ. කඳුකරය ආශ්‍රිතව ජීවත් වන ජනතාව බොහෝ විට ග්‍රාමීය පරිසරයකට හිමිකම් කියනු ලබන අතර මොවුනට කඳුකරයේ වටිනාකම සහ එය මිනිසාගේ දිවිපැවැත්ම යහපත් කිරීමට ලබාදෙන දායකත්වය පිළිබඳ දැනුම අල්ප වේ. මෙහිදී විවිධ පරිසර සංවිධාන හා ස්වෙච්ඡා සංවිධාන මගින් දැනුවත් කිරීමේ වැඩසටහන් හා වැඩමුළු සිදුකිරීම හා ඒවාට සහභාගි කරවීමේ කටයුතු කාන්තා බල ගැන්වීමක් සහිතව සිදු කිරීම තුළින් කාන්තා දායකත්වය ලබා ගැනීම වැදගත්වේ.

කඳුකර දිනය සමරමින් විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබන අතර ඒ අනුව කඳු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, කඳු ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කිරීම, කඳුකර ප්‍රදේශ සංචාරක වශයෙන් ප්‍රචලිත කිරීම, කඳු තරණය, පරිසරය සුරැකීමේ වැඩසටහන් සංවිධානය කිරීම මේ අතරින් ප්‍රධාන වේ.

කඳුකර ප්‍රදේශවල විනෝදය සඳහා කඳුනැඟීම, රාත්‍රි කඳවුරු ගතකිරීම ආදී සංචාරක කර්මාන්තය තුළදී අද වන විට පිරිමින් මෙන්ම කාන්තාවගේ දායකත්වය දක්නට ලැබේ. එසේම කඳුකර ප්‍රදේශයන් සුරැකීම සම්බන්ධයෙන් කාන්තා සහභාගිත්වය සිදුකිරීමේදී රාජ්‍ය අංශයට මෙන්ම රාජ්‍ය නොවන අංශවලටද ඉමහත් දායකත්වයක් ලබා දිය හැක. කඳුකර ප්‍රදේශයන් ආශ්‍රිතව අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම, ජල විදුලි කර්මාන්තය, පතල් කර්මාන්තය හා අවිධිමත් සංචාරක කටයුතු මෙන්ම තිරසාර භාවිතයෙන් තොරව සිදුකරනු ලබන කෘෂිකාර්මික කටයුතු ආදියෙන් ජෛව විවිධත්වයෙන් පොහොසත්වූ කඳුකරයේ පැවැත්මට තර්ජනයන් සිදුවේ.

කඳුකරය ආශ්‍රිතව බොහොමයක් ගම්මාන පැතිරී පවතින අතර ඔවුනගේ අවශ්‍යතා කඳුකරයෙන් සපයා ගැනීම සිදුවේ. මෙහිදී අවට වාසය කරන ප්‍රජාවන් හට කඳුකරයේ පරිසරය නොනැසෙන පරිදි පරිභෝජන ජීවන රටාව සඳහා එය භාවිතා කිරීම පිළිබඳ අවබෝධයක් ලබාගැනීම කඳුකරයේ මනා පැවැත්මට ඉවහල් වේ. මේ සඳහා කඳුකරය අවට ගම්මානවල පාසල් පද්ධතිය තුළ ගුරුවරියන් හා පාසල් සිසුන් ඇසුරෙන් සිදුකළ හැකි කාර්යය භාරය ඉමහත් වේ. එසේම කඳුකර ගම්මාන අවට තිබෙන ශාක හා පැළෑටි හඳුනාගැනීම, එහි තිබෙන වැදගත්කම, තිරසර පරිභෝජනය හා නැවත රෝපණය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සඳහා කාන්තා දායකත්වය ලබා ගැනීම වැදගත්වේ. කඳුකරය ආශ්‍රිතව ජීවත් වන ගැමි කාන්තාවන්ගේ ජීවනෝපායන් සඳහා පැණි හකුරු, මී පැණි මෙන්ම බට, වේවැල් වැනි කර්මාන්තයන් මෙන්ම දෙමුහුන් විසිතුරු පැළෑටි, මල් වගාව සඳහා යොමුවීම තුළින් ආර්ථිකමය වටිනාකමක් ලැබෙන අතරම තිරසර ලෙස භාවිතය තුළින් කඳුකරයේ පැවැත්ම සඳහා ඉවහල් වන දායකත්වයක් මෙම කාන්තාවන්ගෙන් ලැබේ.

ජාත්‍යන්තර කඳුකර දිනය අදයි… ජීවිත රකින කඳුකරය රකිමු

එසේ වුවද නිසි කළමනාකරණයෙන් තොරව සිදුකරන කෘෂිකාර්මික කටයුතු, වානිජමය දැව කැපීම්, අවිධිමත් සංචාරක ක්‍රියාකාරකම්, අවිධිමත් පතල් කැනීම් හා අවිධිමත් ලෙස ප්ලාස්ටික් පොලිතීන් මෙන්ම වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරීම් වැනි කටයුතු හේතුවෙන් සුන්දරත්වයෙන්ද ජෛව විවිධත්වයෙන්ද වැදගත් වන කඳුකරයට වර්තමානයේදී ඉමහත් තර්ජනයකට ලක්ව ඇත. මෙම තර්ජනයන් හේතුකොට ගෙන එහි ජෛව විවිධත්ව හායනය, පාංශු ඛාදනය, නායයෑම් වැනි විවිධාකාර විනාශයන්ට මුහුණ දෙමින් පවතී. එසේම නිසි පරිදි ඇගයීමක් නොමැතිව සිදුකරන ජල විදුලි බලය උත්පාදනයන් හා විශාල කෘෂිකාර්මික යෝජනා වැඩසටහන් හේතුවෙන්ද කඳුකර පරිසරයට එල්ල වන අහිතකර බලපෑම ද සුළුපටු නොවේ.

මෙලෙස තර්ජනයන්ට ලක්ව පවතින කඳුකරය රැකගැනීම සඳහා පියවරයන් ගැනීම අප සැමගේ යුතුකමක් හා වගකීමක් වේ. මෙහිදී කඳු හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම සඳහා ඒවා රක්ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීම, එම ප්‍රදේශ සඳහා ආරක්ෂිත ගොවිතැන් ක්‍රම හඳුන්වා දීම, කඳුකරයේ වැදගත්කම මෙන්ම සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම වැනි ක්‍රියාවන් තුළින් මෙම වටිනා පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සිදුකළ හැකි වේ.

මෙසේ පරිසර විද්‍යාත්මකව මෙන්ම ජෛව විද්‍යාත්මකව වැදගත් වන කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමට අප සියලු දෙනාගේ දායකත්වය ලබා දිය යුතු වේ. එසේම කඳුකරය තිරසර ලෙස භාවිතා කරමින් සංරක්ෂණය කිරීම තුළින් මෙම මිහිතලයේ සුන්දරත්වය ඉහළ නැංවීමටත් පාරිසරික මෙන්ම ආර්ථිකමය ලාභයන් ලැබීමටත් ඉවහල් වනු ඇත.

දිනේෂා ලියනආරච්චි
සංවර්ධන නිලධාරි,
ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය,
පරිසර අමාත්‍යාංශය.

advertistmentadvertistment
advertistmentadvertistment