නෙත්මි අහිංසා පිළිබඳ ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වූයේ පසුගියදා පැවැත්වූ වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියේදී ඇය හිමිකරගත් ලෝකඩ පදක්කමත් සමගයි. ස්පාඤ්ඤයේ පැවති මෙම තරගාවලියේදී නෙත්මි අහිංසා පෝරුතොටගේ තරග වැදුණේ කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේයි. එහිදී තරගාවලියේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේදී ඇයගේ ප්‍රතිවාදියා වූයේ බෙලරූස් රාජ්‍යයේ වෙලරියා මිකිට්සිච්. එහිදී ඇය එම තරගය ජයගත්තේ 6ට 2ක් ලෙසින්. මේ අනුව නෙත්මි අහිංසා ක්‍රීඩිකාව ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට එක්වන්නේ ලෝක ශූරතා තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනාගත් එකම යොවුන් මල්ලවපොර ක්‍රීඩිකාව ලෙසයි. ශ්‍රී ලංකාවේ මල්ලවපොර තරග පිටිය වෙනස් කළ නෙත්මි තවමත් විසිවැනි වියේ පසුවන ක්‍රීඩිකාවක්. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නෙත්මිට ලබාදිය හැකි තවත් බොහෝ ජයග්‍රහණ ඉතිරිව තිබෙනවා. මෙම පසුබිම මත දිවයින ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් මෙකී සටහන සැකසෙන්නේ නෙත්මි පිළිබඳ අප කළ විමසුමක ප්‍රතිඵලයක් ලෙසයි.
කුරුණෑගල පන්නල ප්‍රදේශයේ වෙල්පල්ල ගමෙහි උපන් නෙත්මි ක්‍රීඩාවට කිසිවිටකත් ඇලුම්කම් නොදැක්වූ දැරියක්. එහෙත් තම වයසට සාපේක්ෂව සිරුරේ බර වැඩි නිසා ඇය තම හොඳම මිතුරියගේ ආරාධනයෙන් මල්ලවපොර ක්‍රීඩාවට යොමු වූයේ තරමක් අහම්බෙන්. එහිදී ඇයගේ පළමු පුහුණුකරු වූ ටී. එස්. සුරංග කුමාර නෙත්මි සතු සුවිශේෂ හැකියාව හඳුනාගෙන ඇයට මල්ලවපොර ක්‍රීඩාවෙන් බොහෝ ගමනක් යා හැකි බව පැහැදිළි කර දුන්නා. මෙලෙස මල්ලවපොර ක්‍රීඩාවට යොමු වූ නෙත්මි වසරක් අවසානයේ තමන්ගේ සියලුම දේශීය ප්‍රතිවාදීන් පරාජයට පත්කරමින් කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ ජාතික ශූරිය බවට පත්වූයේ අනාගතය පිළිබඳ සුබවාදී අපේක්ෂාවන් පෙන්නුම් කරමින්. මෙයින් අනතුරුව ජාතික තලයෙන් ජාත්‍යන්තර මල්ලවපොර පිටියට අවතීර්ණ වූ නෙත්මිගේ ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය වූයේ 2022 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලයි. බර්මින්හැම් නුවර පැවති මෙම තරගාවලියේදී ප්‍රබල ඔස්ටේ්රලියානු ක්‍රීඩිකාව පරාජයට පත්කොට ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි සමත්වුණා. මෙම ජයග්‍රහණය නෙත්මිට අතිශයින් වැදගත් වූයේ මෙය ඇයගේ දෙවැනි ජාත්‍යන්තර තරගාවලිය පමණක් වීමත්, මේ වන විට ඇයගේ වයස අවුරුදු 18 ක් පමණක් වීමත් නිසායි. මෙම තරගාවලි ජයග්‍රහණයත් සමග නෙත්මි අදිටන් කරගත්තේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණයට වඩා ප්‍රබල අභිමානයක් දිනා දීමට කටයුතු කරන බවයි.
මින් පසුව ඇයට මුහුණ දීමට සිදුවූයේ ලෝකය තුළ සිටින අතිප්‍රවේගකාරී ක්‍රීඩිකාවන් තරග කරන වයස අවුරුදු 20 න් පහළ ආසියානු මල්ලවපොර ශූරතාවලියට වීම විශේෂත්වයක්. ජපානය, චීනය, ඉන්දියාව සහ මොන්ගෝලියාව වැනි කලාපයේ පමණක් නොව ලෝකයේම විශිෂ්ට ක්‍රීඩිකාවන් තරග වදින මෙම තරගාවලිය නෙත්මිට ප්‍රබල අත්දැකීමක් වූ බව ඈ පවසනවා. එම තරගාවලියේදී ඇය මෙතෙක් මුහුණ දුන් කිලෝ ග්‍රෑම් 57 බර පන්තියට සමු දී වඩාත් අභියෝගකාරී බර පන්තියක් වන කිලෝ ග්‍රෑම් 53 බර පන්තියෙන් තරග කිරීමට ඇය කටයුතු කළා. මෙහිදී ප්‍රබල ක්‍රීඩිකාවන් සමග නිදහස් ආර තරග අංශයෙන් ක්‍රීඩා කළ නෙත්මිට තම බර පන්තිය යටතේ ලෝකඩ පදක්කම දිනාගැනීමට හැකිවීම ලෝක ශූරතා ගමනට මනා පෙරහුරුවක් සහ අත්දැකීමක් වූ බව විශ්වාස කරනවා. වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීම සඳහා නෙත්මි අහිංසා ගමන් කළේ මේ අයුරින්. ඒ අනුව මේ වන විට ආසියාවේ පමණක් නොව ලෝකයේම කාන්තා මල්ලවපොර පිටිය තුළ තම නාමය සටහන් කිරීමට නෙත්මිට හැකි වී තිබෙනවා. ක්‍රීඩාව වෙනුවෙන් නිසියාකාරව කැපවෙමින්, අධ්‍යයනයක් සහිතව, තම ක්‍රීඩාවේ නිරතවෙන නෙත්මි මේ වන විට ඒ සඳහා අවශ්‍ය ප්‍රබල මානසික ශක්තියක් ද ගොඩනඟාගෙන අවසන්.
නෙත්මි සතු ඊළඟ අපේක්ෂාව වී ඇත්තේ 2028 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමත් එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනාගැනීමත් වේ. ඉදිරි වසර හතර තුළ තමන්ට ඒ සඳහා ගමන් කළ හැකි බව ඇයගේ ප්‍රබල විශ්වාසය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේදී සිය පුහුණුවීම් සිදුකරන විට ඇය සෑම විටම තරග කරන්නේ පිරිමි මල්ලවපොර ක්‍රීඩකයන් සමග පමණක් බවත් එහිදී ඇයට ශක්තිමත් ප්‍රතිවාදීන් හමුවන බවත් ඇය පවසනවා. ඒ සෑම අවස්ථාවකම ඇයට එකී ක්‍රීඩකයන් සමග හොඳින් තරග කළ හැකි වුවත් මල්ලවපොර ක්‍රීඩාවේ තාක්ෂණික අංශයෙන් දියුණු වීමට නම් ශ්‍රී ලංකාව තුළ තරග කිරීම හෝ පුහුණුවීම ප්‍රමාණවත් නොවන බවත් ඇගේ විශ්වාසයයි. පුහුණුවීම් සහ ආහාර පිළිබඳව මනා විනයක් සහිතව කටයුතු කළ යුතු බවත්, තම ප්රබලතම ඉලක්කය වන 2028 ඔලිම්පික් ගමන සඳහා එම කරුණු ඉවහල් වන බවත් ඇය පවසනවා. 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල නෙත්මිගේ එකම අභිප්‍රායයි. නෙත්මිගේ එම ගමනට අපගේ සුබපැතුම්.
සුනිල් සෝමසිරි