ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ‘තිළිණය’ මා ප‍්‍රතික්ෂේප කළා… මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්

102

මහ බැංකු අධිපති තනතුරින් ඉවත් වන මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ තනතුර භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළත් තමා එම ‘තිළිණය’ ප‍්‍රතික්ෂේප කළ බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (09 දා* සිය විශ‍්‍රාම ගැනීමේ කතාව පවත්වමින් පැවසීය.

ඔහු ඊයේ සූම් තාක්ෂණය ඔස්සේ ජනමාධ්‍ය අමතමින් පවත්වන ලද කතාව මෙසේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ‘තිළිණය’ මා ප‍්‍රතික්ෂේප කළා... මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්

මම තීරණය කරගෙන හිටියේ ලබන මසට යෙදෙන මගේ අසූවැනි ජන්ම දිනයේදී විශ‍්‍රාම යෑමටයි. එහෙත් පසුගිය කාලයේ සතියක් හෝ දින දහයක් තුළ සිදු වූ සිත් රිදවන සිදුවීම් නිසා මගේ එම විශ‍්‍රාම යෑම සති හයකින් පමණ ඉක්මන් කළා. මම ලබන සතියේ 14 වැනි අඟහරුවාදා මෙම තනතුරින් විශ‍්‍රාම යෑමට අපේක්ෂා කරන බව ඔබට හා ඔබ හරහා මහජනයාට දැන්වීමටයි මා ඔබ අමතන්නේ. මෙලෙස මා විශ‍්‍රාම ගන්නේ ශී‍්‍ර ලංකාවේ ඇති ඉතාම වැදගත් හා ගෞරවනීය තනතුරකින්. එම තනතුරෙහිලා මට පැවරී තිබුණු වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රෑ දවල් නොබලා වෙහෙස වී කටයුතු කර තිබෙනවා. එහෙත් අපගේ පාලනයෙන් බැහැරව පවතින බොහෝ ස්වභාවික හා මානුෂික බලවේග හේතු කරගෙන අප අපේක්ෂා කළ ප‍්‍රතිඵල හැමවිටම ඒ ආකාරයෙන්ම ලැබුණේ නැහැ. මෙහිලා සඳහන් කළ යුතු ප‍්‍රධානම කරුණ, ඔබ දන්නා පරිදි මා වැඩ භාරගෙන මාස තුනකින් එනම් 2020 මාර්තු මස සිට බලපවත්වමින් පැවැති කොවිඞ් – 19 වසංගත රැලි. මෙහිලා බලපෑ තවත් බොහෝ මානුෂික, ආයතනික කාරණාත් තිබුණා. මේ දුෂ්කරතා මැද්දේ වඩා යහපත් ප‍්‍රතිඵල සඳහා සිදු කළ යුතු ප‍්‍රතිපත්ති වෙනස්කම් ගැන ද සිතමින් මානසික පීඩනයෙන් ගතකළ දින ගණන් බොහෝයි. ඒ නිසා ඇත්ත වශයෙන් මෙලෙස මහ බැංකු අධිපති ධුරය අත්හැරලීමට සිදුවීම ගැන මා හා මගේ හිතවතුන් හිතන්නේ සැඟවී පැමිණි ආශීර්වාදයක් ලෙසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් අතිශයින් ආකර්ෂණීය වන වැටුප් හා වෙනත් පහසුකම් සහිත විකල්ප විධායක අධ්‍යක්ෂ තනතුර ඉදිරි වසර සඳහා භාර ගැනීමට මහ බැංකු අධිපති තනතුරෙන් ඉවත් වන මගෙන් ඉල්ලීමක් කර ඇති බව මා සඳහන් කළ යුතුයි. පසුගිය දිනවල මා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන බවක් පුවත්පත් ආදියෙහි සඳහන් වූයේ මෙවැනි අදහසක් ගැන පුවත්පත්වලට ඉඟියක් ලැබුණු නිසා විය යුතුයි. එසේම මීට පෙරත් විශ‍්‍රාම ගත් අධිපතිවරයකු එලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකී තනතුර සඳහා ගොස් ඇති බවත් මා සමඟ පවසා ඇත. සාමාන්‍යයෙන් ගත් කල මෙය අතිශයින් ආකර්ෂණීය වූ තිළිණයක් වුවත් මා අගයන ප‍්‍රතිපත්ති හා මතවාදයන් අනුව එම තිළිණය පිළිගැනීමට මම ඉතාම මැළි වෙමි. එම නිසා මම එම තිළිණය ප‍්‍රතික්ෂේප කළෙමි. විශ‍්‍රාම යෑමෙන් පසු මට මගේ ශාස්ති‍්‍රය කටයුතු සඳහා ප‍්‍රයෝජනවත් විවේක කාලයක් ලැබෙතැයි මා අපේක්ෂා කරනවා.

මහ බැංකු අධිපති පදවිය දරමින් කිහිප අවස්ථාවකම මම සඳහන් කළ කරුණක් මෙහිලා සඳහන් කිරීමට කැමැතියි. එනම් අප ඒ කියන්නේ මගේ වයසේ අය ඉගෙන ගත්ත කාලෙත් අදත් අපි අපගේ රට ඌන සංවර්ධිත එහෙම නැත්නම් ඌන සංවර්ධිත නැත්නම් දියුණු වෙමින් පවතින රටක් හැටියට හඳුන්වමින් කටයුතු කරනවා. එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්ප‍්‍රදාය බව දන්නවා. එහෙත් තවමත් මෙසේ දියුණු වෙමින් පවතින රටක් ලෙස ලංකාව හඳුන්වා ගැනීමට සිදුවීම ගැන සැබැවින්ම අපි කනගාටු විය යුතුයි. එම තත්ත්වයෙන් මිදීමට ගන්නා ප‍්‍රයත්නයේ හවුල්කරුවකු වීමටයි මට අවශ්‍ය වුණේ. එහෙත් ඒ සඳහා අප සමාජයේ හෝ අප පක්ෂ දේශපාලනයේ කැපවීමක් නැති බව. එසේම ඒ සඳහා පැහැදිලි ප‍්‍රතිපත්ති රාමුවක් එකහෙලා දීර්ඝකාලීනව අනුගමනය නොකිරීමේ ප‍්‍රශ්නය දෙවසරකට ආසන්න පසුගිය කාලය තුළ වඩාත් මැනවින් ප‍්‍රත්‍යක්‍ෂ කරගැනීමට මට හැකිවුණා. මේ නිසයි අපට පසුපසින් සිටි බොහෝ රටවල් එකක් පසුපස එකක් වශයෙන් සංවර්ධන ගමනේදී අප පසුකර ගෙන යන්නේ. මේ අවස්ථාවේ මා කෙටියෙන් සඳහන් කළ දේ ගැන කිවයුතු බොහෝ කරුණු ඇතත් මම මෙපමණකින් නවතිනවා.

මහ බැංකු අධිපති ධුරයේ කෙටි කලක් හෝ සේවය කිරීමටත් එයින් අත්දැකීම් ලැබීමටත් රටට හා ජනයාට සේවය කිරීමටත් මට අවස්ථාව සලසා දුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාටත් මම කෘතඥතාව පළ කරනවා. මා මහ බැංකු අධිපති ධුරය දැරූ කාලය තුළ ඉතාමත්ම හිතවත්භාවයකින් මා සමග ක‍්‍රියා කළ මුදල් මණ්ඩල සාමාජිකයන් හා සියලූම මහ බැංකු නිලධාරීන් මා මෙහිලා සිහිපත් කරන්නේ කෘතඥතාවයෙන්. මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වන මුදල් අමාත්‍යාංශ ලේකම් සජිත් ආටිගල මහතා පත්කළ සමාජිකයන් වන සංජීව ජයවර්ධන, සමන්ත කුමාරසිංහ මහත්වරු සහ ආචාර්ය රාණි ජයමහ මහත්මිය එසේම මහ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ සියලූම නියෝජ්‍ය අධිපතිවරුන්, සහකාර අධිපතිවරුන්, අධක්‍ෂකවරුන් හා අධිකාරිවරුන්ට මා ස්තුතිවන්ත වෙනවා. සියලූ දෙනා නමින් මෙහිලා සඳහන් කිරීමට කාලයක් නැතත් මා හා ඉතා කිට්ටුවෙන් ක‍්‍රියාකළ කිහිප දෙනකුගේ නම් මෙහිදී සඳහන් කළ යුතුමයි. අධිපති ලේකම් එරන්දි ලියනගේ, සන්ධාන නිලධාරි නුවන් ගමගේ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එෂදි එදිරිසිංහ සහ සහකාර ලේකම් අසේල ඒකනායක යන මේ කිහිපදෙනායි. ඔවුන්ගේ උදව් නොවන්නට මා කළ දෑ කිරීමට මා කෙසේ සමත්වනු ඇතිදැයි සිතා ගැනීමට අපහසුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment