ජාත්‍යන්තර සිනමා උළෙලවල වියසිදුරු

145


ප‍්‍රභාත් අගම්පොඩි අධ්‍යක්ෂණය කරන ලද වියසිදුරු සිනමා නිර්මාණය ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල කිහිපයකම අවසන් වටය සඳහා තේරී පත් වී ඇත. කල්කටා ජාත්‍යන්තර සංස්කෘතික චිත‍්‍රපට උළෙල (Calcutta International Cult Film FestivalCalcutta International Cult Film Festival) සහ භූතානයේ ඩ‍්‍රක් ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල (Druk International Film Festival) අවසාන වටය නියෝජනය කරන වියසිදුරු චිත‍්‍රපටය පශ්චාත් නූතන සිනමා (Postmodern Films-Any length) කාණ්ඩය යටතේ තරඟ වදියි.

 සිංගප්පූරුවේ පැවැත්වෙන දෙවැනි සිංගප්පූරු ලෝක සිනමා සැණකෙළිය (World
 Film Carnival – Singapore) අවසාන වටයද නියෝජනය කරමින් තිබෙන අතර තුර්කියේ පැවැත්වුණු දෙවැනි හැලිකාර්නාසස් අන්තර්ජාතික සිනමා උළෙල (International Halicarnassus Film Festival) නියෝජනය කරමින් වියසිදුරු චිත‍්‍රපටය ජයග‍්‍රහණයක් හිමිකරගෙන ඇත. වියසිදුරු විශ්වවිද්‍යාලයක් තුළින් නිර්මාණය වී ලාංකේය සිනමාගාරයට එක් වූ ප‍්‍රථම ලාංකේය සිනමාපටයයි. එය කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී ගෞරව උපාධි පාඨමාලාවේ කථිකාචාර්යවරයකු වන ප‍්‍රභාත් අගම්පොඩි මහතා විසින් අධ්‍යක්ෂණය කර ඇත.

 ”වියසිදුරු”කියන්නේ එක පැත්තකින් විද්‍යාර්ථීන්ගේ පර්යේෂණයක්.අනික් පැත්තෙන් මගේ පර්යේෂණයක්.මං දර්ශනපති උපාධියට කළේ පශ්චාත් නූතන සිනමාව පිළිබඳ පර්යේෂණයක්. ඒ වගේම දීර්ඝ කාලයක් ගත කළේ ඒ කුලකයට අයත් චිත‍්‍රපටත් එක්ක. ඉතින් ඒ අත්දැකීම් එක්ක පශ්චාත් නූතන සිනමාවේ තියෙන එක් ලක්ෂණයක් චිත‍්‍රපටය ඇතුළට අරන් ඇවිල්ලා ඒක පේ‍්‍රක්ෂක සමාජයට මුදාහරින්න මම උත්සාහ කළා. පශ්චාත් නූතන සිනමාවේ ගැනෙන මේ උප ප‍්‍රකාරය හඳුන්වන්නේ අන්තර්පඨිතත්ත්වය එහෙම නැත්තං අන්තර්ග‍්‍රාන්ථිකත්වය (Intertextuality) කියලා. ලෝක සිනමාව පැත්තට හැරුණොත් ටැරන්ටිනෝ වගේ සිනමාකරුවෝ අපූර්ව විදිහට මේක පාවිච්චි කරල තියෙනවා. හොඳම උදාහරණය ඔහුගේ kill bill ඉසකක චිත‍්‍රපටය. ඒකෙ චිත‍්‍රපට 80ක විතර ලක්ෂණ තිබුණා. අපේ රට ගත්තත් මේක අලූත් දෙයක් නෙවෙයි. සාහිත්‍යයේ දී නාට්‍යයේ දී මේක ඕනෑතරම් පාවිච්චි වෙලා තියෙනවා. මනමේ නාට්‍යය ගත්තත් එහෙමයි. අනිත් එක මේක කරන්නේ විද්‍යාර්ථීන් ගේ වැඩක් විදිහට නම් ඒකෙ ගුරුවරයා විදියට මම

 දැන්ගන්න ඕනෑ කරන වැඩෙන් විද්‍යාර්ථීන්ට දැනෙන යමක් දෙන්න. චිත‍්‍රපට තිහක් විතර කියවලා ඒකෙ ආකෘතික ලක්ෂණ, ආඛ්‍යාන ලක්ෂණ එක චිත‍්‍රපටයක් ඇතුළට ගොනු කරනවා කියන්නේ මං හිතන්නේ වෙනම වැඩක්. මම මේක සීමිත පේ‍්‍රක්ෂකාගාරයක් වෙත ප‍්‍රදර්ශනය කළා තරංගනී ශාලාවේ. කෙනෙක් ඇවිත් කිව්වා එයාට psycho චිත‍්‍රපටය මතක් වුණේ කියලා. තව කෙනෙක් රෂෝමාන් මතක් වුණා කිව්වා. ඉතින් අපිට ඕනෑ වැඬේ වෙලා. කණකැස්බෑවා වියසිදුරෙන් අහස බලන ඉතාමත් අහඹු වෙලාවක සිද්ධ වෙන එකම එක වරද වුණත් සංකේත නීතියට අවනත වෙනවා කියන එක තමයි චිත‍්‍රපටය ඇතුළේ කතා වෙන්නේ” ලෙසින් අධ්‍යක්ෂකවරයා වියසිදුරු නිර්මාණය කිරීම පිළිබඳව අදහස් දැක්වීය.

 කළණ ගුණසේකර, ශලනි තාරකා,ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිඳු දොඩන්තැන්න,ධර්මප‍්‍රිය ඩයස් සහ සංජීව දිසානායකගේ රංගනයෙන් වියසිදුරු සිනමා සිත්තම හැඩගැන්වී ඇත. වියසිදුරු සඳහා සංගීත සංයෝජනය මිලින්ද තෙන්නකෝන් විසින් සිදු කර ඇති අතර සුසන්ත මහගල්ගමුව විසින් සිනමාරූපණය සිදු කර තිබේ.

 මෙම චිත‍්‍රපටයේ ආකෘතිය තුළ ප‍්‍රධාන වශයෙන් චිත‍්‍රපට තුනක ලක්ෂණ අන්තර්ගත කොට ඇති අතර තවත් චිත‍්‍රපට තිහක පමණ ලක්ෂණද අන්තර්ගත කර තිබීම සුවිශේෂී කාරණාවකි.

 ”මේ නිර්මාණය සාර්ථක කරගන්න කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබාදුන්නු සහයෝගය ගෞරවනීයව සිහිපත් කරනවා. මාත් එක්ක වැඩ කරපු විද්‍යාර්ථීන් හැම කෙනෙක්ම සිනමාවට ආදරේ කරපු අය. ඔවුන්ගෙන් බහුතරයකට තිබුණු එකම අරමුණ වුණේ චිත‍්‍රපටයක් කරන එක. ඔවුන්ගේ ද සහාය ඇතුව සාර්ථක නිර්මාණයක් කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මහන්සි වුණු හැම දෙනෙක්ටම මම ස්තූතිවන්ත වෙනවා ”
 කොරෝනා වසංගතය නිසා චිත‍්‍රපටය ලංකාවේ ප‍්‍රදර්ශනය කිරීම ප‍්‍රමාද වුවත් නුදුරේදීම එය නැරඹීමට පේ‍්‍රක්ෂාවට ඉඩ විවර වනු ඇත.

 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment