ජාතිකත්වය නොව, සංස්කෘතිය මත පදනම්වූ අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය

257

අදට (02) යෙදෙන ශ‍්‍රී.ල.නි.ප.70 වැනි  සංවත්සරය වෙනුවෙනි

නිදහස් ශී‍්‍ර ලංකාවේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සෑම ජන කොටසකටම ‘‘මේ අපේ පක්ෂය’’ යැයි සාඩම්බරයෙන් හඳුන්වා දිය හැකි එකම පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි.

මා එසේ කී විට ඔබ මා සමඟ ඊට එකවර එකඟ වන්නට සූදානම් නැති බව මම දනිමි. ඔබ මා සමග තර්ක කරනු ඇත. ඔබ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයටත් වඩා පැරණි පක්ෂ කිහිපයක නම් ඉදිරිපත් කරමින් මගේ ප‍්‍රකාශය නිෂේධනය කරන්නට උත්සාහ දරනවා නිසැකය.

ජාතිකත්වය නොව, සංස්කෘතිය මත පදනම්වූ අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය
පාට හා සලකුණ ද හඳුන්වා දීමට මුල්වූ  රාජ නීතිඥ එච්. ශ‍්‍රී නිශ්ශංක මහතා

සැබෑය… මේ රටේ ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සෑම ජන වර්ගයකම නියෝජනයක් ඇති මහා දැවැන්ත පක්ෂයක් ශී‍්‍ර ලංකාවේ එවකට පැවති බව සැබෑය. එහෙත් ඒ පක්ෂය කිසිවිටෙකත් ‘‘පොඩි මිනිසාගේ පක්ෂය’’ වූයේ නැත. ‘‘පොදු ජනතාවගේ පක්ෂය’’ වූයේ ද නැත. මන්ද…. එය පාලනය කළේ සුදු අධිරාජ්‍යවාදීන් මෙරටට හුරු පුරුදු කළ අර්ධ යුරෝපීය සංස්කෘතියක් යටතේ ජීවත් වූ (කළු සුද්දන්* පරම්පරාවක් නිසාය.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් බලවේග එම පක්ෂවල සිටියත්, ඒවා කිසි විටෙකත් පොදු ජනතාවගේ පක්ෂ නොවූයේ විවිධ ජාතීන්ට අයත් බලවතුන්ට ධනවතුන්ට මිස පුංචි මිනිසෙකුට උඩට එන්නට ඒ පක්ෂවල ආකෘතිය තුළ ඉඩක් සැලසී නොතිබූ නිසාය.

වර්ෂ 1951 සැප්තැම්බර් 02 වැනිදා බිහි වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මුළුමනින්ම සිය ආත්මය කොටගත්තේම මේ රටේ ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සෑම සියලූ ජනතාවකගේ හදගැස්ම හසුරුවන සංස්කෘතියයි.

මේ රටේ ශී‍්‍ර ලාංකික පොදු ජනතාව යනු කවුද? ඒ කුමක්ද? යන්න තෝරා ගැනීමට ශී‍්‍රමත් එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ශී‍්‍රමතාණන්ට මඟ පාදා දුන් හිරුබටු තාරුකාව වූයේ ශී‍්‍ර ලාංකීය සංස්කෘතිය නිවැරදිව තෝරා ගැනීම පිළිබඳ තිබූ දුලබ වාසනා ගුණය යයි මම විශ්වාස කරමි.

ඒ දුර්ලභ වාසනා ගුණය තුළ බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් පොදු ජනතාව ඒකරාශී කිරීමට ‘‘ජාතික පදනම’’ වෙනුවට සඟ වෙද ගුරු ගොවි කම්කරු යන සංස්කෘතික වර්ගීකරණය ගුරු කොට ගත්තේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ එම සංස්කෘතික විපිරියාසය තුළ ටයි කෝට් හැඳ පැළඳ සිටි අර්ධ යුරෝපීයයන් පිරිසක් වෙනුවට රෙද්ද බැනියම අඳින්නට හුරුපුරුදු වූ සැබෑ ලංකා පුත‍්‍රයන් පිරිසක් මැති සබයට යන්නට පටන් ගත්තෝය.

අදට සාපේක්ෂව ගතහොත් එම විප්ලවය බොහෝ යල්පැනගිය පැරණි ආදර්ශයක් බව බොහෝ දෙනා කියනවා නිසැකය.

ආදර්ශය පැරැුණි බව සැබෑය. එහෙත් ඒ ආදර්ශය මත ශී‍්‍ර ලාංකීය සංස්කෘතිය මත ගලේ කෙටූ අකුරු මෙන් සනිටුහන් කළ ‘‘ජාතික චින්තනය’’ සුළු පටු නොවීය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අවුරුදු හැත්තෑවක් පිරෙන මෙම අවස්ථාවේ එකී ජාතික චින්තනය තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ගමන් මඟ හා ශී‍්‍ර ලංකාවේ අනාගතය හැඩගැසුණු ආකාරය ගැන කරුණු කිහිපයක් කතාකර මෙම කෙටි සටහන අවසන් කරන්නට මම කල්පනා කළෙමි.

ශී‍්‍ර ලාංකික ජාතික චින්තනයක් මත නිදහස් නිවහල් ශී‍්‍ර ලාංකික ජාතියක් ගොඩනැඟීම සඳහා බණ්ඩාරනායක මහතා පෙලඹ වූ සාධක අතර ඉතා ප‍්‍රබල සාධකයක් වූයේ ඔහුගේ මතවාදය පෝෂණය කළ මිතුරු සමාජයයි. 1940 ගණන්වල අගභාගය වනවිට බණ්ඩාරනායකයන්ට උත්තේජනය සැපයූ කණ්ඩායම තුළ ඔහුගේ නායකත්වයෙන් මෙහෙයවුණු ‘‘සිංහල මහා සභාව’ ද ප‍්‍රබල සාධකයක් විය.

ඒ වනවිට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ නියෝජිතයෙකු වූ රාජ්‍ය නීතිඥ හර්බට් ශී‍්‍ර නිශ්ශංක මැතිඳු එවකට ශී‍්‍ර ලංකාවේ සුප‍්‍රකට සාහිත්‍යධරයකු මෙන්ම ආර්ථික විශේෂඥයකු වූ ටී. බී. ඉලංගරත්න මැතිඳු වැනි කිහිපදෙනෙක් බණ්ඩාරනායක මැතිඳුන්ගේ දේශීය චින්තනය ඔපමට්ටම් කරන්නට දායක වූහ.

එච්. ශී‍්‍ර නිශ්ශංකයන් තුළ තිබූ අදීන ජාතිකවාදී චින්තනයත්, ටී. බී. ඉලංගරත්නයන් තුළ තිබූ සමාජවාදී නැඹුරුවකින් පරිමිත වූ ජනතාවාදී සමාජ සංකල්පත් බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් නව යොවුන් වියේ පටන්ම අගය කරමින් හැදෑරූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පත් තුළින් නව සමාජ – ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් බිහිකිරීම වෙනුවෙන් කැපවුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහිවන්නේ මේ තුන් කට්ටුවේ චින්තනමය සංකලනයක් තුළින් බව රහසක් නොවේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහි කිරීම තුළ බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් අප සමාජය මත රෝපණය කළ මහා වනස්පතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි.

එක්තරා යුගයක මේ රටේ දේශපාලන කරළිය වෙත සපැමිණීමට වරම් තිබුණේ එක්තරා වරප‍්‍රසාදිත පැලැන්තියක උදවියට පමණි.

බණ්ඩාරනායක මැතිඳුන් මෙම විප්ලවයට මුලපිරුවේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යනුවෙන් පංච මහා බලවේගයක් පිහිටුවා ඒවා ඔස්සේ නව දේශපාලන ප‍්‍රවේශයක් සමාජගත කරමිනි. පැරණි හෙළ රජ දරුවන් මෙන් මහා සංඝරත්නයේ ආශීර්වාදය රට කරවීමේ දේශපාලන කටයුතුවලට බණ්ඩාරනායක මැතිඳුන් ලබා ගත්තේ පාලන තන්ත‍්‍රය සඳහා සහභාගිවීමේ අවස්ථාව පවා උන්වහන්සේලාට විවෘත කර දෙමිනි. අද එය එතරම් සැලකිල්ලට ලක් නොවන කරුණක් වූවාට එදාට එය විප්ලවයක්ව තිබුණේ නිදහස් සමාජයේ භික්ෂුවට ඡුන්ද අයිතිය වත් ලබා නොදුන් පසුබිමක් තුළය. සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච බලයට දේශපාලනයට පිවිසීම සඳහා දොරගුළු හැරීමත් සමගම සොයිසලා, සිල්වලා, පෙරේරලා, ආබෲලා, අල්මේදාලා සමග ගමේ ගොඬේ බණ්ඩලා, අප්පුහාමිලා, මුදියන්සේලාද පාර්ලිමේන්තු පැමිණියහ. සැබැවින්ම මේ වෙනස තුළ ගුරුවරුන් ගොවියන් වෙද මහත්වරුන් පමණක් නොව, කම්කරුවන් පවා පාර්ලිමේන්තුවට පැමිණ රාජ්‍ය පාලනයට සහභාගි වූ ආකාරය ගැන කියන්නට මට කරුණු කාරණා බොහෝය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් හඳුන්වා දුන් වමේ ආණ්ඩු රුසියාවේ චීනයේ කොරියාවේ මෙන් අතිශයින්් වාමාංශික අන්තවාදී ආණ්ඩු නොවීය. ඒ හා සමානවම පෙර පැවති දක්ෂිණාංශික ආණ්ඩු ද නොවීය. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජය යන නාමය ආණ්ඩුවට ලැබුණා සේම එම රජයන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන යුක්තිගරුක ආණ්ඩු බවට පත්විය.

නොබැඳි පිළිවෙත

ලෝක බලවතුන් ලෝකයේ දේශපාලන බලය වෙනුවෙන් නිරන්තර සදාතනික අරගලයක යෙදී රට රටවල් තම ඉත්තන් ලෙස පාවිච්චි කරන සමාජ දේශපාලන පසුබිමක් තුළ ශී‍්‍ර ලාංකීය ආණ්ඩුව නොබැඳි පිළිවෙතක් අනුගමනය කළ යුතු යැයි යෝජනා කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි. හුදු අනුකාරක දේශපාලන ප‍්‍රතිපත්තියක නොසිට තමන්ට ගැළපෙන, ජාතික චින්තනයක් මත පදනම් වූ දේශපාලන ව්‍යුහයක් සකසා ගැනීම සඳහා මෙම නොබැඳි පිළිවෙත මහෝපකාරී විය.

බණ්ඩාරනායක මැතිඳුන් ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ ආණ්ඩුකරණ තුළින් අත්හදා බලන්නට හැකියාව ලැබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටය. ශී‍්‍ර ලංකාව වෙතින් ලෝකයට හඳුන්වා දුන් මෙම පිළිවෙත තුළ ලෝකයේ නව සංවිධානයක් පවා බිහි වන්නට හේතු කාරක විය. ශී‍්‍ර ලංකාව ආදර්ශයට ගෙන බිහි වූ රටවල් අතරින් ‘‘නොබැඳි ජාතීන්ගේ සංවිධානය’’ බිහිවී ජාත්‍යන්තරයේ අවධානය පවා දිනා ගන්නට සිරිමාවෝ මැතිනිිය සමර්ථ විය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දැන් අවුරුදු 70ක් වියපත් පරිණත දේශපාලන පක්ෂයකි. මේ රටේ වැඩිම කලක් ආණ්ඩු බලය හෙබ වූ දේශපාලන පක්ෂය ද මෙයයි. පසුගිය 70 වසරක කාලය තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අත්විඳින්නට සිදුවූ කරදර හිරිහැර බාධක කම්කටුලූ අභියෝග අදටත් නිමක් නැත.

1977 දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලද පරාජය සුළුපටු නැත. එම පරාජයටත් වඩා දරුණු වූයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කෙරෙහි එල්ල කරන ලද දේශපාලන පළිගැනීම් සමුදායයි. ඉතිහාසය තුළ ඉතා අවාසනාවන්ත ලෙස (1959* මෙහෙයවන ලද කුමන්ත‍්‍රණයකින් පක්ෂයේ නිර්මාතෘවරයා ඝාතනය කළේය. පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් ඝාතනය කළත් එහි දේශපාලනය අනාගතය මුළුමනින්ම වනසාලන්නට ප‍්‍රතිවාදීන්ට නොහැකි වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එතැන් පටන් පක්ෂයේ නායකත්වය භාරගෙන බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති අකුරටම කි‍්‍රයාත්මක කරන්නට සියලූ බර කරට ගෙන නිර්භයව ඉදිරිපත් වූ නිසාය. එහෙත් බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිවලටත් රජයේ නොබැඳි පිළිවෙතටත් ජාතිකවත් ජාත්‍යන්තරවත් බොහෝ සේ සතුරන් නිර්මාණයව සිටියේය.

පසුගිය මහ මැතිවරණයේදී මෙන්ම ජනාධිපතිවරණයේදීද ‘‘තීරණාත්මක තීන්දුවක්’’ ගැනීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට සිදුවිය. එම බැ?රුම් අවස්ථාවේදි මහත් අභියෝග මැද ඒ මොහොතේ ගත හැකි හොඳම තීන්දුව අප පක්ෂය ගත්තේය. එවන් අසීරු අවස්ථාවක පවා බඩගෝස්තරවාදී දේශපාලනයෙන් මිදී රටේ අනාගතය ගැන සිතා සුබවාදී තීන්දු ගැනීමට පුරෝගාමීත්වය අපි පෙන්නුම් කළෙමු.

කොරෝනා මර්දනය කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාගේම වැටුප කැපිය යුතු යැයි සමහරුන් ඒ පිළිබඳ විවිධ මත පළ කරද්දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායක මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ මන්තී‍්‍ර කණ්ඩායම ඒ පිළිබඳව කිසිදු පැකිළීමකින් තොරව ප‍්‍රගතිශීලී තීන්දුවක් ගත්හ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අද ආණ්ඩුව නයෝජනය කරන මන්තී‍්‍රවරුන් 14 දෙනෙකු සිටිති. ඒ 14 දෙනාම මන්තී‍්‍ර මාසික වැටුප මෙන් දෙගුණයක මුදලක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් පිහිටු වූ කොවිඞ් අරමුදලට පරිත්‍යාග කරන්නට ඒකමතිකව තීන්දු කළහ. එම මුළු මුදල රුපියල් ලක්ෂ 14ක් බව සැබෑය. මුදල පුංචිය. එහෙත් අරමුණ පුංචි නැත.

කවුරු කෙසේ කීවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ රටේ අනාගතය, ආරක්ෂාව, සෞභාග්‍යය වෙනුවෙන් අරගනු ලැබූ තීන්දු තීරණ කිසිලෙසකත් යල්පැනගිය ඒවා නොවේ. කිසිවකටත් දෙවැනි වූ තීන්දු ද නොවේ. පසුගිය 70 වසරක ඉතිහාසය පුරාම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පුරෝගාමීව පෙන්වා ඇත්තේ ඉතිහාසය පුරාම තමන් ‘‘තීන්දුව හරි අතට’’ ගෙන ඇති බවය.

රංජිත් සියඹලාපිටිය
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති


 

advertistmentadvertistment
advertistmentadvertistment