රැඩිකල් වෙනසක් අවංකව කිරීම සඳහා පක්ෂය මා ඉදිරිපත් කළා
අරගලය නතර කිරීමට අරගලයේ සිටි රනිල් ජනපති කළා
රනිල්, සජිත්, අනුර එක ප්‍රතිපත්තියක…මම තනිවම ජාතිකවාදී ප්‍රතිපත්තියේ
අපේ කඳවුරෙන් රාජපක්ෂ නොවන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට උත්සාහ කළා
රාජ්‍ය දේපළ නොවිකුණා රාජ්‍ය ආදායම වැඩි කරනවා
වැල් පාලමෙන් නොවැටී බදු ආදායම වැඩි කරනවා
මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නීතිඥ නාමල් රාජපක්ෂ මහතාය. ඒ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය එහි අභියෝග සහ සිය ප්‍රතිපත්ති පිළිබඳ දැක්වූ අදහස් පහත පරිදි වේ.
ප්‍රශ්නය – මේ රට සංවර්ධනය කිරීමේ කටයුත්ත ඔබේ පියා වූ මහින්ද රාජපක්ෂ මහතා නැවතු තැන සිට යළි ආරම්භ කරන බව ඔබ සඳහන් කරනවා. ඒ සඳහා තිබෙන වැඩ පිළිවෙළ කුමක්ද?
පිළිතුර – එක් පැත්තකින් කෙටි කාලීන වශයෙන් ආර්ථික ස්ථාවරත්වයක් ලබාගත යුතුයි. අසීමිතව අයකරන බදු වෙනුවට දරාගන්න පුළුවන් බදු ක්‍රමයක් හඳුන්වා දියයුතු වෙනවා. අද වනවිට බදු වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ලෝකයේ දියුණුවෙලා තිබෙන්නේ වැඩිපුර බදු අය කළ රටවල් නොවෙයි. ඒ වගේම බදු ඇත්තේම නැති රටවලුත් තිබෙනවා. ලෝකයේ දියුණු වන රටවල් කියල තියෙන්නේ බදු අඩුවෙන් අය කරන රටවල් සහ මිනිසුන්ට පහසුවෙන් ව්‍යාපාර කරගෙන ජීවත්වෙන්න පුළුවන් රටවල්. අපිත් කඩිනමින් එම තත්ත්වයට ළඟාවිය යුතුයි.
ඒ වගේම අපි මධ්‍ය කාලීනව බැංකු පද්ධතියෙන් පිට තිබෙන ආර්ථිකය බැංකු පද්ධතිය තුළට ගෙන ආ යුතුයි. දේශපාලනඥයන් විසින් දී ඇති කඩවුණු පොරොන්දු නිසා ජනතාව බැංකු සමග කටයුතු කිරීමටත් බයයි. මං හිතනවා මීළඟ වසර 5-15ක කාලය තුළ එක බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. එම බදු ප්‍රතිපත්තිය සරල වෙන්න ඔනී. ඒ වගේම අපි ඍජු බදු අයකර ගැනීම සඳහා යොමු විය යුතුව තිබෙනවා. අපි ජනතාව තුළ විශ්වාසයක් ඇති කළ යුතු වෙනවා. බැංකු පද්ධතිය තුළ කටයුතු කිරීම තුළ ඒ අයට මෙන්ම ආර්ථිකයටත් පහසු ක්‍රමයක් තියෙන එක. ව්‍යවසායකයන් උනන්දු කිරීම තුළින් දේශීය ආර්ථිකය දියුණු වෙනවා වගේම රැකියා උත්පාදනයන් සිදුවෙනවා.
ඒ වගේම අපි විදේශීය ආයෝජකයන්ට එන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළ යුතු වෙනවා. බදු ප්‍රතිපත්තිය මෙන්ම සහන ලබාදීම තුළ දේශීය මෙන්ම විදේශීය අයෝජකයනුත් ආකර්ශනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.
ප්‍රශ්නය – මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිදුවීම පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද? සමහර පුද්ගලයන් නම් ප්‍රකාශ කරනවා ඔබට ජනාධිපතිවරණයට ඉදිරි පත්වීම සඳහා තවත් කල් තිබෙන බව,
පිළිතුර – අපේ කඳවුරෙන් රාජපක්ෂ නොවන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව අපි සැලකිලිමත් වූවා. ඒ සඳහා අපි උපරිම වශයෙන් උත්සාහ කළා. ජනාධිපතිතුමා සමග අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. වෙනත් අපේක්ෂකයෙක් ගෙන ඒමටත් අපි උත්සාහ කළා. අවංකවම එම පුද්ගලයාට ඉදිරිපත් වීමේ පෞද්ගලික ගැටලුවක් තිබුණා. අනෙක් පුද්ගලයා අපේ කඳවුර බෙදුව එම තත්ත්වය තුළ බෙදුණු කඳවුර එකතු කිරීමට සුදුසු පුද්ගලයා කවුද කියන එක පිළිබඳව සාකච්ඡා කළා. එම අවස්ථාවේදී අපේ පක්ෂය තීරණය කළා ඒ සඳහා සුදුසුම පුද්ගලයා මම කියන එක. ඒ වගේම මේ රට හදන්න නම් රැඩිකල් වෙනසක් අවංකව කළයුතු වෙනවා. එම කාරණය සලකා බැලීමේදී අපේ පක්ෂය තීරණය කරලා තිබෙනවා ඒ සඳහාත් මම සුදුසුයි කියන එක. ඒ අනුව තමයි අවසානයේදී මෙවර ජනාධිපතිවරණය සඳහා මට ඉදිරිපත්වීමට සිද්ධ වූයේ.
ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වූයේ ධම්මික පෙරේරා මහතා. නමුත් ඔහු අවසාන මොහොතේදී මැතිවරණයට ඉදිරිපත්විය නොහැකි බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා බලපෑ හේතු සාධකයන් මොනවා ද?
පිළිතුර – ඒක එතුමා ගෙන් තමයි අහන්න ඕනී. අපි දන්නා විධියට නම් පෞද්ගලික කාරණයක් නිසා තමයි, මැතිවරණයට ඉදිරිපත් නොවී තිබෙන්නේ. මමනම් විශ්වාස කරන්නේ අපි පෞද්ගලික කාරණාවලට ගරු කරන්න ඕනී.
ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදුන්නානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බෙදීමක් ඇති නොවන බවත්, රාජපක්ෂවරු ආරක්ෂා වන බවත් මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමට ඉදිරිපත් වී සිටින පුද්ගලයන්ම ප්‍රකාශ කර තිබෙනවා. එම ප්‍රකාශ පිළිබඳව සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?
පිළිතුර – එහෙම කියන අයනම් ආරක්ෂා වෙනවා ඇති.
ප්‍රශ්නය – මහින්ද රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතා සමීපව සිටි පුද්ගලයන් පවා මේ වනවිට වෙනත් දේශපාලන පක්ෂ සමග එක් වී තිබෙනවා.ඔබ දකින විධියට ඒ සඳහා බලපෑ හේතු සාධකය කුමක්ද?
පිළිතුර – ඒක තමයි මේ රටේ දේශපාලනයේ හැටි. අපත් සමග සිටිය අය පමණක් නොවෙයි වෙනත් පක්ෂවල සිටිය අයත් පක්ෂය මාරු කරලා තිබෙනවා. රනිල් මහත්තයත් සමග සිටිය අය සජිත් මහතා සමග එක් වී තිබෙනවා. සජිත් මහතා සමග සිටිය අයත් රනිල් මහතා සමග එක් වී තිබෙනවා.
මම නම් හිතන්නේ එම දේශපාලනය වෙනස් විය යුතුයි. සිස්ටම් චේන්ජ් කිරීමට කතා කරන අයත් එහෙම කරනවා. මෙම හේතු නිසා දේශපාලනඥයා විසින්ම දේශපාලනඥයා විනාශ කරගෙන තිබෙනවා. මම හිතන්නේ මගේ එක වගකීමක් තමය,ි එම දේශපාලනය වෙනස් කිරීම.
ප්‍රශ්නය – පාර්ලිමේන්තුව තුළින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් නොකර ඩලස් අලහප්පෙරුම මහතා එම ධුරයට පත් කළා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බෙදීමක් ඇති නොවන බවටත් මත පළ වී තිබෙනවා. එම මතයත් සමග එකඟවෙන්න පුළුවන්ද?
පිළිතුර – එම අවස්ථාවේ දී අරගලය තුළ සිටිය කෙනකුම බලයට ගෙන ආ යුතුයි. නැතිනම් අරගලය නතර වන්නේ නැහැ. ඒ සඳහා තිබෙන හොඳම උදාහරණය තමයි බංග්ලාදේශය. ඒ රටේ අරගලයට පිටින් සිටිය කෙනකු ගෙනා නිසා අරගලය නතර වූයේ නැහැ. බටහිරට අවශ්‍ය කෙනකු ගෙන ආවේ. නමුත් රනිල් වික්‍රමසිංහ බලයට ගෙනා පළමු දවසේ ම කූඩාරම් 17ක් ගලවන් ගියා. එම ස්ථානයට ලැබුණු කෑම නතර වුවා. මම නෙවෙයි ඒවා තියන්නේ. ආෂු මාරසිංහ, හරින් ප්‍රනාන්දු තමයි ඒවා කියන්නේ. මේ වනවිට අරගලයේ සිටිය ප්‍රධාන අය රනිල් මහතාට උදව් කරනවා. ඇත්තට ම අරගලය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සහ ජේ.වී.පී. එක. ඒ බව වඩාත් තහවුරු වූවා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එක හා සමාන වීම තුළින්. එක්කෝ එකම තැනකින් ලියලා තිබෙන්නේ. නැතිනම් කතා කරගෙන ලියලා තිබෙන්නේ.
එම අවස්ථාවේදී අරගලය තුළින්ම කෙනකු බලයට ගෙන ආ නිසා තමයි අරගලය නතර වූයේ. ජනයා විමුක්ති පෙරමුණ වැනි වාමාංශික දේශපාලන පක්ෂයත් අන්ත ධනවාදි ප්‍රතිපත්ති පිළිගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. මොකක් හරි බලපෑමක් තිබෙන්න ඕන නේ. ඔය ප්‍රතිපත්ති එදා පිළිගත්තා නම් 1987-89 කාලයේදී 60,000ක් මැරෙන්නේ නැහැනේ. ශෙහාන් සේමසිංහ මහතාට සඳහන් කරලා තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග කතා කළ කරුණුම කියලා.
ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහයෝගය ලබාදුන්නානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ රාජපක්ෂවරු ආරක්ෂා වෙනවා කියලා සිතෙන්නේ නැද්ද?
පිළිතුර – දේශපාලනය කියලා කියන්නේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන එක ද එසේත් නොමැතිනම් පොහොට්ටුවයි, රාජපක්ෂලයි ආරක්ෂා කරන එක ද? මම නම් හිතන්නේ දේශපාලනය කියන්නේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන එක. අපි වෙනම තරග කිරීමට සඳහා තීන්දුවක් ගන්නේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම සඳහා. මෙම මැතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයන් හතරදෙනා ගෙන් තුන්දෙනෙකුම ඉන්නේ එක මතයක. මම විතරයි ජාතික මතවාදය නියෝජනය කරන්නේ.
එදා 1951 දී බණ්ඩාරනායක මහතා, ඩී.ඒ. රාජපක්ෂ මහතා, අනුරාධ ජයරත්නලාගේ තාත්තලා එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පංච මහා බලවේගයේ ප්‍රතිපත්තිවලට නොගැළපුන නිසා. අපි පොහොට්ටුව හැදුවෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වූ නිසා. එම පක්ෂ දෙකේ ප්‍රතිපත්ති එකිනෙකට නොගැළපුන නිසා. අපිටත් මෙම මැතිවරණයට තරග කිරීමේදී තීරණය කිරීමට තිබුණේ නොගැළපෙන ප්‍රතිපත්ති සමග කටයුතු කරනවාද එසේත් නොමැති නම් අපි තනියෙන් හෝ අපේ ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් කරනවාද කියන එක පිළිබඳව.
අපිට පාරම්පරිකව වගකීමක් තිබෙනවා අපේ මතවාදය සහ පාක්ෂිකයා ආරක්ෂා කිරීම සඳහා. එම මතවාදයට අනුව අපි කටයුතු කරනවා.
ප්‍රශ්නය – ඔබගේ මැතිවරණ ව්‍යාපාරයට ඔබගේ පියා වූ මහින්ද රාජපක්ෂ මහතාත් එක් වී තිබෙනවා. සමහරුන් ප්‍රකාශ කරනවා ඔබට තනිව මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දිය නොහැකි නිසා පියාත් සම්බන්ධ කරගෙන කියලා.එම චෝදනාව සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?
පිළිතුර – කලින් කිව්වා නාමල් තනිවම මේ වේදිකාවේ. තාත්තා, බාප්පලා වෙනත් වේදිකාවක කියලා. එහෙම කියපු අය තමයි දැන් එක වේදිකාවක ඉන්නේ ඇයි කියලා අහන්නේ.
මහින්ද රාජපක්ෂ කියන්නේ පූර්ණ කාලීන දේශපාලනඥයෙක්. මැතිවරණයක් පවතින අවස්ථාවක එතුමා ඊට සම්බන්ධ වෙනවා. ඒ වගේම වෙනම රැස්වීම් මාලාවකුත් යනවා. මෙම පක්ෂය ගොඩනඟලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ චින්තනය සමග. ඒ වගේම එතුමාට ආදරය කරන පුද්ගලයන් වටා තමයි මෙම පක්ෂය ගොඩනැඟිලා තිබෙන්නේ.
ප්‍රශ්නය – ඉන්දියාවේ ගාන්ධිලාට තවමත් එරට දේශපාලනය තුළ ඔළුව උස්සගන්න බැරි වෙලා තිබෙනවා. ලංකාව තුළ දී රාජපක්ෂලාටත් එම ඉරණම අත්වෙලා ද?
පිළිතුර – ඉන්දියාවේ පමණක් නොවෙයි, ලංකාවේ බණ්ඩාරනායකලාටත් 1977න් පසුව ඔය වැනි ප්‍රකාශ කරලා තිබෙනවා. ඉන්දියාවේ වගේම අපේ රටෙත් පරම්පරා දේශපාලනය නැතිවෙලා තිබෙන්නේ ඔවුන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිය අත්හැරීම නිසා තමයි. බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේගය අතහැර 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ලිබරල් ප්‍රතිපත්ති වැලඳ ගත්තා. ඉන්දියාවේත් ගාන්ධිලාගේ දේශපාලනය අනූ ගණන්වලදී අයි.එම්.එෆ්. එකත් එක්ක සම්බන්ධ වූවා. එම ප්‍රතිපත්තිමය වෙනසක් සමග යම් පසුබෑමක් ඇති වූවා. නමුත් පසුගිය කාලයේදී ගෙන ගිය සාර්ථක දේශපාලන ව්‍යාපාරවල ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ශක්තිමත් බලවේගයක් බවට පත් වී තිබෙනවා. ඉන්දියානු චින්තනයෙන් ඈත්වීම නිසා තමයි ගාන්ධිලාගේ දේශපාලනයේ යම් පසු බෑමක් ඇති වූයේ. බංග්ලාදේශයේ දී ෂෙයික් හෂීනාට සිද්ධ වූයේ ජාතිකවාදී කඳවුර ආරක්ෂා කිරීමට ගිහින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිද්ධ වූ දේම තමයි.
ගාමිණී දිසානායකගේ දේශපාලනය ඔහුගේ පුතාලා ඉදිරියට අරන් ගියේ නැහැ. පුතාලා දෙන්නා අද පක්ෂ දෙකක. ඒ වගේම සිරිමාවෝ මැතිනිය ගෙන් පස්සේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති චන්ද්‍රිකා මහත්මිය ඉදිරියට අරන් ගියේ නැහැ. නමුත් මට ඒක කරන්න බැහැ. මම ඩී.ඒ. රාජපක්ෂගේ, මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති මීළඟ පරම්පරාවට අරගෙන යනවා.
ප්‍රශ්නය – ඔබ සඳහන් කළා බදු අයකිරීම අඩු කළ යුතු බව. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා බදු අඩු කළෙත් වැල් පාලම කඩා ගෙන ගඟට වැටෙන බව. වැල් පාලම කඩාගෙන වැටෙන්නේ නැතිව බදු අඩු කරන්න පුළුවන්ද?
පිළිතුර – රාජ්‍ය ආදායම අඩු නොවන ආකාරයට තමයි අපි බදු අඩු කරන්නේ. බදු වර්ග ගොඩක් තිබෙනවා. එම බදුවලින් අවශ්‍ය බදු පමණක් අය කළ යුතුයි. ඒ වගේම බදු අය කිරීමේ ප්‍රතිපත්තිය අඩු කරලා ඍජු බදු අය කිරීම වැඩි කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපි බදු ගෙවන පුද්ගලයන්ගේ ප්‍රමාණය වැඩිකර ගතයුතුව තිබෙනවා. එසේ කිරීමට නම් බැංකුවලින් පිට තිබෙන ආර්ථිකය බැංකු තුළට ගෙන ආ යුතු වෙනවා. පසුගිය අවුරුදු දෙක තුළදී අපේක්ෂා බදු ආදායම ලැබුණේ නැහැනේ. එයින් පැහැදිලි වන දෙය තමයි බදු ප්‍රතිපත්තිය ප්‍රායෝගික නැහැ කියන එක.
බදු ප්‍රතිපත්තිය ප්‍රායෝගික වගේම ඍජු වියයුතු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා සහ අනිකුත් අපේක්ෂකයන් රාජ්‍ය ආදායම උත්පාදනය කිරීමට උත්සාහ කරන්නේ බදු අයකිරීම සහ රාජ්‍ය දේපළ විකිණීමෙන් පමණයි. මම දකිනවා රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ඊට වඩා පිළිවෙළක් තිබෙනවා කියලා. වරාය වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම තුළ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒවගේම රාජ්‍ය ආයතනවලත් කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි සේවාවක් සපයන ආයතන. අනික තමයි ලාභ ලබන ආයතන. ලාභ ලබන ආයතනවලට අයෝජකයන් සම්බන්ධ කර ගැනීමේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් වර්තමාන ආණ්ඩුව දකින්නේ එම ආයතන විකුණන්ට අවශ්‍යයි කියන එක තමයි. නමුත් මම සඳහන් කළ වැඩපිළිවෙළ තුළ බදු ආදායම වැඩිකර ගැනීමේ හැකියාව තිබෙනවා.
ප්‍රශ්නය – මේ වනවිට ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් කිහිප දෙනකුම පිළිබඳව සඳහන් වෙනවා. ඔබට පෙනෙන ආකාරයට ඔබට සිටින ප්‍රධාන ප්‍රතිවාදියා කවුද?
පිළිතුර – මෙතෙක් මම සිතන් සිටියේ සජිත් ප්‍රේමදාස මහතා කියලා. නමුත් දැන් සජිත්, රනිල් සහ අනුර යන තිදෙනාගේම ප්‍රතිපත්ති එකයි. දැන් අපි කල්පනා කරන්නේ ඔවුන් තිදෙනා වෙනම ගන්නවා ද එකට ගන්නවා ද කියන එක තමයි. නමුත් මම සිතනවා අපිට පසුව සිටින ශක්තිමත්ම කඳවුර සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුර කියලා.
ප්‍රශ්නය – නාමයෝජනා භාර දුන්නු දවසේ අනුර කුමාර ඔබත් සමග කුමක්ද ප්‍රකාශ කළේ?
පිළිතුර – ඔහු මට සුබ පතනවා. මමත් ඔහුට සුබ පැතුවා.
ප්‍රශ්නය – මේ වනවිට මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටින්නේ කවුද?
පිළිතුර – මේ රටේ ජනතාවාදි කඳවුර නියෝජනය කරන ශක්තිමත්ම පක්ෂය අපි. ඒ වගේම අපිට වැඩපිළිවෙළක් සහ සැලැස්මක් තිබෙනවා. ඒ වගේම නිදහසින් පසු පසුගිය වසර 76ක කාලය තුළ හොඳම කාලය තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය. එම කාලය තුළදී මේ රටේ ආර්ථිකය 3න් 4 ගුණයකින් වර්ධනය වූවා. විරැකියාව අඩු වූවා. යුද්ධය අවසන් වූවා. එම සංවර්ධන කටයුතු කිරීමේ පළපුරුද්ද තිබෙන්නේ අපේ පක්ෂයට. ඒ පිළිබඳව ජනතාවට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ අනුව ජනතාව හොඳ තීන්දුවක් ගනිවි කියලා සිතනවා.
එරික් ගාමිණී ජිනප්‍රිය