කොවිඩ් 19 වසංගත තත්ත්වයට පසුව ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍ෂේත්‍රයන් සේම අධ්‍යාපන ක්‍ෂේත්‍රය ද පවතින්නේ පෙර තිබුණාටත් වඩා අර්බුද රාශියක් මධ්‍යයේ ය. මේ හේතුව නිසාම වර්තමාන රජය විසින් රටේ අනාගත සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම පිණිස සමස්ත අධ්‍යාපන ක්‍ෂේත්‍රයේම පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා ඉදිරි වසර 25 වෙනුවෙන් “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” (National Education Policy Framework) සම්පාදනය කර ඇත්තේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු දස දෙනෙකුගෙන් යුතු අමාත්‍ය මණ්ඩල කමිටුවක් විසිනි. විසි පස් දෙනෙකුගෙන් සමන්විත විද්වත් නිලධාරී මඩුල්ලකගේ සහාය ද එයට හිමි විය. නමුත් ලංකාවේ ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීමේ දී බොහෝ විට මගහැරෙන වතුකරය මෙම “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව”ට ද මගහැරී ඇත. එසේත් නොමැතිනම් වුවමනාවෙන්ම මගහැර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයට එවැනි අතපසුවීමක් සිදුවීම ඛේදනීය තත්ත්වයකි.

“ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව”හි මූලික අභිමතාර්ථ ලෙසත් ප්‍රතිපත්තිමය අරමුණු ලෙසත් දක්වා ඇති කරුණු කිහිපයක් පිළිබඳ විමසා බැලීමේ දී එය සාක්ෂාත් වන්නකි. මන්ද එහි ජාති, ආගම්, ජාතිකත්වයන්, භාෂා, ආදායම හෝ ආබාධිත තත්ත්වයන් කිසිවක් නොසලකා සෑම දරුවෙකු සඳහාම අධ්‍යාපනයට ඇති සමාජ ප්‍රවේශය තහවුරු කිරීම සහ සෑම සිසුවකු සඳහාම ඩිජිටල් ඉගෙනුම ලැබීමට හා ප්‍රමාණාත්මක ඩිජිටල් සාක්ෂරතාව අත්කර ගැනීම පිණිස සමාන අවස්ථා සැලසීම යනුවෙන් සඳහන් කර ඇත.

නමුත් එහි වතු ආශ්‍රිත පාසල් පිළිබඳව හෝ දෙමළ මාධ්‍ය පාසල් පිළිබඳව කිසිවක් සඳහන් කර නොමැත. වතු පාසල් යැයි කියූ පමණින් බොහෝ දෙනෙකුට සිහිවන මධ්‍යම කඳුකරය ආශ්‍රිත උඩරට වතු පාසල්වල තත්ත්වයටත් වඩා එතරම් අවධානයට ලක් නොවන පහතරට වතු කම්කරුවන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන වතු පාසල්වල තත්ත්වය තිබෙන්නේ උඩරට වතු පාසල් වලටත් වඩා පහළ මට්ටමකය.

වතු පාසල් සංවර්ධන ශාඛාව

වතු පාසල් පිළිබඳව පසුගිය වසරේ සකස් කළ “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව”හි පමණක් නොව පසුගිය වසර දක්වා ක්‍රියාත්මක වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ “වතු පාසල් සංවර්ධන ශාඛාව” හි දැක්ම වන “තිරසාර හා සමානාත්මතා අධ්‍යාපන ක්‍රමවේදයක් තුළින් වතු ප්‍රජාවෙන් බුද්ධිමත් මානව ප්‍රාග්ධනයක් බිහිවීම” පරිද්දෙන්වත් කටයුතු සිදු වූයේ නැත. ඒ පිළිබඳ වඩාත් පැහැදිලි හා පුළුල් අදහසක් ලබා ගැනීම සඳහා එක් දිස්ත්‍රික්කයක දත්ත විශ්ලේෂණය කිරීම පමණක් සෑහෙනු ඇත. මේ සබරගමුව පළාතේ දිස්ත්‍රික්ක දෙකෙන් ප්‍රධාන දිස්ත්‍රික්කය වන රත්නපුර දිස්ත්‍රික්කයේ වතු පාසල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ කෙටි සටහනකි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් රත්නපුර, නිවිතිගල, ඇඹිලිපිටිය හා බලන්ගොඩ යන අධ්‍යාපන කලාප හතරකින් සහ ඒ යටතේ ඇති කොට්ඨාස අධ්‍යාපන කාර්යාල දාසයකින් පාලනය වේ. දිස්ත්‍රික්කයේ ඇති සමස්ත රජයේ පාසල් සංඛ්‍යාව 598 කි. මෙම අධ්‍යාපන කලාප හතරෙහිම වතු පාසල් හා දෙමළ මාධ්‍ය පාසල් 97 ක් ද, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය පාසල් 01 ක් ද, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය පාසල් 02 ක් ද ඇති නමුත් ඒ බොහෝමයක් ප්‍රාථමික හෝ ද්විතීයික (1 ශ්‍රේණිය – 7 ශ්‍රේණිය දක්වා, 1 ශ්‍රේණිය – 8 ශ්‍රේණිය දක්වා, 1 ශ්‍රේණිය – 9 ශ්‍රේණිය දක්වා, 1 ශ්‍රේණිය – 11 ශ්‍රේණිය දක්වා) පාසල්ය. රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත් වන 107,320 ක් පමණ වන ජනතාවගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ මෙම පාසල් වලය. ඒ ඇතැම් පාසල්වල පාසලේ ශ්‍රේණි ගණනටවත් ගුරුවරු නැත. නිවිතිගල කලාපයේ කලවාන අධ්‍යාපන කොට්ඨාසට අයත් ඩිප්ඩීන් දෙමළ විද්‍යාලයේ උප විදුහල්පතිනිය වන ඒ. ඇන්ජෙලා ජයරංජනී විසින් එම කාරණාව තහවුරු කළාය.

වතුකරය හා හාද ගුරු හිඟය

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට මඟහැරුණු වතුකරයේ පාසල්
ඇන්ජලා ජයරංජනී

“පාසලේ නවය වසර දක්වා පන්ති පැවැත්වුණත් විදුහල්පතිවරයා ඇතුළුව ගුරුවරු අට දෙනෙක් විතරයි පාසලේ ඉන්නෙ. ගණිතය, විද්‍යාව, දෙමළ, හින්දු ධර්මය වගේ ප්‍රධාන විෂයන් ඇතුළු බොහෝ විෂයන් ඉගැන්වීමට ගුරුවරු නැහැ. මගේ පත්වීම ලැබුණේත් ඉංග්‍රීසි විෂය උගන්වන්න. නමුත් මම පුරවැසි අධ්‍යාපනය සහ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා උගන්වනවා. සිංහල විෂය උගන්වන ගුරුවරියත් ඇයට අදාළ කාලපරිච්ඡේද වලට අමතරව චිත්‍ර විෂයත් උගන්වනවා. ගණිතය විෂයට ගුරුවරයෙක් නැති නිසා පළමු වසර භාරව සිටින ගුරුතුමියයි ගණිතය උගන්වන්නෙ. භාෂාව හා ආගම ඉගෙන ගැනීමට නොමැති වීමෙන් මේ දරුවන්ට විශාල අසාධාරණයක් වෙනවා. නවය ශ්‍රේණියෙන් පසුව නගරයේ පාසලකට ගියාම ඒ ඉගෙනුම් ක්‍රියාවලියට අනුගත වෙන්න අපහසුයි. භාෂාව නොදැන. ඒ වගේම සාමාන්‍ය පෙළ දක්වා පන්ති වැඩි කළා නම් උසස් පෙළ නැතත් වෙනත් වෘත්තීය පුහුණු පාඨමාලාවකටවත් ළමයින් ට යොමු වෙන්න තිබුණා. මේ පාසලට එන බහුතරයක් ළමයි නවය වසරෙන් පාසල් අධ්‍යාපනය අවසන් කරනවා. මමත් ඇතුළුව මේ අනෙක් ගුරුවරුත් දීර්ඝ කාලයක් තිස්සේ සේවය කරන්නේ මේ පාසලේ. අලුතින් එන ගුරුවරයෙක්වත් වැඩි කාලයක් මේ පාසලේ රැඳෙන්නෙ නෑ. මොකද ඒ තරම් අවම පහසුකම් මැද්දේ තමයි රැකියාව කරන්න සිදු වෙන්නේ. මට ඉදිරියේ දී වෙනත් පාසලකට මාරු වීමක් ලැබෙන්න තියෙනවා. ඒ වෙනුවට වෙනත් ගුරුවරයෙක් නොලැබුණොත් ඉංග්‍රීසි විෂයත් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව”හි සඳහන් වන පරිදි සෑම දරුවෙකු සඳහාම අධ්‍යාපනයට ඇති සමාජ ප්‍රවේශය තහවුරු කිරීම කෙසේ වෙතත් ජාති, ආගම්, ජාතිකත්වයන්, භාෂා, ආදායම හෝ ආබාධිත තත්ත්වයන් කිසිවක් නොසලකන බව නම් පැහැදිලිය. රත්නපුර ද ඇතුළුව වතු කම්කරුවන් වෙසෙන සෙසු ප්‍රදේශයන්හි ද ඇති වතු පාසල්වල සම්පත් හිඟය කිසිදා නිම වන්නක් නොවේ. ගුරුවරුන්, පාසල් ගොඩනැගිලි, ක්‍රීඩාපිටි සහ යටිතල පහසුකම් නොමැති වීම පමණක් නොව නිරවුල් පාසල් භූමියක් හෝ නොමැති පාසල් වේ.

හිසට හෙවනක් නැති වතු පාසල්

වසර තුනකට ආසන්න කාලයක පටන් ඩිප්ඩීන් දෙමළ විද්‍යාලය පවත්වාගෙන යන්නේ හපුගස්තැන්න වැවිලි සමාගමේ හැදර්ලි වතුයායේ ඩිප්ඩීන් වත්තේ අංක දෙක කොටසේ ශ්‍රී පත්තිනි අම්මාන් දේවස්ථාන ශාලාවේ ය. “අවුරුදු තුනකට කිට්ටු වෙනවා අපි මේ ගොඩනැගිල්ලට ඇවිත්. අපි ඉඩමක්, පාසල් ගොඩනැගිල්ලක් එදා ඉඳන් ඉල්ලනවා. මාස දෙකකට පමණ ඉහත දී පාසල හදන්න ඉඩමක් ලබා දුන්නත් ගැටලු කිහිපයක් නිසා තවමත් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු සිදු වන්නේ නැහැ.” උප විදුහල්පතිනිය පවසන්නීය.

ඇතැම් පාසල් තවමත් පවතින්නේ වතු සමාගම් සතු භූමි තුළය. “වතු පාසල් වැඩි දියුණු කිරීම සඳහා සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවලින් ඉඩම් ලබා ගැනීම” 2018 අංක 25 සහ 2018 /07/06 දිනැති චක්‍ර ලේඛයට අනුව අක්කර දෙකක භූමි ප්‍රමාණයක් වතු සමාගම විසින් වතු පාසල් සඳහා නිදහස් කළ යුතුව ඇත. මෙම භූමිවල ස්වර්ණමය කොටස් හිමිකරු ලෙස ක්‍රියා කරන්නේ මහා භාණ්ඩාගාර ලේකම්වරයායි. එබැවින් මෙම ඉඩම් පොදු කටයුතු සඳහා නිදහස් කළ යුතු ඉඩම් ලෙස සළකයි. රාජ්‍ය ආයතන දෙකක් අතර විසඳාගත යුතු ගැටලුවක වින්දිතයින් වී සිටින්නේ පාසල් ළමුන් ය. “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි සෑම සිසුවෙකු සඳහාම ඩිජිටල් අධ්‍යාපනය ලබාදෙන බව සඳහන් කර ඇත්තේ තවමත් හරියාකාරව පාසලක් හෝ පන්ති කාමරයක් හෝ නොමැතිව ඉගෙනුම ලබන සිසු දරුවන් සිටින පසුබිමක වීම විසුළු සහගතය.

කිලෝමීටර් 80ක් දුර හීනයක්

රත්නපුර දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ විද්‍යා විෂය ධාරාව හැදෑරීමට පහසුකම් ඇත්තේ එක් පාසලක් පමණි. ඒ බලංගොඩ කනගනායගම් දෙමළ මධ්‍ය මහා විiාලයයි. රක්වාන ශාන්ත ජෝෂප් දෙමළ ජාතික පාසලේ විද්‍යාගාර පහසුකම් තිබුණ ද ගුරුවරු නොමැති කමින් එහි විද්‍යා අංශයේ ඉගැන්වීම් කටයුතු සිදු වන්නේ නැත. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට සිටි අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුගල පදිංචි එස්. දිව්‍යා මේ වන විට කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්නී ය. දෙමළ මාධ්‍යයෙන් ඉගෙනුම ලැබූ ඇය ඇගේ පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වූවා ය. අනාගතයේ වෛද්‍යවරියක වන සිහිනයක පෙර දා ඇය සිටියත් මේ වන විට ඇය ඒ සිහිනය අතැර දමා සිටින්නීය. ඇගේ නිවසේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 80ක තරම් දුරක් බලංගොඩ කනගනායගම් දෙමළ මධ්‍ය මහා විද්‍යාලයට තිබේ. “දිව්‍යා පොඩි කාලෙ ඉඳන්ම ඉගෙන ගන්න දක්ෂයි කියලා ඉස්කෝලෙ ගුරුවරු කිව්වා. ළමයින්ට උගන්වන්න ආස වුණත් ඒ වියදම අපිට දරාගන්න බැහැ.” දිව්‍යාගේ මව කියන්නී ය.

දිව්‍යා යැපෙන්නන් හය දෙනෙකුත්, උපයන්නන් දෙදෙනකුත් ඇතුළු සාමාජිකයින් අට දෙනකුගෙන් යුතු ඇගේ පවුලේ වැඩිමහල් දරුවාය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව සිව්දෙනෙකු සඳහා මාසයකට අවශ්‍ය මුදල ලෙස දක්වා තිබුණේ හැටතුන් දහසකි. වතු කම්කරුවෙකුගේ මාසික වැටුප තවමත් විසි දෙදහස් පන්සීයකි. මව පියා දෙදෙනාම රැකියාවට ගියත් අට දෙනෙකු සිටින දිව්‍යාගේ පවුලට සරිලන ආදායම සොයා ගැනීමට කෙසේවත් නොහැකිය. ඇගේ දෙමව්පියන් ඇයට බාල සහෝදර සහෝදරියන් තිදෙනෙකුගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවත් සොයා බැලිය යුතුය. පාසල් උපකරණ තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති මොහොතක එය තවත් දරුණු වන්නේ දරුවන් සිව් දෙනකුම පාසල් යන වයසේ පසු වීමයි. පාසල් උපකරණවල මිල ගණන්වලට අමතරව ප්‍රවාහන ගාස්තු මෙන්ම නොනැවතී ඉහළ යන ජීවන වියදම ද නිසා නේවාසිකාගාර සඳහා මුදලක් වෙන් කිරීමට වතු කම්කරුවන් වන ඇගේ දෙමව්පියන්ට නොහැකි ය. මේ හේතුවෙන් ඇගේ දොස්තර සිහිනයට යන මං ඇහිරිණි. ජාති, ආගම්, ජාතිකත්වයන්, භාෂා, ආදායම හෝ ආබාධිත තත්ත්වයන් නොසලකා සෑම දරුවෙකු සඳහාම අධ්‍යාපනයට ඇති සමාජ ප්‍රවේශය තහවුරු කරන බව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙ හි සඳහන් වුවද ආබාධිත තත්ත්වයක් නොමැති නිසා එය හැරුණු කොට ඉතිරි සියල්ල දිව්‍යාගේ ඉගෙනුමට හරස් වී ඇත.

පාසල් අතහරින පාසලට අතහැරෙන ළමයි

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට මඟහැරුණු වතුකරයේ පාසල්

කුමක් හෝ පූරුවේ කළ පිනකට දිව්‍යාට පාසල් යෑමට වරම් හිමි වුවද වතුකරයේ බොහෝ දරුවන්ගේ තත්ත්වය එසේ නොවේය. ඇතැම් දෙමව්පියන් පාසල් නොගොස් රැකියාවක් කිරීම සඳහා දරුවන් යොමු කරයි. ඒ ඒ දෙමව්පියන්ගේ අගහිඟකම් දරාගෙන සිටීමේ ශක්තිය මත දරුවන් පාසල් අධ්‍යාපනය ලබා ගන්නේ කෙතරම් දුරට ද යන්න තීරණය වේ. බොහෝ දරුවන් පාසල් අධ්‍යාපනය අතරමග දී අතහැර දමති. පසුගිය වසරේ ළමා ආරක්ෂක හා පරිවාස සේවා දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය කරගත් කරුණු අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 ත් 17 අතර ළමුන් 20,000 කට ආසන්න පිරිසක් වසරක් තුළ පාසල් අධ්‍යාපනය අතහරින බව හෙළි විය. මේ පිරිසෙන් සැළකිය යුතු කොටසක් වතුකරයට අයත් වන බව නොරහසකි. ඉඳහිට හෝ පාසල් යන දරුවන් ගණන සම්පූර්ණයෙන්ම පාසල් අධ්‍යාපනය අතහරින දරුවන් සංඛ්‍යාවට අයත් නොවේ. මසකට වතාවක් හෝ පාසලට පැමිණෙනවා නම් ඔහු හෝ ඇය පාසල් හැරගිය අයෙකු සේ සළකන්නේ නැත. පාසල් හැරගියා සේ සැළකෙන්නේ දින හතළිස් පහකට වඩා පාසල් නාම ලේඛනයේ නම ලකුණු නොවුණහොත් ය. වැස්සකටවත් පාසලකට ගොඩනොවුණු දරුවන් වතුකරය පීරා බැලුවහොත් ඕනෑවටත් වඩා සොයා ගත හැකිය.

අධ්‍යාපන ආඥා පනතේ 37 වන වගන්තිය යටතේ 2015 අංක 1 දරණ නියෝගය වන්නේ ළමයින් අනිවාර්යයෙන් පාසල් වලට පැමිණීමේ නියෝගයයි. 2016 අනිවාර්ය අධ්‍යාපන ගැසට් නිවේදනයේ “අනිවාර්ය අධ්‍යාපන වයස ලෙස සඳහන් අවුරුදු 5ට නොඅඩු සහ අවුරුදු 16ට නොවැඩි සෑම ළමයෙකුගේම දෙමව්පියන් විසින්, ඒ ළමයාගේ අධ්‍යාපනය සඳහා වෙනත් අයුරකින් ප්‍රමාණවත් හා සුදුසු විධි විධාන සලස්වා ඇත්නම් මිස, නිතිපතා පාසලට පැමිණ අධ්‍යාපනයක් ලැබීමට ඒ ළමයාට කටයුතු සලස්වා දිය යුතුය” ලෙස සඳහන් කර ඇත. නමුත් වතුකරයේ කම්කරුවන් ආණ්ඩුවේ අණපනත් පිළිබඳ කිසිවක් දන්නේ නැත. දැනුවත් වුවද ඇතැමුන්ට ඒ වෙනුවෙන් කළ හැකි යමක් නොමැත. පස්සෙන් පන්නා ගොස් ඔවුන් ඒ නරා වළෙන් ගොඩ ගන්නට කිසිවෙක් මහන්සි වන්නේ ද නැත. බොහෝ රාජ්‍ය නිලධාරීන් වතුකරය සමග කටයුතු කරන්නේ ඇපෙන් ගැලවෙන්නට වාගේය. වසර දෙසීයක් තිස්සේ වතුකරයේ ගැටලු එක තැන පල් වන්නේ එබැවිනි.

“ගොඩක් ළමයි ඉස්කෝලේ ඉවරවෙලා ගිහින් රෑ වෙනතුරු, පොඩි පොඩි රස්සාවල් කරනවා. සල්ලි අතපත ගෑවට පස්සෙ ඒකට ආසවෙලා පාසල් නෑවිදින් රස්සාවල් කරන්න යනවා. සමහර ගෙවල්වල අයත් කැමතියි ඉස්කෝලේ නොගිහින් රස්සාවකට යනවට. දෙමව්පියෝ හැමෝම වගේ නූගත් අය. එයාලට ඉගෙනීමේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. එදා දවසෙ බඩගිනි නිවා ගන්න තිබුණා නම් එයාලට ඇති.අනාගත බලාපොරොත්තු, හීන ඒ ගොල්ලන්ට නැහැ. වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ ට ගෙනියන්න පුළුවන් එකම දේ තමයි අධ්‍යාපනය. අධ්‍යාපන අයිතිය කප්පාදු කරලා ඒගොල්ලන්ට මොන දේවල් දුන්නත් වැඩක් නෑ. එයාලට ලැබෙන වැටුප කළමනාකරණය කරගන්නවත් බැරිවෙලා තියෙන්නෙ මේ නූගත් භාවය නිසා.” නම සඳහන් කිරීමට අකමැති ඇඹිලිපිටිය කලාපයේ ගුරුවරයෙක් සඳහන් කළේ ය.

සීත කාමරවල අත්සන් තැබෙන ප්‍රඥප්ති

විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි වයස අවු 18 අඩු සෑම කෙනෙකුම ළමයෙකු ලෙසත් ඔවුන් හට විශ්ව ළමා අයිතීන් පිළිබඳ ප්‍රඥප්තියේ සඳහන් සියලු අයිතිවාසිකම් හිමිවිය යුතු බවත්, විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි පළමු වන වගන්තියෙන් අවධාරණය කරනු ලබයි. “සෑම ළමයෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඇත. මෙම අයිතිය බුක්ති විඳීම සහතික කරනු සඳහා රජයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු අතර නොමිලේ සැපයිය යුතුය. පාසල් අධ්‍යාපනය ලැබීම සඳහා

දිරිගැන්වීමට සහ අතරමඟ පාසල් හැර යෑම වැළැක්වීමට පියවර ගත යුතු ය.” යනුවෙන් එහි 28 සහ 29 දරන වගන්ති මගින් දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම පිළිබඳ සඳහන් කර ඇත. වගන්ති 54 කින් සමන්විත මෙම ලියවිල්ලේ මූලධර්ම වලින් පිළිබිඹු වන දරුවන්ගේ අයිතිවාසිකම් සෘජුවම වගන්ති 44 මගින් ජීවත්වීම, ආරක්ෂාව, සංවර්ධනය සහ සහභාගීත්වය යන ක්ෂේත්‍රයන් ඔස්සේ සුරක්ෂිත කිරීමට අදාළ කාරණා ප්‍රකාශයට පත්කොට ඇත. ඊට එකඟව එයට අත්සන් තබා මෙම වසර 70ක් සපිරුණ ද වතුකරයේ පාසල්වල ගැටලු සියල්ල එලෙසම ය.

වතුකරයේ අනෙක් පාසල්වල තත්ත්වය මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ වතු පාසල් ද සාමාන්‍ය පෙළ දක්වා හෝ නොමැති අතර එය දරුවන් පාසල් අධ්‍යාපනය අතහැර දැමීමට පෙළඹවීමක් ලෙස හැඳින්විය හැකිය. එදා මෙදාතුර කවදත් වතුකරය හැර නොයන ගැටලු අතර පාසල් හැර යන දරුවන්ගේ ගැටලුව ද ඉදිරි පෙළ ගැටලු අතර සැමදා පවතින්නකි. අඩු වැටුප්, දරිද්‍රතාව, මන්දපෝෂණය, පාසල් හැරයෑම, ළමා මව්වරු, මත්ද්‍රව්‍ය භාවිතය එකිනෙකින් වෙන් කළ නොහැකි තරමටම බද්ධ වී ඇත.

වතුකරයේ අධ්‍යාපනයට සෘජුවම බලපෑම් කරන ඉහත කී යටිතල සාධක කිසිවක් ආමන්ත්‍රණය නොකර වතුකරයේ අධ්‍යාපනය නගාසිටුවීම කළ නොහැක්කකි. “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” (National Education Policy Framework) සම්පාදනය කිරීමේ දී මෙතරම් ගැටලු පිරි වතුකරය මගහැරුණේ කෙසේද යන්න ප්‍රශ්නකාරී ය. වතුකරය අතහැර එහි සඳහන් වන පරිදි ජාති, ආගම්, ජාතිකත්වයන්, භාෂා, ආදායම හෝ ආබාධිත තත්ත්වයන් කිසිවක් නොසලකා සෑම දරුවෙකු සඳහාම අධ්‍යාපනයට ඇති සමාජ ප්‍රවේශය තහවුරු කිරීම කළ හැකි ද? තවදුරටත් එහි දැක්වෙන පරිදි “සෑම සිසුවකු සඳහාම ඩිජිටල් ඉගෙනුම ලැබීමට හා ප්‍රමාණාත්මක ඩිජිටල් සාක්ෂරතාව අත්කර ගැනීම පිණිස සමාන අවස්ථා සැලසීම” කෙසේ වෙතත් වතු පාසල් දරුවන්ට සාමාන්‍ය පන්ති කාමරයක සුව සේ ඉගෙනුම හෝ සඳහන් කර නොමැති වීම දුක්ඛිතය. අවසානයේ ඉතිරි වන්නේ “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” සැකසීමේ දී වතු පාසල් මග හැරුණා ද මග හැරියා ද යන ප්‍රශ්නයයි.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment