ජාතික උද්‍යාන තුළම දුක් විඳින අපේ වන සතුන්

337

ගහකොළ, සතා සිව්පාවුන් සහ විවිධ පරිසර පද්ධතිවලින් පොහොසත් ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ලොව බොහෝ රටවල ජෛව විවිධත්වයට නොදෙවැනිය. නමුත් එම වටිනාකම් ආරක්ෂා කර ගනිමින් තිරසාර ලෙස රටේ සංවර්ධනයට යොදාගැනීම අතින් අප තවමත් ඉතා පසුගාමී ය. මෙරට සංචාරක කර්මාන්තය සඳහා ජාතික උද්‍යාන සහ ඒවායේ දිවිගෙවන වනජීවීන් යොදා ගැනීම එම පසුගාමීත්වය ඉතා සරලව පැහැදිලි කිරීමට සමත්ය. පසුගිය දිනවල යාල ජාතික උද්‍යානයේ ඇතුන් කිහිපදෙනකු සෆාරි ජීප් රථවලට පහරදීමට පෙළඹීම ඈඳුණු සිදුවීම් පෙළ ද එම පසුගාමීත්වයේ දිගුවකි.

ජාතික උද්‍යාන තුළම දුක් විඳින අපේ වන සතුන්

1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ශ‍්‍රී ලංකාවේ වනජීවීන් සංරක්ෂණය කිරීම සඳහා ඔවුන්ගේ ස්වභාවික වාසභූමි ආරක්ෂා කරගැනීමට ඒවා වනජීවී රක්ෂිත වශයෙන් ප‍්‍රකාශයට පත්කිරීම සිදු කරයි. ජාතික උද්‍යාන යනු එවැනි වනජීවී රක්ෂිත වර්ගයකි. ශ‍්‍රී ලංකාව පුරා මේ වන විට එවැනි ජාතික උද්‍යාන 28ක් ප‍්‍රකාශයට පත්කර තිබේ. ඒවායේ ඇති විශේෂත්වය වන්නේ ජාතික උද්‍යාන වනජීවීන්ගේ වාසභූමි සංරක්ෂණයට යොදාගන්නා අතරතුර සංචාරකයින්ට සතුන් නැරඹීම සඳහා ද අවස්ථාව සැලසීමයි. යාල, විල්පත්තු, උඩවලව, මින්නේරිය සහ හෝර්ටන්තැන්න වැනි මෙරට පිහිටි ජාතික උද්‍යාන දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතා ප‍්‍රකට සංචාරක ගමනාන්තයන්ය. ඒ ඔස්සේ සංචාරක කර්මාන්තය මගින් අපේ රටට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් ද ලැබේ. රටක් ලෙස අප කළයුත්තේ නිසි කළමනාකරණයකින් යුතුව අපේ රටේ ජාතික උද්‍යාන සංචාරක කර්මාන්තය සඳහා භාවිත කරමින් සංචාරක කර්මාන්තය තිරසාර ආකාරයෙන් සංවර්ධනය කිරීමය. නමුත් මේ වන විට සිදුවෙමින් පවතින්නේ එය නොවේ. යාල ජාතික උද්‍යානයේදී පසුගිය දිනවල සිදුවූ කනගාටුදායක සිදුවීම් ඊට කදිම නිදසුනකි.

ජාතික උද්‍යාන තුළම දුක් විඳින අපේ වන සතුන්

මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයකු සහ අලි ඇතුන් පිළිබඳ පර්යේෂකයෙකු වන සුමිත් පිලපිටිය මහතා සඳහන් කළේ මෙවැන්නකි.

 ”අපි අපේ ජාතික උද්‍යානවල ජීවත්වෙන වනජීවීන්ගේ හැසිරීම් රටා තේරුම් අරගෙන ඔවුන්ගේ සංරක්ෂණයට ප‍්‍රමුඛතාවය ලබා දෙමින් සංචාරක කටයුතු පවත්වාගත යුතුයි. එසේ නොකළොත් එය වනජීවී සංරක්ෂණයට වගේම සංචාරක කර්මාන්තයටත් අහිතකර විදිහට බලපානවා. යාල ජාතික උද්‍යානයේදී පසුගිය දිනවල සැන්ඩෝ සහ නන්දිමිත‍්‍ර කියන ඇතුන් දෙදෙනා සෆාරි ජීප් රථවලට පහර දුන්නා. ගැමුණු නම් ඇතා සම්බන්ධවත් එවැනි සිදුවීමක් වාර්තා වුණත් එය පහරදීමක් ලෙස හඳුන්වන්න බැහැ. මේ සිදුවීම්වලට හේතුව අපි ඒ සතුන්ගේ හැසිරීම් රටාව පිළිබඳව නොදැන හෝ තැකීමක් නොකර ඔවුන් සමග ගනුදෙනු කිරීමට යෑම.”

 ”යාල ජාතික උද්‍යානය තුළ පිහිටි සිතුල්පව්ව විහාරස්ථානය මගින් සහ ඊට යන එන බැතිමතුන් විසින් අලි ඇතුන් ඇතුළු වන සතුන්ට ආහාර ලබාදීම සිදුකරනවා. ඔවුන් එම ආහාර ගැනීමට හුරු වෙනවා. වන සතුන්ට ආහාර ලබාදීමට පෙළඹෙන බැතිමතුන් එසේ ලබා දෙන්නේ තමන් සතු ආහාරවලින් කොටසක් පමණයි. තමන් වෙත ලැබෙන එම ආහාර කොටසට රහ වැටෙන සතුන් ඔවුන්ට නොදී සංචාරකයන් විසින් ඉතිරි කර ගන්නා ආහාර බලහත්කාරයෙන් ලබාගැනීමට තමන්ගේ ඉව මෙහෙයවනවා. අලි ඇතුන් ශක්තිමත් සහ බුද්ධිමත් සත්ව විශේෂයක් නිසා ඔවුන්ට පහසුවෙන් මෙසේ සංචාරකයන්ගේ ආහාර පැහැරගැනීමට හැකියි. එම සතුන් එම තත්ත්වයට ඇද දමා ඇත්තේ මිනිසුන් වන අප විසින් මයි.”

 ”ඒ වගේම මද කිපෙන කාලයට අලි ඇතුන් ප‍්‍රචණ්ඩ හැසිරීම් දැක්වීම සාමාන්‍ය තත්ත්වයක්. අපි එවිට සිදුකළ යුත්තේ එම සතුන් මගහැර යෑමයි. නමුත් සමහර සෆාරි ජීප්රථ රියදුරන් මෙම තත්ත්වය නොසලකා එම සතුන් අසලටම ගමන් කරනවා. එමගින් තම සේවාලාභීන්ට ත‍්‍රාසජනක අත්දැකීමක් ලබාදීමට හැකි වෙතැයි ඔවුන් සිතනවා වන්න පුළුවන්. නමුත් එය වැරදි වැටහීමක්. එවැනි අවස්ථාවක යම්කිසි අවාසනාවන්ත සිදුවීමක් සිදු වුණොත් එය සමස්ත සංචාරක කර්මාන්තයටම බලපානවා. ඒ වගේම සමහර අවිනීත වනජීවී ඡුායාරූප ශිල්පීන් මෙවැනි අවදානම් තත්ත්වයන් නොසලකා ඡුායාරූප ලබාගැනීමට ඇතුන් අසලටම ගමන් කරනවා. එවිට එම සතුන්ගේ පහරදීම්වලට ලක්වීමේ වරද එම සතුන් මත පැටවීම මනසින් උසස් යැයි කියාගන්නා අපිට කොහෙත්ම සදාචාරාත්මක නැහැ.”

 ”විශේෂයෙන් ජනවාරි, පෙබරවාරි මාසවල සැන්ඩෝ සහ නන්දිමිත‍්‍ර කියන ඇතුන් දෙදෙනාම මද කිපෙනවා. එවිට ඔවුන් අතර සහකාරියන් සොයාගැනීම සඳහා තරගයක් ඇතිවෙනවා. එවිට වඩා ප‍්‍රමුඛ සත්වයාට වැඩි ඉඩක් ලැබෙන නිසා සාපේක්ෂව දුර්වල සත්ත්වයාට පසුබසින්නට සිදුවෙනවා. සැන්ඩෝ සහ නන්දිමිත‍්‍ර කියන ඇතුන් දෙදෙනාගෙන් සැන්ඩෝ වඩාත් ප‍්‍රමුඛ නිසා නන්දිමිත‍්‍රට පසු බැසීමට සිදුවෙනවා. නන්දිමිත‍්‍රට තමන් තුළ ඇතිවෙන ආවේගය සැන්ඩෝ හරහා පිටකිරීමට නොහැකි නිසා වෙනත් ක‍්‍රමයකින් එම ආවේගය පිටකර ගැනීමට පෙළඹෙනවා. එය විද්‍යාත්මකව හඳුන්වන්නේ Redirected aggression යනුවෙන්. එවැනි අවස්ථාවල අප එම සතුන් මගහැර යෑමයි කළ යුතු.”

 මේ ආකාරයෙන් නන්දිමිත‍්‍රගේ පහරදීමකට ලක්වූ සෆාරි ජීප් රථයක සිටි යුක්රේනියානු සංචාරකයෙක් තම අත්දැකීම සමාජ මාධ්‍ය ඔස්සේ විස්තර කර තිබුණේ මේ ආකාරයෙනි.

 ”අද මගේ ජීවිතයේ අවසාන දිනය බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබූ ලංකාවේ ගෙවන අවසාන දිනයයි. අපි සෆාරියක් යෑමට යුක්රේන ජාතිකයන් දෙදෙනෙක්, චෙක් ජාතිකයන් දෙදෙනෙක් සහ ප‍්‍රංශ ජාතිකයන් දෙදෙනෙක් එක්වීමු. සෆාරිය අවසානයේදී, අපට පාරේ දී දළ යුගල සහිත දැවැන්ත අලියකු හමු විය. මුලදී සෑම දෙයක්ම හානිකර නොවන ආකාරයට සිදුවිය. අලියා ආචාරශීලීව අපිව උගේ භූමියෙන් එලවා ආපහු හැරුණි. නමුත් රියදුරු එතැනින් පිටව නොගොස් නැවත අලියා හමුවට ගියේ මන්දැයි දන්නේ දෙවියන් පමණි. මේ වතාවේ අලියා කෝපයට පත් වී වේගයෙන් අපගේ ජීප් රථය වෙත දිව එන්නට පටන් ගත් අතර, අපට ආපස්සට  හැරවීමට කිසිදු ඉඩක් නොලැබුණු බැවින් පසුපසට පමණක් ගමන් කළ අපගේ ජීප් රථය අලියා හඹා ආවේය. එසේ වේගයෙන් අප පසුපස දිව ආ හස්තියා වහාම ජීප් රථය ඇත් දළවලින් සිදුරු කර එය පෙරළීමට උත්සාහ ගත්තේය. අනික් පැත්තේ ලොකු පඳුරක් තිබීම අපගේ වාසනාවට හේතු විය. එම පඳුර නොවන්නට අපව කුඩු පට්ටම් කරමින් ජීප් රථය පෙරළෙන්නට ඉඩ තිබුණි. නැත්නම් අලියාට ජීප් රථය වටා හැම පැත්තෙන්ම ගමන් කරමින් පහර දීමට ඉඩ තිබුණි. ජීප් රථය අලියා විසින් සිදුරු කර තිබූ ආකාරය පසුව හොඳින් පරීක්ෂා කර බැලූ විට ඒ සියල්ල කෙතරම් දැඩි දැයි මට වැටහුණි. වෙනත් නිර්භීත සංචාරකයින් අසල සිටිමින් අලියා පලවා හැරීමට උදව් කර, ඉක්මනින් අපව පිටතට ගෙන යෑම කොතරම් හොඳද. වාසනාවකට සෑම කෙනෙකුම ජීවතුන් අතර, සෞඛ්‍ය සම්පන්නව, මගේ කකුල් මත පමණක් කුඩා තැළීම් සහ සීරීම් ලකුණු පමණයි ඉතිරි වුණේ.”

 අප විසින් වනජීවීන්ගේ හැසිරීම් රටා සහ පරිසර විද්‍යාව වටහා නොගෙන හෝ දැන දැන සිදුකරන නොපනත්කම් හේතුවෙන් වන සතුන්ගේ හිරිහැරවලට මිනිසුන්ටද මුහුණදීමට සිදුවන බවට ඉහත සිදුවීම කදිම උදාහරණයකි. නමුත් අවාසනාවට බොහෝ අවස්ථාවල ඒවායේ චූදිතයන් වන්නේ වන සතුන්මය. එවැනි අවස්ථාවල මෙවැනි අමනෝඥ හැසිරීම්වලට දායක වන පුද්ගලයින්ට දැඩිව වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත ක‍්‍රියාත්මක කිරීම සිදුකළ යුතුය. නමුත් ඒ වෙනුවට සිදුවන්නේ තමන්ගේ වාසභූමිය තුළ නිදහසේ සැරිසැරීමට එම සතුන්ට ඇති අයිතිය උල්ලංඝනය කරමින් අලිවෙඩි ගසා එම සතුන් පලවා හැරීම වැනි ක‍්‍රියා නම් එය කිසිසේත්ම යුක්ති යුක්ත නැත. එසේම තිරසාර වන්නේ ද නැත.

 මේ පිළිබඳව අප කළ විමසීමකදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කළේ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වාලීම සඳහා ජංගම මුර සංචාරක රථ දෙකක් යොදා ඇති බවය. එය අගය කළ යුතුය. නමුත් වසරේ එක් කාලසීමාවකදී පමණක් යාල ජාතික උද්‍යානයට පැමිණෙන සැන්ඩෝ සහ නන්දිමිත‍්‍ර මේ වන විට එයින් ඉවත්ව ගොස් තිබීමට බොහෝ දුරට ඉඩ ඇති අතර මෙම සිදුවීම කාලයේ වැලි තලාවේ සැඟව යෑමට ඉඩ ඇත. නැවතත් බලධාරීන් අවධිවන්නේ එළැඹෙන වසරේ මෙවැනි සිදුවීමක් වාර්තා වුවහොත්ය. නමුත් මෙම ගැටලූව තිරසාර ආකාරයෙන් කළමනාකරණය කරගැනීමට නම් සතුන්ට ආහාර ලබාදීම වැළැක්වීම, ඔවුන්ගේ හැසිරීම් පිළිබඳව තැකීමක් නොකර උද්‍යානයේ ගමන කරන පුද්ගලයින් දණ්ඩනය කිරීම සිදුකළ යුතුමය.

 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතේ 52ආ වගන්තිය අනුව අල්ලා ගැනීමේ කාර්යය සඳහා හෝ වෙනත් යම් කාර්යයක් සඳහා යම් සතකු තමාගේ දේපලක් බවට පත්කර ගැනීමට පෙළඹවීමේ හෝ ආකර්ෂණය කර ගැනීමේ කාර්යය සඳහා කිසිම තැනැත්තකු විසින් යම් ආහාරයක්, සුවඳ වර්ගයක්, වර්ණයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් හෝ උපකරණයක් භාවිත නොකළ යුතුය. වන සතුන්ට ආහාර ලබාදීමට කටයුතු කරන පුද්ගලයන් සහ ආයතන එයින් වැළැක්වීම සඳහා එවැනි නීතිමය ප‍්‍රතිපාදන ක‍්‍රියාත්මක කිරීමට හැකියාව ඇත. එසේ තිබියදී ආහාර ලබාදීම හේතුවෙන් කලහකාරී ලෙස හැසිරුණු නන්දිමිත‍්‍ර අනුකරණය කිරීමට ඉදිරියේදී බොහෝ දුරට ඉඩ ඇති පැරකුම් සහ අර්ජුන යන ඇතුන් දෙදෙනා පිළිබඳව බලධාරීන් ප‍්‍රමාණවත් අවධානයක් යොමුකර තිබේද යන්න ප‍්‍රශ්න සහගත ය.

 ලියුම්කරු ඇතුළු දෙස් විදෙස් පර්යේෂකයන් පිරිසක් විසින් ශ‍්‍රී ලංකාවේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් ජාතික උද්‍යාන පහේදී විදේශීය සංචාරකයන් නොසතුටට පත්වීමට හේතු සෙවීම සඳහා 2019 වසරේදී සිදුකළ විද්‍යාත්මක අධ්‍යනයේදී (https://doi.org/10.1016.j.jort.2018.07.004) හෙළිවූයේ අධික රථවාහන තදබදය, සෆාරි ජීප්රථ රියදුරන්ගේ නොසැලකිල්ල, උද්‍යානවල සංචාරක කළමනාකරණ ප‍්‍රතිපත්ති නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම සහ පරිසරය සහ වනජීවීන් පිළිබඳව ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම ඊට ප‍්‍රධාන වශයෙන් හේතුවී ඇති බවය. අද දවසේ ද යාල ජාතික උද්‍යානයේ සිදුවන ඉහත සඳහන් කළ සිදුවීම් තවදුරටත් අවධාරණය කරන්නේ එම ගැටලූය. එබැවින් මේ පිළිබඳව බලධාරීන් දැන්වත් අවධානය යොමු කිරීම ශ‍්‍රී ලංකාවේ වර්තමාන සහ අනාගත වනජීවී සංරක්ෂණය මෙන්ම සංචාරක කර්මාන්තය සංවර්ධනය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බව අවිවාදිතය.

 සුපුන් ළහිරු ප‍්‍රකාශ්

advertistmentadvertistment
advertistmentadvertistment