ජාතික නාමල් උයන වසර 33 අභිමානය සමරයි – රට ජාතිය වෙනුවෙන් බුදු පුතෙකු කළ අපමණ මෙහෙවර

127

වනවාසී රාහුල හිමියන් ජාතික නාමල් උයන ව්‍යපෘතියේ අභිමානවත් සලකුණ වේ. එදා මොර ගහ උඩ ඇරඹූ තනි සටන අද රටේ ජයග්‍රහණය බවට පත්වී ඇත. මක්නිසාද සංචාරක ආකර්ශනය දැඩිව දිනාගත් ජාතික නාමල් උයන සුන්දර වනස්පතියකි. අභිමානවත් 33 වන වසරට පා තබයි.

ජාතික නාමල් උයන පිහිටා තිබෙන්නේ කොළඹ -අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මඩතුගම හන්දියේ සිට කි.මී. 7 ක් දුරින් ආඬියාගල දෙසට යන මාර්ගයේ ගල්කිරියාගම ප්‍රදේශයේ වේ. ජාතික නාමල් උයන රෝස තිරුවාණා කන්ද ලංකාවේ සංචාරක ආකර්ශනය දිනාගත් අපූරු පරිසර පද්ධතියක් වේ. මෙය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම නා වනය වේ. මෙහි විශේෂත්වය වන්නේ වනාන්තරයක් යනු කවුරුන් විසින් හෝ නිර්මාණය කරන්නේ නැති අතර ජාතික නාමල් උයන යනු මිනිසෙක් විසින් නිර්මාණය කරන ලද්දකි.

ජාතික නාමල් උයන වසර 33 අභිමානය සමරයි - රට ජාතිය වෙනුවෙන් බුදු පුතෙකු කළ අපමණ මෙහෙවර

රාහුල හිමියන් පවසන පරිදි උන්වහන්සේ එදා ඒ සටන අරඹන මොහොතේ එම ස්ථානය මිනිස් වාසයෙන් තොර වූ නිධන් හොරුන්ගේ, දැව ජාවාරම්කරුවන්ගේ පාරාදීසක්ව තිබී ඇත. වන සතුන් ගහනයෙන් පිරී තිබුණු මෙම ස්ථානය මිනිසෙකුට වාසය කරන්න හැකි තත්ත්වයක් කොහෙත්ම තිබී නැත.

මෙසේ මිනිස් වාසයට නුසුදුසුම මහා ඝන වනාන්තරයක් සුන්දර නා උයනක් බවට පරිවර්තනය කරන්නට සාමාන්‍ය පැතුමකට එහා ගිය දැඩි අධිෂ්ඨානයක් තිබීම අගය කළ යුතු අනිවාර්ය කරුණක් වේ.

මෙම ඝන වනාන්තරය හරහා දිවෙන දිගු ඉතිහාස කතාවක් ද පවතී. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දේවානම්පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙයි. අනුරාධපුර මුල් යුගයේ පෞරාණික නටඹුන් රැසකින් සමන්විත මෙහි බොධිඝර, පෞරාණික ගල් පඩි හා ගල් කණු ආදිය දැකගත හැකි වේ. වසර 2000ක් පමණ පැරණි ඉතිහාසයක් නාමල් උයන පිහිටි වනන්තරය සතුවේ. ක්‍රිස්තු වර්ෂ 924 දී ශ්‍රී ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වූ අභය භූමියක් ලෙස එම වනාන්තරය නම් උයන නම් කර ඇත. නාමල් උයනට පිවිසෙන ආඬියාගල මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් කර ඇති බව කියවේ.

මෙවැනි එෛතිහාසික පුරාවෘත්තයක් ඇති ස්ථානය මෙතරම් සාර්ථක ව්‍යපෘතියක් කරන්නට තරම් වනවාසී රාහුල හිමියන්ට ඇති වූ සිතිවිල්ල මෙසේ විස්තර කළේය.

“මම හිතන්නේ මට මේ සිතිවිල්ල ඇති වෙන්න ප්‍රධාන හේතුව පෙර සංසාරේ සිට ආපු පුරුද්දක්. අපිට දුකකින් ලැබුණු මිනිසත්කම අර්ථවත් ලෙස ගත කරන්න අපි වගබලා ගත යුතුයි. මම මේ ජාතික නාමල් උයන නිර්මාණය කළේ මගේම වාසියට නෙමෙයි. බෞද්ධ දර්ශනය අනුව හිතින් අල්ලා ගැනීම නොකළ යුතුයි. මගේ කියලා හිතින් අල්ලා ගත්තොත් කවදාවත් සැනසීමක් නෑ. ජාතික නාමල් උයන ජාතික වස්තුවක්.”

ජාතික නාමල් උයන වගේම රෝස තිරුවාණා කන්ද ඉතාමත් සුවිශේෂීම ස්ථානයක් වේ. මෙයට එෛතිහාසික වැදගත්කමක් වගේම ආදරණීය පුරාවෘත්තයකට හිමි වේ. එනම් ලෝකයේම අවධානය දිනාගත් කිසිදා නොනැසෙන ආදර අන්දරයක් වන ප්‍රසාදය ඉදිකිරීමට අප රටේ ආකර්ශනීය රෝස තිරුවාණා කඳුවැටියෙන් රෝස තිරුවාණා කැට රැගෙන ගිය බවට ඉතිහාසයේ සඳහන් වේ. මෙම රෝස තිරුවාණා එක්තරා අර්ධ මැණික් විශේෂයක් වන අතර කායික හා මානසික වශයෙන් ලෙඩ රෝග රැසකට සහනය ගෙන දේ. මෙම රෝස තිරුවාණාවල වැඩි විශේෂත්වයක් දක්වන්නේ ජපන් ජාතිකයන් වන අතර ඔවුන්ගේ විශ්වාස අනුව රෝස තිරුවාණා වල බලවත් ශක්තියක් (ඡදඇර ෑබැරටහ* ඇති බව කියවේ.

වනවාසී රාහුල හිමියන් කිසි විටෙක ජාතිබේදයක් සැලකුවේ නැත. උන්වහන්සේ සියලු ජාතීන් සමඟ ඉතාමත් සුහදශීලීව කටයුතු කරන ශ්‍රේෂ්ඨ හිමි නමකි. මොන තරම් තාක්ෂණය දියුණුවත් සමග ලෝකය ඉදිරියට ගමන් කරත් මිනිසාගේ යහපැවැත්මට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ස්වභාව සෞන්දර්ය බව මෙයින් පැහැදිලි වේ.

මෙම ජාතික නාමල් උයන පරිසර පද්ධතිය ජාතික, ආගමික, පාරිසරික සහ භූගෝලිය වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක් හිමිකර ගනී. මෙය අක්කර 200ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර රෝස තිරුවාණා කඳු වැටිය අක්කර 600-700 අතර භූමි ප්‍රමාණයකින් සමන්විත වේ. මෙය කඳු හතකින් සමන්විතය.

“ඉස්සර මිනිස්සු මේකට කියලා තියෙන්නේ ලුණු ගල් කැට කියලා. මක් නිසාද මේ කන්ද ලුණු කැට වගේ කෑලි කෑලි කෑඩී කන්දෙන් පල්ලෙහාට එනවා. උල්පාත ගමේ මිනිස්සු ව්‍යවහාර කළේ ගල්පල්ලේ කියාය. ඒ කලේ මිනිස්සු මෙහෙ ඓතිහාසික වටිනාකම දැනගෙන හිටියේ නැහැ.”

මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කිරීමට බොහෝ ආගමික නායකයන් බොහෝ කරති. වර්තමානයේ රටේ සෑම තැනම පන්සල්, පල්ලි, කෝවිල් ඉදිවෙමින් පවතී. මේ සෑම උත්සාහයක්ම දරන්නේ මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කිරීම පිණිස බව අපි සෑම දෙනාම දැනුවත් වේ. වනවාසී රාහුල හිමියන්ගේ ද උත්සහය වූයේ මනවයාගේ සිත් සතන් සුවපත් කිරීම වේ. එහෙත් ඒ පිළිබඳ රාහුල හිමියන්ගේ සංකල්පය ක්‍රියාත්ම වූයේ වෙනස්ම අයුරකින් වීම සුවිශේෂී වේ.

“එදා මම මොර ගහ උඩ පැල අටවා ගත්තේ මොනවා වුණත් මේ සටන දිනනවා යන ස්ථිර අධිෂ්ඨානයෙන්. සොබා සෞන්දර්යයේ නියම ආශ්චර්ය විඳින්න දන්නා කෙනාටයි මෙහි නියම සතුට අත්විඳින්න හැකියාව ලැබෙන්නේ. අද බොහෝ ස්ථානවල අප ජීවත් කරවන ගසවැල්, සතා සිවුපාවා, ජලය, කඳුවැටි අවසන් හුස්ම හෙළමින් ඉන්නේ. මේ විනාශය වළක්වා ගන්න වහාම කටයුතු කරන්න. ගහකොළ සතා සිවුපාවා පිළිබඳ විදේශිකයන් දැඩි ඇල්මක් දක්වනවා. ජාතික නාමල් උයනට නැරඹීමට වැල නොකැඩී විදේශිකයන් එනවා. ඔවුන් අපේ සොබාදහම බොහොම අගේ කරනවා. ආශාවෙන් නරඹනවා. ඒ වගේම ලංකාවේ හැම පළාතකින්ම පාසල් ළමුන් ගුරුවරුන් දෙමව්පියන් එනවා නාමල් උයන නරඹන්න. ජාතික නාමල් උයන නිතරම පාසල් දරුවන්ගෙන් පිරෙනවා. මම මගේ ලක් මෑණියන්ට ආදරෙයි. මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එන්න ජාතික නාමල් උයන නරඹන්න.”

අපි වනවාසී රාහුල හිමියන්ගේ මේ අගනා සත්ක්‍රියාව අගයමු. ජාතික නාමල් උයනත් සමග අත්වැල් බැඳගමු.

ෆාතිමා නුස්රා උවයිස්
සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment