ජාතික නාමල් උයන 32 වැනි සංවත්සරය සහ රාහුල හාමුදුරුවෝ

343

මිනිසා යනු සොබා දහමේ හරිම අපූරු නිර්මාණයකි. මව් කුසින් බිහි වී මෙලොව එළිය දකින සියලු සත්වයාම සොබාදහම නැමති ආදරණීය අම්මා බොහොම සෙනෙහසින් වැළඳ ගන්නවා. ඒ අපූරු නිර්මාණයන් වන අපිට ඒ වටිනා වූ ගහකොළ රැක ගැනීමට සුවිශාල වගකීමක් පැවරී තිබෙනවා. ස්වභාවික වෘක්ෂලතා යනුවෙන් අප හඳුන්වන්නේ මිනිස් සහයෝගයකින් තොරව ඒ ඒ පරිසර අනුව හටගන්නා ශාකයන් ය. මිනිසා ගේ සහයෝගයක් නොමැතිව වැඩෙනා ඒ ගහකොළ මිනිසාට පිරිසිදු වාතය සපයා නිදහසේ හුස්ම පිට කර සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් උරුම කර දෙනවා. ස්වභාවික පරිසරය හා මිනිසා ඈත අතීතයේ මනා සබඳතාවක් පවත්වා ගෙන ගියේය. ඒවා ආරක්ෂා කර ගැනීමට නොමසුරුව බැඳී සිට ඇති බවට අප ඉතිහාස කතාවලින් මනාව පැහැදිලි වේ. විවිධ වර්ගයේ ඉතාමත් වටිනා වෘක්ෂලතා සමූහයකට උරුමකම් කියන අපේ රට කොළ පාටින් සශ්‍රීක වූ රටකි.

ජාතික නාමල් උයන ලෝකයේම අවධානය දිනා ගත් ලෝක උරුමයක් බවට පත් වීමට ඉතා සුදුසුම මහා සුන්දර වනස්පතියකි. ජෛව විවිධත්වයෙන් පිරිපුන් ජාතික නාමල් උයන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනූ සෞඛ්‍ය සම්පන්න වාතාශ්‍රයත් සිසිලසත් කැටිකොට ගෙන සැදුම්ලත් සුවදායක පරිසරයකි. මෙම පරිසර පද්ධතිය ආගමික, පාරිසරික හා භූගෝලීය වශයෙන් වටිනාකමින් ඉහළ අගයකින් යුක්ත වූ අපේ ජාතික සම්පතකි. මෙහි භූමි ප්‍රමාණය අක්කර 2000කින් සමන්විතය. මේ සුන්දර වන පියසට හාද වුනු රෝස තිරුවාණා කඳු වැටිය අක්කර 600-700 අතර භූම් ප්‍රමාණයකින් යුක්ත වේ. වසර මිලියන 500ක ඉතිහාසයකට උරුමකම් කියන රෝස තිරුවාණා කඳුවැටිය ප්‍රාග් ඓතිහාසිය යුගයට අයත් වේ. මෙය සොබාදහමේ විස්මිත නිර්මාණයකි. කඳු හතකින් සමන්විත වූ මෙම කඳු වැටිය ඉන්දියාවේ පිහිටි ආදරයේ පිවිතුරු සංකේතයක් වන ටජ් මහල ඉදිකරන අවස්ථාවේ දී ජනෙල්වලට කැටයම් දැමීම සඳහා රෝස තිරුවාණා කන්දෙන් රෝස තිරුවාණා රැගෙන යෑමට සාජහාන් රජු විසින් කටයුතු කර තිබෙන බවට ඉතිහාසයේ සඳහන් වේ.

ක්‍රිස්තු පූර්ව 02 වන සියවසේ දී අනුරාධපුර මුල් යුගයේ රජකම් කළ දේවානම් පියතිස්ස රජු සමයට අයිති බෞද්ධ සිද්ධස්ථානයක් වන නාමල් උයන ඉන් පසුව 08වන සියවසේ 04වන දප්පුල රජ සමය දක්වා බොහෝ රජවරුන් මෙම සිද්ධස්ථානය වැඩිදියුණු කොට රැකවරණය ලබාදී ඇත. එකළ රජ සමයේ ලෝකයේ මිනිස් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මහමෙව්නා උයන මෙම ස්ථානයේ ස්ථාපිත කිරීමට ද තීරණය කර තිබූ ස්ථානයකි. කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේ වෙනස් විය. අප රට මොන තරම් ගස්වැල්වලින් පිරිපුන් වනාන්තරවලින් සශ්‍රීක රටක් වුවද 21වන සියවස වන විට මිනිස්සු හුඟක් මහන්සි වුණේ කොන්ක්‍රීට් වනාන්තර බිහි කිරීමට ය. එනම් ගස් කප්පාදු කොට මහා ගොඩනැඟිලි ඉදිකරමින් රට කොන්ක්‍රීට්වලින් සැරසීම ය. රටේ බහුතරය එසේ කටයුතු කරමින් සිටියදී මේ මහා නා ගස්වලින් පිරිනු ඓතිහාසික වනස්පතිය බේරා ගැනීමට ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයෙක් වගේම උතුම් බුද්ධ පුත්‍රයෙක් වන වනවාසී රාහුල හිමියන් ඉදිරිපත් විය. එවකට මිනිස් වාසයෙන් තොර වූ ඒ මහා මූකළාන බේරා ගැනීමේ සටන සුළුපටු නොවීය. උන්වහන්සේ තම රට ජාතිය වෙනුවෙන් ඒ භාර දූර කටයුත්ත මහත් අභිමානයෙන් තම කරට ගත්තේ ය.

නාමල් උයනේ නිර්මාතෘවරයන් වන වනවාසී රාහුල හිමියන් අදහස් දැක්වූයේ මෙසේය.

1991 මාර්තු 28 වන දින මම මෙම ඓතිහාසික මෙහෙයුම ආරම්භ කළා. ඒ වන විට මිනිස් වාසයට සුදුසු පරිසරයක් මෙහි තිබුණේ නැහැ. දැව ජාවාරම්කරුවන් නිධන් හොරුන් මේවා විනාශ කරලා තිබුණේ. මොර ගහක් උඩ පැලක් අටවා ගෙන රටක් වශයෙන් ජාතියක් වශයෙන් මම මේ මෙහෙයුම ජය ගන්නවා කියන අධිෂ්ඨානය ඇතිව පටන් ගත්තා. වසර 2000ක් පැරණි ඉතිහාසයක් නාමල් උයන සතු වන අතර කියන්න බොහොම සතුටුයි. 2023 මාර්තු මස ජාතික නාමල් උයනේ 32වන සංවත්සරය යෙදිලා තියෙනවා.

ඒ වගේම ආකර්ෂණීය රෝස තිරුවාණා කන්ද ගැන කිව්වොත් ඉස්සර කාලේ මිනිස්සු රෝස තිරුවාණාවලට ලුණු ගල් දෙවල කියලා හඳුන්වලා තියෙනවා. මක් නිසාද මේ කන්දෙන් කෑලි කැඩිලා කන්දෙන් පහළට වැටෙනවා. රණව උල්පාතගම ගමේ මිනිස්සු ව්‍යවහාර කළේ ගල්ලප්පල්ලේ කියා ය. මෙය ගල් පාත්තරයක් හැටියට භාවිතා කොට ඇති අතර එකල විසූ උදවියට මෙහි ඓතිහාසික වටිනාකමක් තියෙන බවට දැනගෙන හිටියේ නැහැ. රෝස තිරුවාණාවල ඇති ශක්තිය (ඡදඇර ැබැරටහ) මොනතරම්ද කිවහොත් මේ විශ්ව ශක්තිය ගබඩා කොට තිබෙන ස්ථානවලින් එකක් වනවා. රෝස තිරුවාණා නොහොත් මඳ රතු දියතරිප්පු කොන්දේසි විරහිත ආදරයට සම්බන්ධ අර්ධ මැණික් වර්ගයක් වීම අති විශේෂ කාරණාවක්. ඒ වගේම මෙම මැණික් වර්ගය මානසික සුවය ලබා දෙනවා වගේම කායික සුවයත් ලබා දෙනවා. රෝග රැසකට ඖෂධයක් වෙනවා. ලෝකයේ විවිධ රටවලින් සංචාරකයන් පැමිණියත් ජපන් ජාතිකයන්ට රෝස තිරුවාණාවල ශක්තිය ලබා ගැනීමට ඔවුන් වැඩි වශයෙන් මෙහි පැමිණීම සුවිශේෂ වෙනවා. ජෛව විවිධත්ව සහ පාෂාණ පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන පර්යේෂණ පවත්වන අයට එවැනි දෑ ගැන අධ්‍යයනය කරන අයට වගේම කඳු තරණය කරන්නන්ට මම ආරාධනා කර සිටිනවා, මෙහි පැමිණෙන්න. මෙහිදී ඔබට අධ්‍යාපන වටිනාකමක් වගේම හොඳ අත්දැකීමක් ලැබේවි.

මෙය ලෝක උරුමයක්. මෙය අපේම දෙයක්

අප එය රැකගත යුතුයි. අපි වැඩි වැඩියෙන් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගතයුතු වනවා. මක් නිසාද අප රටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට නම් ආරක්ෂා කොට දියුණු කළ යුතුයි. අපි ඇයි අපේ රට සංවර්ධනය කරන්න අනිත් රටවල්වලින් ණය ගන්නේ. අප රටේ සංචාරක ආකර්ෂණය දිනාගත් තැන් හඳුනා ගෙන ඒවා සංවර්ධනය කර විශේෂයෙන් යටිතල පහසුකම් දියුණු කිරීමෙන් දැවැන්ත සංචාරක ප්‍රවර්ධනයකට යා හැකි වෙනවා. සංචාරක ව්‍යපාරය යනු අප රටට විදේශ විනිමය උපයාගත හැකි දැවැන්ත ව්‍යාපාරයකි.

ජාතික නාමල් උයන ආරම්භයේ සිට අද දක්වාම පැවති සියලු රජයන්ගේ සහාය ජාතික නාමල් උයන සඳහා ලැබී තියෙනවා. එනම් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ සිට වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වා සහාය දීම සිදුකර තියෙනවා. මම කා සමගවත් කිසිදු ගැටලුවක් ඇති කරගෙන නැහැ. මක් නිසාද මම දේශපාලනය කරන භික්ෂුවක් නොවේ. මම බොහොම සත්භාවයෙන් මේ කර්තව්‍යයට සෘජූ නායකත්වය ලබා දුන්නා පමණයි. ආරම්භක අවස්ථාවේ සිට 2018 වසර දක්වා මෙහි සියලු පරිපාලන කටයුතු කළේ මම. ඉන් පසුව මම ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ලිඛිතව භාර දුන්නා. දැන් මෙහි සියලු මෙහෙයුම් කටයුතු ඒ හරහා සිදුවෙනවා. මම බෞද්ධ භික්ෂුවක් හැටියට අත්හැරීම කියන වචනයට නියම අරුත වටහාගෙන කටයුතු කළා. මෙය සියල්ලන්ටම උතුම් ආදර්ශයක් වෙනවා. මක් නිසාද කොයි කවුරුත් කැමතියි පාලන බලයක් තමන් සතුව තියෙනවා නම්. මා මෙහි අයිතිකරුවා නොවේ. මුරකරුවා පමණි.

සියලු සත්වයාගේ හිත සුව පිණිසයි මා මේ මෙහෙවර ආරම්භ කළේ. ඒ වගේම මෙහි අයිතිය සියලුම ජාතීන්ට හිමි වෙනවා. බෞද්ධයන් පමණයි කියන ලේබලය කොහෙත්ම වලංගු වන්නේ නැත. ජාතික නාමල් උයන නැරඹීම සඳහා ලංකාවේ සියලුම පළාත්වල සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික පාසල්වල සිසුන් පැමිණෙනවා. ඒ වගේම දෙස් විදෙස් උගතුන් බුද්ධිමතුන් ඇතුළු සියලුම සංචාරකයන් මෙහි පැමිණෙනවා. මෙහි ඇති අධ්‍යාපනික දැනුම ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දීමට වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. භූ විද්‍යාව, පරිසර විද්‍යාව හා පුරාවිද්‍යාව පිළිබඳව පර්යේෂණ කිරීමට මෙය හොඳම තෝතැන්නක්. ජාත්‍යන්තරය තුළ වටිනාකමක් සාදා ගන්න අපිට තියෙන සම්පත් හොඳටම ඇති. සියලු දෙනාම වගකීමෙන් කටයුතු කරන්න.

මා එක්ක මේ කටයුත්තට උර දුන් විශේෂයෙන් වර්ෂ 1991 සිට මේ වනතුරු මේ රටේ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය සියලු දෙනාටම මා ඉතාමත් ගෞරව පූර්වකව ස්තුතිවන්ත වෙනවා. මෙහිදී මා විශේෂ ස්තුතිය පුද කරන්න කැමතියි ‘දිවයින’ පුවත්පතට. මක් නිසාද මෙහි විද්‍යාත්මක පරීක්ෂණ ඔවුන්ගේ මූලිකත්වයෙන් සිදුකර දීම නිසා. එයින් මෙහි ඇති ඓතිහාසික පාරිසරික, භූගෝලීය වටිනාකම පිළිබඳව ජාත්‍යන්තර අවධානය වගේම සංචාරක ආකර්ෂණය ද දිනා ගැනීමට හැකි වුණා. ඉතිහාසයේ සඳහන් වන පරිදි අවුරුදු සිය දහස් ගණන්වල සිට වර්තමානය දක්වා ආගමික නායකයන් විසින් පන්සල් පල්ලි කෝවිල් සෑදීම වැනි විවිධ සංවර්ධන කටයුතු කිරීම වගේම බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් විශාල ලෙස වෙහෙර විහාර සංවර්ධනය කොට පූජා කොට තිබෙනවා. වර්තමානයේ රට පුරා පූජනීය ස්ථාන ඉදිකර තිබුණට එයින් මිනිස්සුන්ගේ සිත් සතන් සුවපත් වූවාද යන්න අපැහැදිලි කරුණකි. කොන්ක්‍රීට් වනාන්තර අතර සිර වී අපේ මනුස්සකම අතුරුදන් වී, ජාති භේද උස් පහත් බේද මතු වීම අයහපතට කරුණක් විය. අපේ වනවාසී රාහුල හිමියන් ස්වාභාවික ඔක්සිජන් වනාන්තරයක් තම පන මෙන් ආරක්ෂා කොට රටට ජාතියට දායාද කළා.

වනවාසී රාහුල හිමියන් සියලු ජාතීන්ගේ ගරු බුහුමන් ලබන තම රට ජාතිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරපු උතුම් හිමි නමකි. බෞද්ධ දර්ශනයේ නියම අරුත වටහාගෙන උන්වහන්සේ දුකකින් ලැබුණු මිනිසත් බව මිනිස්සුන්ට රැක දීමට කටයුතු කළා. උන් වහන්සේ කළ උදාර මෙහෙවර සම්මාන දී පමණක් අගය කළ යුතු කාර්යයක් නොවේ.

ජාතික නාමල් උයන 32 වැනි සංවත්සරය සහ රාහුල හාමුදුරුවෝ

ෆාතිමා නුස්රා උවයිස්

advertistmentadvertistment
advertistmentadvertistment