ජාතික නිදහස අගයමු සරසමු

226

77 වැනි නිදහස් දින සමරුවේ ප්‍රචාර පෙළපාළිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ බළකායේ නිලධාරීන් පසුගිය සිකුරාදා දින පෙරහුරු ගමන් ගිය අයුරු. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

ජාතික නිදහස අගයමු සරසමු

මෙරට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා සමරනු ලබන නිදහස් දින අභිමානවත් 77 වැනි ජාතික උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ නව වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (04දා) පෙරවරු 7.20 සිට කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි.

උත්සවය සඳහා ආරාධනය කර ඇති ආරාධිත අමුත්තන් එදින පෙරවරු හතයි විස්ස පමණ සිට අසුන් ගැනීමට නියමිත අතර අගවිනිසුරු, කථානායක, අගමැතිවරිය සහ ජනාධිපති ඉන්පසුව පැමිණීම සිදුවනු ඇත.

මඟුල් බෙර වාදනය සහ ජයසත් මධ්‍යයේ ජනාධිපති විසින් එදින පෙරවරු 08.05ට පමණ අභිමානවත් අන්දමින් ජාතික ධජය එසවීම සිදුකෙරේ. පසුව පාසල් සිසු සිසුවියන් 44 දෙනෙකු විසින් ජාතික ගීය ගායනා කිරීම සිදුවේ. පසුව සිසුවියන් 16 දෙනකු විසින් ජයමංගල ගාථා, දේවෝවස්සතු කාලේන ගායනා කිරීම සිදුකරනු ලැබේ.

ජාතික නිදහස අගයමු සරසමු

පසුව, දේශයේ ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපිදූ සියලු ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කරමින් විනාඩි 2ක නිහඬතාවයක් පළ කෙරේ. ඉන් අනතුරුව ජනාධිපති උත්තමාචාර පැවැත්වීමෙන් පසුව අනුර කුමාර දිසානායක මහතා ජාතිය ඇමතීම සිදුකරයි.

යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය විසින් පවත්වනු ලබන සම්මාන පෙළපාළිය ඉන් අනතුරුව ආරම්භ කෙරේ. සංස්කෘතික සංදර්ශනද පැවැත්වීමෙන් අනතුරුව දෙමළ බසින් ජාතික ගීය ගායනය සිදුකිරීමෙන් පසු නිදහස් උත්සවයේ අවසානය සනිටුහන් කරමින් ජනාධිපති ඇතුළු ආරාධිතයන් උත්සව සභාවෙන් පිටව යෑම සිදුවේ. පසුව මධ්‍යාහ්න 12ට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී ශ්‍රී ලාංකීය ජාතිය වෙනුවෙන් ආචාර වෙඩි මුර 25ක් පිරිනැමීම සිදුකෙරේ.

නිදහස් උත්සවයට පෙර සිටම සර්ව ආගමික වතාවත් සිදුකෙරේ. නිදහස් දින පෙරවරුවේ නිදහස් චතුරස්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට මල් මාලා පැලඳවීමද හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් විසින් සිදුකරනු ලැබේ.

මෙවර ආචාර පෙළපාලියේ ත්‍රිවිධ හමුදා, පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ, සිවිල් ආරක්ෂක බළකායේ, ජාතික ශිෂ්‍ය භට බළකාය, විශ්‍රාමික නිලධාරීන්, ආබාධිත නිලධාරීන් 29 දෙනකු ඇතුළුව සෙබළු 4345 දෙනෙක් පමණක් සහභාගි වෙති.

යුද හමුදාවට අයත් රථ 04ක්, විශ්‍රාමික නිලධාරීන් සඳහා රථ 01ක්, ආබාධිත නිලධාරීන් සඳහා රථ 02ක්ද ඇතුළුව රථ 07ක් පමණක් යොදාගන්නා බව ආණ්ඩුව කියා සිටී.

අකිත පෙරේරා


advertistmentadvertistment