ජාතික පුස්තකාලය මගහැර ගෝඨාගෝගමේ පුස්තකාලයට යන මිනිස්සු

290

“ජයග්‍රාහී අරගල බිම් තුළ පරමාදර්ශය ජීවත්වනවා සේම පරාජිත අරගල බිම් තුළ ගුරුවරුන් ජීවත් වේ” යනුවෙන් කියමනක් ඇත. ගාලුමුවදොර දැනට ක්‍රියාත්මක අරගලය ඉහත කියමනට අනුව කුමන මුහුණුවරක් ගනීද යන්න පිළිබඳ තීරණය කිරීම කාලය විසින් සිදුකරනු ඇත. කෙසේ වෙතත් ගාලුමුවදොර අරගලය ආරම්භ කොට අදට මාසයකුත් දින දහතුනක් ගත වී ඇත. පටු ජාති, ආගම් කුල මල භේදයන්ගෙන් තොර අරගලයක් ලෙස වර නැගෙන එය පුළුල් අභිමතාර්ථයන්ගෙන් පොහොසත්ය. තරුණ අරගලකරුවන් මේ වන විට ඒ බව සිය භාවිතයෙන් ඔප්පු කරමින් ඇත. එක්සත්ව, එක්සිත්ව ඔවුහු උස් හඬින් ඉල්ලා සිටින්නේ උපන් රට හිඟමනට ඇද දැමූ ජරාජීර්ණ දේශපාලනය වෙනස් විය යුතු බවත් එම වෙනස මත පදනම්ව වඩාත් යහපත් සමාජ වටපිටාවක් තුල වුවද රට තුළ නිර්මාණය කළ යුතු බවත්ය.සමාජ මාධ්‍ය ඔස්සේ ‘ගෝඨා ගෝ හෝම්” යනුවෙන් පළකළ හෑෂ් ටැගයක් පළ කිරීම තුළ 2022.04.09 වන දින අරඹන ගාලුමුවදොර අරගලය, ආරම්භයේ සිට මේ දක්වා නොනැසී පවතින විශේෂ ලක්‍ෂණයක් බවට පත් වන්නේ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සහ දේශප්‍රේමී පොදු ජනතාව විසින් අරගලයට පන්නරය ලබා දීම පිණිස පෙරමුණ ගැනීමත් එහි ජීව ගුණය ඉදිරියටත් පවත්වාගෙන යෑම පිණිස එම පිරිස විසින් දුෂ්කරම සමාජ වටපිටාවක තව දුරටත් කටයුතු කරමින් හිඳීමත්ය.

අරගලය පිණිස කිසිවිටකත් ප්‍රචණ්ඩත්වය භාවිතා නොකරන ඔවුන් සිය හැඟීම් සහ ආවේගයන් නිර්මාණශීලීව මුදාහරිමින් ඇත. අරගල භූමිය තුළ ඔබ මොබ ඇවිද යන ඕනෑම කෙනකුට ඒ බව මැනවින් දැකගත හැක. කවිය, ගීතය ඇතුළු තවත් සාහිත්‍යාංග රැසක් ඔවුන් ඒ සඳහා භාවිතා කරමින් ඇත. මෙවැනි සාමකාමී අරගලයක් දිගු කලක් තිස්සේ මෙරට ක්‍රියාත්මක්ව පවතින්නේ මුල්වරටය. මෙතෙක් කලක් දකින්නට ලැබුණ සාම්ප්‍රදායික මුහුණුවරින් මුළුමනින්ම බැහැරව ක්‍රියාත්මක ගාලුමුවදොර අරගලය ඉහළ ජනතා ආකර්ශනයකට ලක්වීම පිණිස එය මූලික හේතුවක් බවට පත්ව ඇත. පොදු සටන් පාඨයක් ඔස්සේ ක්‍රියාත්මක තරුණ අරගලකරුවන් ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව ඒවාට අදාළ පරිසරයක් නිර්මාණය කර ගෙන තිබෙන අතර ආහාර ජලය, විදුලිය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සියල්ලක්ම ඔවුන් විසින් සපයා ගෙන ඇත.

ජාතික පුස්තකාලය මගහැර ගෝඨාගෝගමේ පුස්තකාලයට යන මිනිස්සු

ගෝඨාගෝ ගම්මානය ලෙසින්ද ඇතැමුන් විසින් හඳුන්වන අරගල භූමියේ කූඩාරම් සියයකට අධික ප්‍රමාණයක් දකින්නට ලැබෙන අතර එම සියලු කූඩාරම් වෙත ආහාර නිකුත් කරනු ලබන්නේ අරගල භූමියේම පිහිටි ‘ගබඩාව’ මගිනි. එම ක්‍රියාන්විතය පිණිස වෙනම කණ්ඩායමක් පත් කොට තිබෙන අතර අරගලයට සම්බන්ධ සියලු දෙනාගේ නම් ඇතුළත් ‘වට්ස්ඇප්’ ගෲප් එකක් හරහා අරගල කරුවන්ගෙන් දෛනිකව ලබා ගන්නා තොරතුරු ඔස්සේ ඔවුන්ට අවශ්‍ය ආහාර ජලය ආදිය ප්‍රධානය කරති. ඒ සඳහා පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිති. ඔවුන් විසින් අරගල භූමියට අවශ්‍ය පානීය ජලය, වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අනිකුත් දෑ පරිත්‍යාග කරමින් සිටීමද විශේෂත්වයකි. ගෝඨාගෝ ගමේ ‘මුළුතැන්ගෙයි’ සකසන බත් පාර්සල් අරගලකරුවන් අතට පත් වන්නේ ඒ ආකාරයෙන්ය.අරගල භූමිය ආරම්භයේ සිට මේ දක්වාම ඊට දායකත්වය ලබා දෙමින් එහි රැඳී සිටින පිරිසක්ද දැකගත හැක. කූඩාරම්වල රැඳී සිටිමින් අරගලයට පන්නරය ලබා දෙන ඔවුන් උදෑසන එම ස්ථානයෙන් පිටත්ව ගොස් රැකී රක්‍ෂා ආදියේ නිරතව නැවත සැඳෑවත් සමඟ අරගල භූමියට පැමිණ ඒ සඳහා සහභාගිවීම ගෝඨා ගෝ ගම අරගල භූමියේ දකින්නට ලැබෙන තවත් සුවිශේෂී සිදුවීමක්ය. ඒ අතර ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ රැකියාවේ නිරත පිරිසක් ද අරගල භූමිය තුළ දැකගත හැක.

එවැනි පිරිස් සඳහා ස්නානය කිරීම පිණිස ‘ෂැංග්‍රිලා පීල්ල’ නමින් වෙනම ස්ථානයක්ද ඉදිකොට ඇත. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවෙන් හෙළ සිරිතට අනුව කටයුතු කළ තරුණ අරගලකරුවන් වෙසක් පසළොස්වක පොහොය නිමිත්තෙන් සංඝයා වහන්සේ 100 ක් නමක් උදෙසා සාංඝික දානයක්, පිරිත් දේශනයක් සහ ඩිජිටල් තොරණ ආදියද අරගල භූමියේ පැවැත්වීම තුළ ආගමික සංහිඳියාව පිළිබඳ අප්‍රමාණ පුවතක් සමාජ ගත කිරීමට සමත් වූහ. ඒ සෑම ආගමික සංස්කෘතික කටයුත්තකදීම ජාති, ආගම් කුල මල භේද කිසිවක් නොවූහ.අරගල භූමිය තුළ පවත්වාගෙන යනු ලබන පුස්තකාලය ඇතමෙක් විසින් නම් කරනු ලබන්නේ අරගලයේ හදවත ලෙසය. එය කොතෙක් සාර්ථකදයත් මෙරට සම්මානනීය ලේඛක ලේඛිකාවන්, පොත් ප්‍රකාශකයන් ඇතුළු පොත පතට ලැදි බොහෝ පිරිස් එම පුස්තකාලය වෙත විශාල වශයෙන් පොත් ප්‍රදානය කරමින් ඇත. දැනුමෙන් සන්නද්ධ මානව පරපුරක අවශ්‍යතාවය හොඳින් වටහා ගන්නා තරුණ අරගලකරුවන් විසින් එම පුස්තකාලය පරිහරණය කරන ඕනෑම අයකුට එම පොත් රැගෙන යෑමේ අවසරයද ලබා දී ඇත.එලෙස පොත් රැගෙන යන පිරිස අමතමින් අරගලකරුවන් සඳහන් කරන්නේ පොත් පරිශීලනය කිරීමෙන් අනතුරුව තවත් පිරිසකගේ ප්‍රයෝජනය පිණිස එම පොත්පත් වෙනත් පුස්තකාලයක් වෙත ප්‍රධානය කිරීම පිණිස පරිත්‍යාගශීලී වන ලෙසය.

ජාතික පුස්තකාලය මගහැර ගෝඨාගෝගමේ පුස්තකාලයට යන මිනිස්සු

කලාගාරයක් පවත්වාගෙන යෑම තුළ තරුණ නිර්මාණකරුවන්ට ඉස්මතුවීමට අවස්ථාවක්ද ගාලුමුවදොර අරගලය විසින් ඉස්මතු කර දී ඇත. ඒ අනුව නවීන සම්ප්‍රධායේ තරුණ චිත්‍ර ශිල්පීන් රැසක් මේ වන විටත් අරගල භූමිය තුළින් රටට හඳුන්වා දී ඇත. එහි පවතින තවත් විශේෂත්වයක් වන්නේ එම නිර්මාණ පිණිස වෙළෙඳපොළක්ද අලුතින් ඇති වී තිබීමය. එපමණක් නොව තරුණ නාට්‍යකරුවන්ගේ සහභාගීත්වයෙන් දිනපතා පවත්වනු ලබන කෙටි නාට්‍ය ආදියෙන් අරගලයේ විප්ලවීය ජීව ගුණයට ඉහළ උත්තේජනයක් හිමි වී ඇත. එම භූමියේ පිහිටි සිනමා ශාලාවද බොහෝ දෙනකුගේ සිත් ගත් ස්ථානයක් ලෙස ප්‍රකටය. එහි ප්‍රදර්ශනය කරනු ලබන චිත්‍රපට මගින්ද අරගලයට උත්තේජන සපයමින් ඇත. ලෝක ප්‍රකට සිනමාකරුවන් විසින් නිර්මාණය කළ උසස් සිනමා නිර්මාණ රස විඳීමට එහි යන ඕනෑම කෙනකුට අවස්ථාව හිමි වී ඇත.
 ආගමික හා ජාතික සංහිඳියාව මෙන්ම සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙසින්ද තවමත් ක්‍රියාත්මක ‘ගොඨා ගෝ ගම’ට ඉකුත් 09 දා එල්ල වූ මැර ප්‍රහාරයට එරෙහිව රට වීදි බසින්නට වූයේ එය ඉහත සඳහන් සාධනීය ලක්‍ෂණවලට එල්ල කළ මැර ප්‍රහාරයක් වීම හේතුවෙන්ය. ගාලුමුවදොර අරගලයට ප්‍රහාරයක් එල්ලවන බවට ලද ආරංචිය ඔස්සේ දේශපාලන පක්‍ෂ පාට භේද ආදියෙන් තොරව විශාල පිරිසක් එහි රැස්වන ආකාරයෙන් ඔවුන් තරුණ අරගලකරුවන් පිණිස පෙනී සිටීමට ඉදිරිපත් වූ ආකාරයක් එදින දැකගත හැකි විය. එම පිරිස අතරට කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයද විය. එම අවස්ථාව අරගලයට ප්‍රහාර එල්ල කළ පිරිස දිවි නසාගත් මොහොත ලෙසද නම් කළ හැක. අවසානයේදී එම සාහසික පහරදීම අරගලයට නව ජීවයක් ලබා දුන් සිදුවීමක් බවටද පත්විය.

 රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment