ජාතික රෝහලේ හෝ කළුබෝවිල රෝහලේ කලාකරුවන් වෙනුවෙන් වාට්ටුවක් වෙන්කර දෙන්න

280

-රංගන ශිල්පි අර්ජුන කමලනාත්

ආගම දහමින් යහපත් පුරවැසියන් බිහි කළත් අද රූපවාහිනී මාධ්‍ය තුළ පෙන්වන බොහෝ නිර්මාණවල සුබවාදී දේවල් නැතැයි ප්‍රවීණ රංගන ශිල්පිනි මීනා කුමාරි මහත්මිය පැවසුවාය.

අනාගතයේදී කලාවේ වර්ධනය වෙනුවෙන් සියලු කලාකරුවන් එකතු විය යුතු බවත්, ආදරය, කරුණාව, දයාව වර්ධනය වන නිර්මාණ ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කළ යුතු බවත් පිටකෝට්ටේ උත්සව ශාලාවකදී

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මීනා කුමාරි රංගවේදිනිය කියා සිටියාය.

යුනයිටඩ් යූත් කලා එකමුතුව විසින් කෝට්ටේ උත්සව ශාලාවක සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට සහභාගි වූ කලාකරුවෝ මෙසේ අදහස් දැක්වූහ.

රංගන ශිල්පි සේනක විජේසිංහ මහතා – කලාකරුවන් වන අපිට ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ දේශපාලනය නිසයි. චිත්‍රපට, ටෙලි නාට්‍ය නිර්මාණ ප්‍රදර්ශනය කරන්න අවසර ගන්න යනකොට මේ හැමතැනකදීම ප්‍රශ්න මතුවී තිබෙනවා. මුලින්ම රට දියුණු වෙන්න ඕනෑ. එහෙම නැතිව කලාව දියුණු වෙන්නේ නැහැ. මම හිතන්නේ වත්මන් ජනාධිපතිවරයා තවත් වරක් ජනාධිපති ලෙස පත් වුණොත් රටට හොඳ කලක් යයි කියලයි.

රංගන ශිල්පි අර්ජුන කමලනාත් – මීට වසර එකහමාරකට පෙර තිබ්බ රට නොවෙයි දැන් තියෙන්නේ. මීට පෙර දාල යන්න හිතුන රටේ දැන් එවැනි තත්ත්වයක් මඟහැරෙමින් තියෙනවා. දැන් ආර්ථිකය ගොඩනැඟෙමින් තියෙනවා.

අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි අසනීපයක් හෝ වයසට ගියාම රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට යෑමේදී ගැටලු මතුවීම. ඒ නිසා කළුබෝවිල හෝ ජාතික රෝහලේ කලාකරුවන් වෙනුවෙන් වාට්ටුවක් වෙන්කර දෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. ඒ සඳහා අවශ්‍ය ඇඳන් ඇතුළු උපකරණ සම්පත්දායකයන්ගෙන් හොයල දෙන්න පුළුවන්. අපිට ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. පෙන්ෂන් නැහැ. ඒ නිසා අපිට නිර්මාණ කිරීම සඳහා අඩු පොලියට ණයක් දෙන්න කියලත් රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කලාකරුවන්ට රක්‍ෂණයක් දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.

රංගන ශිල්පිනි අංජලී ලියනගේ මහත්මිය – අද අලුත් පරම්පරාව TIK-TOK හරහා කලාවට එන්න තමයි උත්සහ කරන්නේ. අපි ඔවුන්ව නිවැරදි මගට ගන්න ඕනෑ. අපි ඒ අය සම්බන්ධ කරගෙන කලාවට නිවැරැදිව ප්‍රවිෂ්ටවීමට ගුරුහරුකම් දී, ඔවුන්ට වෘත්තීය කලාකරුවන් වන්නේ කොහොමද යන්න කියා දිය යුතුයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment