ජාතික වෙසක් උලෙළේ සිරියෙන් බැබළෙන කූරගල පුදබිම

355

● මෙන්න කූරගල ඉතිහාසය

රත්නපුර දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බලන්ගොඩ කල්තොට ප්‍රධාන මාර්ගයේ කි.මී. 28ක් පමණ ඈතින් පිහිටි තන්ජන්තැන්න (තැන්න) ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. 2ක් පමණ දුරකින් ඓතිහාසික කූරගල ශෛලමය ගුහා පුදබිම පිහිටා ඇත. නැගෙනහිර දේශාංශක 800 44” හා උත්තර අක්ෂාංශක 60 31” අයත්ය. මුහුදු මට්ටමේ සිට උස මීටර් 177 පමණ වේ. වියළි හා සෞම්‍ය කලාපය (අතරමැදි කලාපය) අතර පිහිටයි.

තන්ජන්තැන්න ප්‍රධාන මාර්ගයේ “කූරගල පුරවිද්‍යා ස්ථානය” යනුවෙන් නාම පුවරුවක් එදා සවිකර තිබුණි. ගල් මතුවී තැනින් තැන තාර ගැලවී තණකොළ වැඩුණු පටු පාරක් කිලෝ මීටරයක් පමණ දුර ප්‍රමාණයකට තිබුණි. පාර දෙපස නිවාස කිහිපයක්ද විය. මාර්ගය අවසානයේ දොළ පාරකි. එතැන් සිට කඳු මුදුන දක්වා ක්‍රමයෙන් උස් වූ ගල් පර්වතය මත පා ගමනින් ගමන් කළ හැකි විය. තැනින් තැන ගල් පඩි ද ඉදිකර තිබුණි. ඒ වනවිට පිවිසුම් මාර්ගයේ තොරණ වැනි ඉදිකිරීම් කිසිවක් නොවීය. ගල් පවර්තය මත චෛත්‍යයක නටබුන් වූ කළුපැහැ ගඩොල් ගොඩකි. ගල මුදුන හෙක්ටයාර් 10ක පමණ ඈතට පැතිරුණු ගල් තලාවක් විය.

තැනිතලා පර්වත මුදුනේ කුහරයකි. බැවින් (කුහරූගල) කූරගල නාම භාවිත වේ. දෙතුන් දෙනෙක් සමඟ මම කුහරයට රිංගා ගියෙමි. හිස හා දෙදණ නමාගෙන ගල් අතරින්, දණගාගෙන බඩගාගෙන ඇදෙන ලෙස ඉතා දුෂ්කර මිනිත්තු දහයක පමණ ගමනක යෙදුනෙමි. මෙහි ඇතුළත තෙතමනය, වවුල් ගඳ සහිත වාතාස්‍රය නිසා හුස්ම ගැනීමට පවා අපහසු විය. ගුහාව කෙළවර යකඩ කැබැල්ලක් ඉනිමඟ ලෙස පහතට බැසීමට තබා තිබිණි. එය අල්වාගෙන අඩියෙන් අඩිය පය තබමින් පහතින් වූ ගුහාවට ප්‍රවේශමෙන් ඇතුළු වුණෙමු. එය මීටර් තුනක් පමණ උස තුන් හතර දෙනෙකුට පේළියට සිටගෙන සිටිය හැකි ගුහාවකි. එක්වරම එහි සිටගෙන සිටීමට ලැබීම සිරුරට මහත් පහසුවක් විය. එහි ඉහළ වූ විශාල පර්වත දෙකක වූ හිඩැසකින් ගුහාව තුළට ආලෝකය කාන්දු වන බව පෙනේ.

කූරගල පුදබිමේ ගල්තලාව මතට දසතින් හමන උදෑසන සීතල සුළඟ නිහඬතාවය හාත්පසින් පෙනෙන දර්ශනීය පරිසරය ගතසිත සනසාලයි. එක්වරම නැගෙනහිර දෙසට පර්වතයේ මීටර් 100ක පමණ සෘජු බෑවුමකි. බෑවුමට පහතින් වූ කල්තොට නිම්නය හෙක්ටයාර් 2000ක් පමණ කුඹුරු යායකි. කල්තොට නිම්නයේ සිට ආරම්භ වන තැනිතලා භූමිය රුහුණු කතරගම දක්වා පැතිර පවතියි. කඳසුරිඳුන්ගේ සත්ගිරි පව්ව, වියළි කලාපයේ රක්ෂිත වනාන්තර, තැනින් තැන වූ වැව් මෙන්ම උඩවලව ජලාශයද කූරගල පුදබිමට පැහැදිලිව පෙනේ. කල්තොට නිම්නය මැදින් ගලායන වලවේගඟ කල්තොට ගොවිබිමට දියවර සපයමින් 1968 ඉදිකළ උඩවලව ජලාශයද පෝෂණය කරයි. දකුණු දෙසට උස්ව සමාන්තරව විහිදී යන කූරගල පර්වත බෑවුමේ බුදුගල පුරාණ විහාරය අනුරාධපුර යුගයට අයත් ශෛලමය මාලිගාවක නටබුන් වනගතව පබ්බතය තුළ ඇත. කිරිමකුළුගොල්ල, දියවිනි ඇල්ල,
හඳගිරිය (මහවලතැන්න වලව්ව) මහවලතැන්න සානුව දක්වා පැතිර යයි. කූරගලට ආසන්න වලවේගඟේ සංචාරක මධ්‍යස්ථානයක් වන සුන්දර දූවිලි ඇල්ලද පිහිටා ඇත. බටහිර දෙසින් බලන්ගොඩ මාරතැන්න අහස උසට නැගුණු උමයංගනාවගේ දෙපියයුරු වැනි දෙතනගල කඳු දෙකද පසුබිමෙන් ශ්‍රීපාදස්ථානයද උතුරු දෙසට ලෝකාන්තය හා හපුතලේ කඳු පියස ඇතුළු දස දිසාවම පැහැදිලිව දර්ශනය වේ. අමාවක දිනක රාත්‍රියට හපුතලේ සිට ඉදල්ගස්හින්න දක්වාවූ දුම්රිය මාර්ගයේ කෙළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ විදුලි ආලෝකය නාගරාජයෙකු ඇදෙන්නා සේ කූරගලට පෙනේ.

● උරුමය

දිනක් මම කූරගලට ගියෙමි. එවිට බෑවුමේ වම්පැත්තේ ගුහාව අසල පුරවිද්‍යා ස්ථානයක ගල් කඩමින් ගොඩගසා හතර පස් දෙනෙකු ගුහාවට බද්ධකර ඉදිකිරීමක යෙදී සිටියහ. ගල්ගුහාව හා ඒ ආසන්නයේ වර්ණ යොදා නම්ගම් සටහන් කර වනසා තිබුණි. සෘජු පිවිසුම් සහිත ගල් ගුහාවල වැසි සමයේදී වැසි ජලය ගල්ගුහා තුළට කාන්දු වෙයි. ආදී මුතුන්මිත්තෝ ඒ බව දැන කටාරම් කෙටීමෙන් ජලය ගුහාව තුළට යෑම නවතාලීමේ ක්‍රමවේදය භාවිතා කර තිබෙති. සිංහරාජ වනාන්තරයේ විසි තිස්දෙනකුට වාසය කළහැකි ගල්ගුහා තැනින්තැන ඇත. මෙම ගල්ගුහාවල ඉහළ පර්වතය වැසි ජලය බැස යන ලෙස ස්වභාවිකව ආනතියකට පිහිටා තිබෙයි. එම නිසා මෙහිදී කටාරම් තාක්‍ෂණය සිදුකර නැත. කූරගල පුදබිමේ ගුහාවල සෘජු පිවිසුම් ඇති බැවින් කටාරම් කොටා ඇත.

වරෙක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි බෞද්ධ දර්ශනය ව්‍යාප්ත කිරීම උදෙසා විදේශගත විය. එහිදී හෙළදිව රහතුන් වහන්සේලා වැඩසිටි බලන්ගොඩ කූරගල පුදබිමේ ගල්ගුහා ත්‍රිත්වයේ බෞද්ධ උරුමය තහවුරු කිරීම සඳහා ගවේෂණය කර ග්‍රන්ථාරූඪ කිරීමට ඇපකැප වී කටුතු කළේ රත්නපුර මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙනේ පූජ්‍ය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමිපාණන් බව උන්වහන්සේ කීහ. ඒ බව උන්වහන්සේගේ කෘතියකද සඳහන්ය.

● සබරගමුව ලියකියවිලි

ජාතික වෙසක් උලෙළේ සිරියෙන් බැබළෙන කූරගල පුදබිම

පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමි ශෛලමය පර්වත පාමුල ගල්ගුහා තුනක කටාරම් පේළි තුනක් ඇත. ක්‍රි. පූ. 2 වන 3 වන වසරවල කූරගල (කුහර දෙකක් ඇති බැවින් කූරගල නාම ව්‍යවහාර වේ.) පිහිටුවා ඇත්තේ දත්ත, ලක්ෂ්මණ හා සුමණ තිදෙනා විසින් බව පුරවිද්‍යා පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත.

දත්තගේ ගල් ගුහාව විශාල වන අතර කටාරම්වලට පහළින් පැරැණි බ්‍රාහ්මී අක්‍ෂර කොටා සඟසතු කොට ඇත. ප්‍රධාන ගල්ගුහා තුනකි. එහි කටාරම් කොටා ඇත.

● ශිලා ලිපි තුන

1 වන ලිපිය :- “දතහ පුදන ලෙනේ”

අදහස :- දන්තගේ ගල් ගුහා (ගුහාව) මහා සංඝයා වහන්සේට පූජා කරන ලදී.

2 වන ලිපිය :- පරුමක ශුමණයක”

අදහස :- ප්‍රධාන ශුමණ (සමන්) ගේ ගල්ගුහාව මහා සංඝයා වහන්සේට පූජා කරන ලදී.

3 වන ලිපිය :- පරුමක ලශමයන”

අදහස :- ප්‍රධාන ලශම (ලක්‍ෂමන) ගේ ගල්ගුහාව මහා සංඝයා වහන්සේට පූජා කරන ලදී.

(උපුටා ගැනීම අවසන්)

අන්‍ය ලබ්ධිකයෝ කූරගල පුදබිම හිමිකර ගැනීමට විවිධ උපක්‍රම යෙදූහ. රහතන් වහන්සේලා වැඩවිසූ ඓතිහාසික, කූරගල පුදබිම බෞද්ධ උරුමයක් බව ඉතිහාසයෙන් පෙන්වා දී ඇත. එම උරුමය අයුක්තියෙන්, අසාධාරණයෙන් පවරා ගැනීමට එරෙහිව නඩු මඟට බැසීමට පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමි තීරණය කළේය. උසාවියේ දශක ගණනාවක් කූරගල නඩුව විභාගයට ගැනිණි. නඩු දිනට බලන්ගොඩ පෙට්ටිගල පාරේ බෝම්බුව පන්සලේ සිට උදෑසන නඩු ලියකියවිලි ගොනුවක් රැගෙන වටද්දර ඥාණිස්සර හිමි බලන්ගොඩ නගරයට පැමිණෙයි. උන්වහන්සේ උදෑසන බලන්ගොඩ නගරයේ සැරිසරන්නේ නඩු දිනට බව බොහෝදෙනා දනිති. නඩු දිනක බලන්ගොඩ නගරයේදී උන්වහන්සේ මට හමුවිය.

‘අද කූරගල නඩුවනේ දැන් අවුරුදු දහසයක් වෙනවා’. යනුවෙන් උන්වහන්සේ පැවසූහ. කෙසේ හෝ කූරගල නඩුවෙන් අහිමිවී ගිය බෞද්ධ උරුමය, උන්වහන්සේගේ හුදෙකලා අභීත ප්‍රයත්නය අවසානයේ ජයග්‍රහණය කළේය.

සබරගමුව ප්‍රදේශයේ පමණක් නොව හෙළදිව පුරා පවතින බෞද්ධ උරුමය රැකගැනීමට, ආරක්‍ෂා කිරීමට ගිහි පැවිදි පුරවිද්‍යාව පිළිබඳ විද්වතුන් රාශියක් සබරගමුව ප්‍රදේශයේ සැදීපැහැදී සිටින බව සිහිපත් කළ යුතුය.

● “විය යුත්ත කෙසේ හෝ විය යුතුය”

ඓතිහාසික කූරගල පුදබිම නවලොවට සරිලන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට සංවිධානයෙන් ධෛර්යයෙන්, කැපවීමෙන් ඉටුකිරීමේ කාර්යය පැවරුණේ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ටය. (නෙල්ලිගල හාමුදුරුවෝ) උන්වහන්සේ ඓතිහාසික කූරගල පුදබිම අභිමානවත් අසිරිමත් ස්ථානයක තැබීමට කටයුතු කරගෙන යෑම ප්‍රශංසනීය බව කිව යුතුය.

● කූරගල පුදබිම අවට සශ්‍රීකත්වය

කූරගල පුදබිම අවට පිහිටි හපුතලේ අඩවිය, බලන්ගොඩ අඩවිය උඩවලට අඩවිය හා තණමල්විල අඩවිය එහි රක්‍ෂිත වනාන්තරය සතා සිවුපාවා, ඓතිහාසික ස්ථාන හා ජන විඥානය පිළිබඳ රාජකාරි අත්දැකීම්, පළපුරුදුකම් වන නිලධාරියෙකුව සිටියදී මම ලබා ගතිමි. රුහුණු රාජධානියේ අවසාන කල්තොට ප්‍රදේශය ලෙස සලකනු ලැබේ. කල්තොට හම්බෙගමුව වැනි කූරගල පුදබිමට අසන්න වූ භූමියේ ගල්කණු, ශෛලමය බුද්ධ ප්‍රතිමා හා නිදන් වස්තු කැණීම් කිරීමේදී හමුවන බව ප්‍රදේශයේ අය පවසති. රුහුණු හා සෙංකඩගල රාජධානිය අතර අතීතයේ ගමනාගමනය සිදුව ඇත්තේ කල්තොට කූරගල, මහපැලැස්ස, හල්දුම්මුල්ල, ඉදල්ගස්හින්න, කැප්පෙටිපොල (පාළුගම), කඳපොල මහකුඩුගල, මන්දාරම්නුවර (මතුරට) ස්ථාන හරහා බව සඳහන් වේ. මේ මාර්ගය පාගමනින් යන සමහරු අද දක්වාම භාවිත කරති. එසේම කූරගල, මුල්ගම (මුල්ගම වලව්ව) බලන්ගොඩ, රාස්සගල හරහා ශ්‍රිපාදස්ථානයට මාර්ගය වැටී ඇත. එමෙන්ම හපුතලේ ආසනයේ කෙළවර වලවේගගේ වම් ඉවුරුද, වැල්ලවාය ආසන්නයේ කල්තොට වෙලිඔයද, බලන්ගොඩ ආසන්නයේ ආරම්භයද යන මේ ත්‍රිත්වය කූරගල පුදබිම කේන්ද්‍රකර ගනිමින් පවතියි. අතීතයේ දන්ත ධාතූන් වහන්සේගේ ආරක්‍ෂාව සලකා කූරගල පුදබිම ආසන්නයේ සඟවා තබා ඇත. එහි ආරක්‍ෂක කපොලු ලෙස පොල්ලමුරේ, ඉඹුලමුරේ, මොලමුරේ, පනාමුරේ (මඩුවන්වල වලව්ව ඇත්ගාල) ස්ථාපිත කර ඇති බව සඳහන් වෙයි. එමෙන්ම කූරගල පුදබිම කේන්ද්‍ර කර ගනිමින් තන්ජන්තැන්නේ මංගර දේවාලය, සොරගුණේ කතරගම දේවාලය, ඉඹුල්පේ උග්ගල් අලුත්නුවර දේවාලය, බලන්ගොඩ බොල්තුඹේ දේවාලය, පිහිටුවා ඇත. කොට්ටිඹුල්වල පුරාණ ගල්ලෙන් රජමහා විහාරය හා පල්ලෙබැද්දේ සංඛපාල රජමහා විහාරයද වෙයි. අතීතයේ කිංචිගුණේ (සමනල වැව) කැණීම්වලදී යපස් කර්මාන්තය පැවතී ඇති බව සොයාගෙන ඇත. මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය ගොවිතැන වුවත් කූරගල සිට රජවක දක්වා භූගත නිධි ලෙස පවතින කැල්සයිට් කර්මාන්තය, මැණික් කර්මාන්තය, උක් හකුරු කර්මාන්තය හා හේන් ගොවිතැන ප්‍රධාන වේ.

හැටේ දශකයේ කල්තොට, කූරගල ආශ්‍රිත පදේශවල මැලේරියාව බහුලව ව්‍යාප්ත වී ඇත. හේන් කෘෂි භෝග ගොන් බැඳි කරත්තවලින් බලංගොඩට ගෙන එන ලදී. ඒ වන විට කල්තොට ප්‍රදේශයේ මැලේරියාව පැවති බැවින් බලන්ගොඩ ජනතාව එම කෘෂි භෝග පරිහරණයට මැළිකමක් දැක්වූහ. දැන් එම ප්‍රදේශය ජනාවාස වී ලෙඩදුක් වලින් තොර සශ්‍රීක පුරවරයක් වී ඇත.

කූරගල අවට ප්‍රදේශයේ ඖෂධ පැළෑටි බහුලය. සුදුහඳුන් ගසේ පුනර්ජන්මීය ප්‍රදේශකි. Diarie of G. A. Rathnapura H.WACE–1887/03/11 වලවේ නිම්නයේ රාජකාරියේ යෙදී සිටියදී වෙසක් ඕකිඩ් (උඩවැඩියා) – Dendrobium/Rhododendrons,වන රාජ – King of the Forest. ඉරි රාජ – Striped King ගුරුළු රාජ හා මීටර් 1/2ක් පමණ උස නාගධරණ පැළෑටි ද දුටු බව සටහන් කරයි.

ජාතික වෙසක් උලෙළේ සිරියෙන් බැබළෙන කූරගල පුදබිම

දියවින්න රක්‍ෂිත වනාන්තරයේ කෝන්ගහමංකඩ ගජ මදාරා, මල් මදාරා (Cleistanthus Collinusorder Euphobiaci) අතු පතර විහිදී ගිය වෘක්ෂරාජයෙක් දැක ඇත. එහි ගෙඩි විෂ සහිත බවත් ඉතා තද රතු පැහැ අරටුවක් සහිත බවත් කියයි. මෙම ගසේ කැබැල්ලක් රජවක පුද්ගලයෙකු පසුකාලීනව මට ලබා දුනි. එසේම කූරගල සෘජු පර්වත බෑවුමේ කළුනික ගසක් ඇති බවද රත්නපුර ඒජන්ත තැන සටහන් කර ඇත.

කටුපත්ඔයෙන් එගොඩ කෝන්ගහමංකඩ ප්‍රදේශයේ එදා හේන් ගොවිතැන සාරවත් වී ඇත. බඩඉරිඟු, කුරක්කන්, මිරිස්, රතුලූනු බහුලව තිබී ඇත. රජවක ප්‍රදේශයේ විසූ එක්තරා යකැදුරෙක්, කොලු ගැටයෙකු සමඟ හඳගිරිය කන්දෙන් බැස මෙම හේන් වගාවට පැමිණ ඇත. හේන් වගාකරුවන් විසින් ඔහුට ඉහත කී කෘෂි භෝග මල්ලක් පුරා දෙයි. එය ඉතා බර මල්ලකි. “ඔය කොල්ලට මේ බර මල්ල හඳගිරිය කන්දේ ඔසවාගෙන ගිය හැකි දැයි” හේන් වැසියන් යකැදුරාගෙන් අසති “උඹලා බැඳලා දීපල්ලකෝ ඌ ගෙනියයි” ඒ බර උසුලාගෙන ගිය කොලුගැටයා ලෙස යකෙකු බැඳගෙන යකැදුරා පැමිණෙන බව සඳහන් වෙයි.

බුද්ධ කාලයේ හා ඉන් පසුවත්, බුදුන් වැඩසිටි තැන් මෙන්ම ශාරීරික ධාතු තැන්පත් කර ඉදිකරන චෛත්‍ය හා ශෛලමය ප්‍රතිමා හා වෙනත් කලාත්මක නිර්මාණ හෙළදිව පුරා පවතී. බුදුන් උපන් භූමිය ලෙස සලකන හෙළදිව මෙකී ඓතිහාසික සිද්ධස්ථානවලට විවිධ ක්‍රමවලින් හානි පමුණුවා භූමිය අයිතිකර ගැනීමේ සටනක යෙදී සිටී. මෙය ලොව පුරා අතීතයේ සිට සිදුවන ක්‍රියාවලියකි. ඇෆ්ගන් තලෙයිබාන්වරු අවුරුදු දහස් ගණනක් වූ සේද මාවතේ ගල් පර්වතවල ඉදිකළ බාමියන් බුදු පිළිම 2001දී විනාශ කළහ. බෞද්ධයෝ අන්‍ය ලබ්ධිකයන්ගේ පූජනීය ස්ථානවලට හානි නොකරති.

අන්‍ය ලබ්ධිකයන් විසින් නතුකර ගැනීමට ප්‍රයත්න දැරූ කූරගල පුදබිම ඓතිහාසික බෞද්ධ උරුමයක් බව එම පින් බිමේ පුරවිද්‍යා
ගවේෂකයෝ නිරන්තරව කියන්නාහ. 2022 වෙසක් කලාපය පින් බිමෙහි පැවැත්වීමට වතුරකුඹුරේ ධම්මරතන හිමි (නෙල්ලිගල හාමුදුරුවෝ) ඇප කැපව සිටීම පින්වන්ත කාර්යයකි. මෙය සමස්ත සිංහල බෞද්ධ ජනතාවගේම ජයග්‍රහනයකි.

බලන්ගොඩ – කේ.කේ.එච්. දයානන්ද

advertistmentadvertistment
advertistmentadvertistment