ජාතියෙන් පළිගැනීම සහ මිනිස් ඇඳිරිනීතිය

2105

ගිනි ජාලාව නිවී ගොස් ඇත. අළු ගොඩක් ඉතිරි වී තිබේ. මේ අළු යට ගිනි පුපුරු වැළලී තිබෙන්නට ඉඩ ඇති අතර ගිනි ගොඩ යළි ඕනෑම මොහොතක පත්තු වීමට ඉඩ ඇත. යළිත් වරක් ගිනි පත්තු කරනු ලැබුවහොත් එසේ කරන එකාගේ දණ හිසෙන් පහළට වෙඩි තැබීම සඳහා Firing Orders ආණ්ඩුව මගින් දැනටමත් නිකුත් කරනු ලැබ ඇත. ගිනි අවුළුවන්නන්ට දණ හිසෙන් පහළට නොව උරහිසෙන් පහළ උදරයෙන් ඉහළ තිබෙන සාධාරණ ඉලක්කයකට වෙඩි තැබිය යුතු බව අපගේ යෝජනාව වේ. රඹුක්කන සිද්ධියේදී පොලිසියට දණහිස සහ උරහිස මාරු විය. ඒ වැරදීමකින් විය හැකිය. අප යෝජනා කරන්නේ වැරදීමකින් නොව හිතාමතාම උරහිසෙන් පහළට වෙඩි තබා ගිනි අවුළුවන්නන් අපායේ තෙල් තාච්චියට යොමු කළ යුතු බවය. මේ රටේ ඉන්නේ අංක එකේ ගොන් හැතිකරයකි. මනුස්සයා සහ වාහනය අතර වෙනස හඳුනාගැනීමට ඔවුන්ට හැකියාවක් නැත. නරක මිනිහකු අල්ලාගෙන පහරදීම එක කාරණයකි. (එසේ වුවද මේ පුවත්පත ප්‍රචණ්ඩත්වය අනුමත නොකරයි.) ඒ මිනිහාගේ ප්‍රාඩෝ රිය ගිනි තැබීම වෙනත් කාරණයකි. ගුටි කන මිනිහාට ඉස්පිරිතාලයෙන් බෙහෙත් දමා ගත හැකිය. එහෙත් ගිනිගත් රියක් අළු බවට පත්වූ විට එය සම්පූර්ණයෙන්ම ජාතියේ වත්කම්වලින් අඩු වෙයි.

වාහනය ගිනි ගත්තාට ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවනවා යැයි මෙහිදී අපේ බූරුවන් කීමට ඉඩ තිබේ. එහෙත් බූරුවනි, ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවන්නේ ද ජනතාවගේම සල්ලි ය. එයද රටේ වත්කමින් කොටසකි. වාහන ගිනි තැබීම නිසා රටේ වත්කම්වල හටගන්නා හිස්තැන යළි කවදාවත් පිරවීමට නොහැක. ශ්‍රී ලංකාවේ මිනිස්සු අන්ත තිරිසන්නු වෙති. පසුගිය දවස් දෙක තුන තුළ ඔවුන් විසින් ගිනි තබන ලද දේපළවල වටිනාකම යළි කිසි දිනකත් ජාතියට ලැබෙන්නේ නැත. කිසිම දෙයක් ලංකාවේ නිෂ්පාදනය නොකරන බැවින් ගිනි ගත් දේපළ යළිත් ප්‍රතිෂ්ඨාපනය කරනු සඳහා පිටරටට ඩොලර් ගෙවා ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන්වීමට සිදුවේ. ස්වකීය හිතේ හටගන්නා කෝපය ගින්නෙන් පිරිමසා ගැනීම මනුෂ්‍ය වර්ගයා සතු ගෝත්‍රික ගතියකි. ක්‍රිස්තු පූර්ව 48 දී ලෝකයේ ලොකුම පුස්තකාලය ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි්‍රයාවේ තිබුණි. පැපිරස් පත්වල ලියන ලද පොත් හාර ලක්ෂයක් ද මැටි පුවරුවල ලියන ලද පොත් 40000 ක් පමණ ද මේ පුස්තකාලයේ තිබිණ. ඊජිප්තු රජය විසින් උගතුන් ලෙස නිල වශයෙන් පිළිගන්නා ලද සිය දෙනෙක් මෙහි දෛනිකව සේවය කළහ. ක්‍රි. පූ. 48 දී ඊජිප්තු භූමිය තුළ සිවිල් යුද්ධයක් හට ගත්තේය. එහිදී රෝම අධිරාජ්‍ය ජුලියස් සීසර් ගේ ගෝලයෝ පුස්තකාලයට ගිනි තැබූහ. කිසියම් එකෙක් පුස්තකාලයකට ගිනි තබන්නේ ජාතියෙන් පළිගැනීම සඳහා ය.

1981 ජුනි මස 1 දා මැදියම් රැයේදී යාපනය පුස්තකාලයට ගිනි තබන ලදී. එය කළේ ගාමිණී දිසානායකගේ හෝ ජේ. ආර්. ජයවර්ධන ගේ හෝ සිරිල් මැතිව් ගේ හෝ මිනිසුන් නොව ප්‍රභාකරන් ගේ ත්‍රස්තවාදීන් විසිනි. මේ ගිනි තැබීමේ වගකීම සිංහලයන් පිට පැවරීම ප්‍රභාකරන්ගේ අරමුණ විය. එවිට යාපනය සහ වෙනත් රටවල සිටින දෙමළ උගතුන් සිංහලයන් සමග අලුත්ම සැම්පලයක වෛරයක් පටන් ගනු ඇතැයි ප්‍රභාකරන් සිතුවේය. එය එසේම සිදුවිය. 83 ජූලි කලබලයේදී ද දෙමළ ජනයාට එරෙහිව ගින්දර පාවිච්චි කරන ලදී. 88, 89 දී සිංහලයන්ට එරෙහිව සිංහලයෝම ගින්දර යොදා ගත්හ. මීට දින දෙක තුනකට පෙර රට පුරා පැතිර ගිය ගිනි තැබීමේ ව්‍යාපාරය පිටුපස කවරෙක් සිටිත්ද යන්න සොයාගෙන ඔවුන් දරුණු දණ්ඩනවලට යටත් කළ යුතු වේ. මෙහිදී මානව හිමිකම්වලින් ජීවත්වන NGO වල සාමාජිකයන් හඬා වැළපීමට නියමිත අතර උන්ට බම්බු ගසා ගන්නැයි කියමු. මානව හිමිකම් ඉතුරු වන්නේත් රටේ මිනිසුන් ඉතුරු වුණොත් ය. මිනිසුන්ගෙන් තොර හිස් භූමියක ඇත්තේ කැරපොත්තන් සහ ගැඩවිලුන්ගේ අයිතිවාසිකම් පමණි. මේ රටේ වෙසෙන කොටළු මොළ ඇති ඌරු කටවල් ඇති ජනයාට ඒ බව තේරෙන්නේ නැත. ශ්‍රී ලංකාවට මේ දිනවල වාහන ගෙන්වනු නොලැබේ.

එසේ තිබියදී පසුගිය දිනවල බිලියන ගණනාවක් වටිනා වාහන ගිනි තබන ලදී. මෙයින් පසු කිසි දවසක කිසි කෙනෙක් දේශපාලන කටයුත්තක් සඳහා තමන් සතු පරණ යට ඇඳුමක් පවා වෙන කාටවත් දෙන්නේ නැත. ඊයේ අලුත් ආණ්ඩුවක් පත්වනු ඇතැයි විශ්වාසයක් තිබිණ. මේ කතු වැකිය ලියන තුරුත් එම ආණ්ඩුව පත්වී තිබුණේ නැත. එම ආණ්ඩුවේ නායකයා කවරකු වේවා රටේ ජනතාවගේ ආත්ම විශ්වාසය යළි නඟා සිටුවීමට පියවර ගත යුතුව තිබේ. මෙවර ඇඳිරි නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක විය. කවුරුත් කඩ ඇරියේ නැත. මිනිසුන් පාරට බැස්සේ අත්‍යවශ්‍යම කාරණයක් උදෙසා පමණි. එයට හේතුව පොලිසිය හෝ යුද හමුදාව මහ පාරේ සිටීම නොවේ. මෙදා සැරේ පොලිස්කාරයෙක් හෝ හමුදාකාරයෙක් බෙහෙතකටවත් පාරේ නොවූහ. ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන ලද්දේ මිනිසුන් විසින්ම ය. කඩ ඇරියොත් කොහේ හෝ යන පාදඩයන් පිරිසක් පැමිණ කඩේ කොල්ලකනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ. පාරේ ගියොත් කොහේ හෝ යන මදාවියන් පිරිසක් පැමිණ පහර දෙනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ. ජනතාව තුළ ආත්ම ශක්තිය ඇති කිරීමට නම් තමන් සුරක්ෂිත බව ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුව තිබේ. එය එසේම කෙරෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment