ජාතිය ඇමතීමටවත් ඉඩක් නොලද අගමැතිනි හසීනා ඉන්දියාවට පලා යයි

398

ලංකාවේ අතීතය සිහිගන්වමින්
බංග්ලාදේශ අගමැති මැඳුර විරෝධතාකරුවන්ගේ අතට
මැති-ඇමැති නිවෙස් රැසක් ගිනි තබා වනසති
අන්තර්වාර ආණ්ඩුවක් හදන බව හමුදාපති කියයි
පාර්ලිමේන්තුවත් අගමැති නිවසත් අත්කර ගනිමින් එවායේ භාණ්ඩත් රැගෙන යති

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී සිය සහෝදරිය සමග ඊයේ (05දා) ඉන්දියාවට පලාගොස් තිබේ. ඩකා අගනුවර පිහිටි අගමැතිනියගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදීමට පෙර ඇය ආරක්ෂාව පතා හමුදා හෙලිකොප්ටරයකින් ඉන්දියාවේ අගර්තාලා නගරය වෙත ගොස් තිබේ. ඩකා නුවරට පැමිණි උද්ඝෝෂකයන් රජයේ වැදගත් ගොඩනැඟිලි අත්පත් කරගෙන තිබේ.

ජාතිය ඇමතීමටවත් ඉඩක් නොලද අගමැතිනි හසීනා ඉන්දියාවට පලා යයි

අගමැති නිල නිවාස ගණභබාන් ලෙස හඳුන්වන අතර ඇතැමුන් එහි භාණ්ඩ විනාශ කර ඇත. කිහිප දෙනකු පුටු මේස රැගෙන පිටව යන අයුරු ද දක්නට ලැබිණි. බංග්ලාදේශයේ චැනල් 24 රූපවාහිනිය අග්‍රාමාත්‍යවරයාගේ අගනුවර නිල නිවසට දිව යන ජනතාවගේ දර්ශන විකාශය කර තිබිණි. විරෝධතාකරුවන් හසීනාගේ මාලිගාවට කඩා වැදී ගෘහ භාණ්ඩ පෙරළමින්, වීදුරු දොර ජනෙල් කඩා බිඳ දමමින් අගමැති නිවසේ ඇති කළ කුකුළකු ඇතුළු පොත්පත් සහ අනෙකුත් භාණ්ඩ රැගෙන යන අයුරු බංග්ලාදේශ රූපවාහිනි නාලිකාවල විකාශය වූ දර්ශනවල දැක්විණි.

“මම ඉන්නේ ගණභබාන් මන්දිරය ඇතුළේ. මාලිගාව ඇතුළේ 1500 කට වැඩි පිරිසක් ඉන්නවා. ඔවුන් ගෘහ භාණ්ඩ සහ වීදුරු කඩනවා” යැයි බංග්ලාදේශ මාධ්‍යවේදී යේසීර් අරෆත් කියයි.

හසීනාට සමීප මූලාශ්‍රයක් ප්‍රංශ පුවත් සේවය වෙත පවසා තිබුණේ 76 හැවිරිදි ඇයට ‘ජාතිය ඇමතීමේ කතාවක්’ පටිගත කිරීමට අවශ්‍ය වූ නමුත් ඊට අවස්ථාවක් නොලැබුණු බවයි. අවසාන මොහොතේ එරට හමුදාව නිවේදනය කර තිබුණේ තමන් ජනතාව සමග සිටින බවයි.

ඊයේ සවස 4.00ට රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ එරට හමුදාපති වකෙර් උස් සාමාන් පවසා තිබුණේ හමුදාව අන්තර්වාර රජයක් පිහිටුවන බවය. ඔහු මෙසේද පවසා ඇත.

“අපි තීරණය කළා අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. අපි දැන් ජනාධිපතිවරයා හමුවී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡා කරනවා. අපිව විශ්වාස කරන්න. ගරු අගමැතිනිය ඉල්ලා අස්වුණා. දැන් අන්තර්වාර ආණ්ඩුවක් හදන්න අපි කටයුතු කරනවා. අපි සියලුම දේශපාලන පක්ෂ නායකයන් සමග කතා කර තිබෙනවා. අපි හැමෝටම මෙතැනට ආරාධනා කළා. අපි සාකච්ඡාවක් කළා. අපි විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ආපසු නිවෙස්වලට යන්න කියලයි. කරුණාකර මට උදව් කරන්න. අපිට තවත් රණ්ඩු වෙන්න බැහැ. එබැවින් කරුණාකර සියලු විනාශයන් වළක්වා ගනිමු”

ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉවත්ව යන පුවත පැතිර යෑමෙන් පසු උද්ඝෝෂකයෝ ඩකාහි ධන්මොන්ඩි හි පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍ය අසදුස්සමන් ඛාන්ගේ නිවසට පහර දී විනාශ කළහ. ඊයේ සවස 3.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත.

එම අවස්ථාවේ බොහෝ පිරිසක් ගොඩනැඟිල්ලේ ප්‍රධාන ගේට්ටුව කඩා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වී තිබිණි. ටික වේලාවකට පසු ගොඩනැඟිල්ලෙන් දුමක් පිටවන අයුරු දැකගත හැකි විය.

සිවිල් සේවා රැකියා සඳහා වන කෝටා ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා පසුගිය මාසයේදී ශිෂ්‍ය විරෝධතාව ආරම්භ වුව ද, එය පසුව පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පත්ව තිබිණි. මේ නිසා ඇතිවූ ගැටුම්වලින් පසුගිය දින කිහිපය තුළ පුද්ගලයෝ 300ක් පමණ මරුමුවට පත්වූහ.

චතුර පමුණුව – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment