සිංහල දෙමළ මුස්ලිම් ලෙස බෙදුණු යුගය අපි අවසන් කරනවා
උතුරු පළාතේ පාරවල් හදන්න දශලක්ෂ පන්දහසක් වෙන්කළා
ජාතිවාදී ආණ්ඩු වෙනුවට මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික සමගියේ ආණ්ඩුවක් ගොඩනැගී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට ඊයේ (17 දා) මන්නාරමේදී එක් වෙමිනි.
ජන රැලිය ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“ලංකාවේ පළමු වතාවට මැතිවරණයකදී බෙදුණු දේශපාලනය අපි අවසන් කර දැමුවා. මීට පෙර මැතිවරණවලදී සිදුවුණේ ජනතාව බෙදීමයි. උතුරේ ජනතාව දෙමළ පක්ෂත්, නැගෙනහිර ජනතාව මුස්ලිම් පක්ෂත්, දකුණේ ජනතාව සිංහල පක්ෂත් තෝර ගන්නවා. නමුත් පසුගිය මහ මැතිවරණයේදී උතුර, දකුණ, නැගෙනහිර දෙමළ, මුස්ලිම්, සිංහල සියලුදෙනා තේරාගත්තේ ජාතික ජනබලවේගය ආණ්ඩුවයි. එම මැතිවරණයේදි අපි සියලුදෙනා එක්වුණා. ඒ නිසා නැවත කිසිදිනක අපි බෙදෙන්නේ නැතිව දේශපාලනය කරමු.
සියලු ජාතීන් එකට ජීවත්වන සමගියෙන් පිරුණු රටක් අපිට අවශ්‍යයි. තවදුරටත් අපේ රට තුළ ජාතිවාදයට ඉඩ දෙන්නේ නැතිව ජාතික සමගිය ආරක්ෂා කර ගැනීම සඳහා අපි අලුත් ආණ්ඩුවක් හදලා තිබෙනවා. මෙය තමයි සමගියේ ආණ්ඩුව. වත්මන් ආණ්ඩුව සිංහල, දෙමළ මුස්ලිම් සියලු දෙනාට සහෝදරත්වයෙන් සලකන ආණ්ඩුවක්. ඒ වගේම සියලු දෙනාගේ අයිතිවාසිකම් පිළිගන්න ආණ්ඩුවක්. මීට පෙර මෙවන් ආණ්ඩු ගොඩනැඟී තිබුණේ නැහැ. එදා පැවතියේ ජාතිවාදී ආණ්ඩු. දැන් ජාතික
සමගියේ ආණ්ඩුවක් හැදිලා තිබෙනවා. අපි පියවරින් පියවර මේ රට ගොඩනැඟීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා.
මේ රටේ තවදුරටත් ලොකු, පොඩි කියා ජන කණ්ඩායම් නෑ. ඉන්නේ එකම ජන කණ්ඩායමයි. සිංහල, දෙමළ, මුස්ලිම් වේවා, උතුරේ, දකුණේ, නැගෙනහිර වේවා හැම තැනම ජීවත්වන්නේ ශ්‍රී ලාංකේය ජනතාව පමණක් බව අප සිහිපත් කරන්න කැමැතියි. ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ අපි සිදු කරනවා. බෙදුණු යුගය අපි අවසන් කරනවා.
අපේ මුහුද සහ අපේ මසුන් අපේ ජනතාවට අයිතියි. ඒ නිසා මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා අපි උත්සාහ කරනවා. ඒ වගේම මුහුදේ සිදුවන සියලු නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කරන ලෙස අපි නාවික හමුදාවට උපදෙස් ලබා දී තිබෙනවා. අපේ මුහුද ආරක්ෂා කර ගැනීමට අපේ හමුදාවන්ගේ වගකීමක්. අපි එය ඉටු කරනවා.
මේ ප්‍රදේශය ගැන දන්නේ ඔබයි. ඒ නිසා අපි මේ පරිසරය විනාශ කරන විනාශකාරී ව්‍යාපෘතිවලට ඉඩ ලබා දෙන්නේ නැහැ. සෑම ව්‍යාපෘතියක්ම ජනතාවගේ එකඟතාවෙන් අවම පරිසර හානියෙන් සිදු කිරීමට අපි අපේක්ෂා කරනවා. ඔබ දන්නවා මේ මන්නාරම සහ පුත්තලම අතර මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබෙනවා. මෙම මාර්ගය විවෘත කිරීමෙන් පුත්තලම දක්වා යන දුර කි.මි 90ක් පමණ අඩු වෙනවා. පාරිසරික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර දැනට ඉදිකෙරෙමින් තිබෙන මාර්ගයට විකල්ප යෝජනා සහිතව නව ආකාරයෙන් මන්නාරම සහ පුත්තලම යා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවක වගකීම වන්නේ ජනතාවට පහසුකම් සැලසීමයි. ජනතාව පීඩාවට පත් කිරීමට සහ ගැටලුවලින් බැඳ තැබීමට ආණ්ඩු තිබී වැඩක් නැහැ. ඒ නිසා මේ රටේ ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් සහ ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් අපි හදලා තිබෙනවා.
අපි දන්නවා මීට අවුරුදු දෙක හමාරකට, තුනකට කළින් අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී තිබුණා. මේ මන්නාරමේත් එම ආණ්ඩුවල හිටපු ඇමතිවරු සිටියා. රාජ්‍ය ඇමැතිවරු සිටියා. ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, මන්ත්‍රීවරු මේ සියලුදෙනා එක් වී අපේ රටේ ආර්ථිකය බිඳ දැමුවා. ඉන්ධන, ඖෂධ ආනයන කරන්න බැරි රටක් තිබුණේ. එයින් පීඩාවට පත් වුණේ මේ රටේ ජනතාවයි. ගැටලු නිර්මාණය කළ අය පීඩාවට පත් වුණේ නැහැ. ඒ නිසා මේ රටේ ජනතාව එක්වී මේ ආණ්ඩුව හැදුවා. දැන් අපි ක්‍රමානුකූලව නැවත රටේ ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා.
අවුරුදු පහ, හයකට පසු විශාලම ඩොලර් සංචිතය අද අපේ රටේ තිබෙනවා. මාස හයක් තිස්සේ රුපියල සෙළවෙන්නේ නැතිව තිබෙනවා. අපි තෙල් මිල අඩු කළා, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා, අස්වැසුම දීමනාව වැඩි කළා පමණක් නොවෙයි ජූලි මාසයේ අලුතින් පවුල් ලක්ෂ හතරකට අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා. අපි ජනතාව බලා ගත යුතුයි. පාසල් දරුවන්ට අවශ්‍ය සියලු නිල ඇදුම් ලබා දෙනවා. සිසුන් 300ට අඩු පාසල්වල දරුවන්ට නොමිළේ සපත්තු ලබා දෙනවා.
සිසුන් ලක්ෂ 16කට පාසල් පොත් සහ උපකරණ මිලදී ගැනීමට රුපියල් හයදහස බැගින් ලබාදීමට කටයුතු කළා. එපමණක් නොවෙයි වසර ගණනාවකින් පසුව අලුතින් 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරනවා. අද රැකියා ලබා ගැනීමට මන්ත්‍රීවරු පිටුපස යෑමට අවශ්‍ය නැහැ. පුවත්පත් දැන්වීමක් පළ කරනවා. ඔබ අයදුම්පත් යොමු කරන්න. විභාගයෙන් වැඩිම ලකුණු ගන්න පිරිසට රැකියාව ලැබෙනවා.
රාජ්‍ය සේවයේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙනවා. ඒ වගේම පොලිසියේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තිබෙනවා. ඒ නිසා දෙමළ භාෂාව කතා කරන අය පොලීසියට අවශ්‍යයි. අපි මේ වසරේ අලුතින් පොලිසියට 2,000ක් බඳවා ගන්නවා.
මහා ආණ්ඩුව, ජනාධිපතිවරයා ලෙස මම සහ අපේ කැබිනට් මණ්ඩලය සහ මන්ත්‍රීවරු කිසි කෙනෙක් මහජනයාගේ රුපියලක්වත් හොරකම් කරන්නේ නැහැ. රුපියලක්වත් නාස්ති කරන්නේ නැහැ. ලංකාවේ පළමු වතාවට හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් හදලා තිබෙනවා. මහජනයාගේ ධනය නාස්ති නොකරන ආණ්ඩුවක් හදලා තිබෙනවා. අපි මේ ආණ්ඩුව ආරක්ෂා කර ගනිමින් ශක්තිමත් කළ යුතුයි. අපි හොරකම් කරන්නේ නැහැ වගේම හොරකම් කරපු අයට සහතික වශයෙන්ම දඩුවම් ලබා දෙනවා.
මිනිස් ඝාතනය, පාස්කු ප්‍රහාරය මේ සියල්ල පිළිබඳ අපි සොයනවා. අපේ රටේ ජනතාව නීතියට අනුගත වුණත් පාලකයන් නීතියට ඉහළින් කටයුතු කරමින් නීතිය පාගා දැමුවා. එවන් රටකට ඉදිරියට යන්න බැහැ. අද දියුණු වූ සෑම රටකම නීතිය කාටත් සමානයි. අපි ඒ කටයුත්ත සිදු කරනවා.
අපි එකතුවෙලා ඉදිරියට යමු. මේ වසරේ උතුරු පළාතේ පාරවල් හදන්න දශලක්ෂ පන්දහසක් වෙන් කර තිබෙනවා. ඒ වගේම උතුරේ පොල් වගාව සංවර්ධනය කිරීමට විශාල මුදලක් වෙන්කර තිබෙනවා. ඔබ පොල් වගා කිරීමට සූදානම් නම් පැළ ටික ලබාදීම, බිම සකස් කර ගැනීමට මුදල් ලබාදීම සහ පොහොර සඳහා මුදල් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනවා. මේ වසරේ උතුරේ අක්කර 16,000ක පොල් වගා කිරීමට මුදල් වෙන්කර තිබෙනවා. එසේනම් මේ ප්‍රාදේශීය සභා ශක්තිමත් කර ගැනීමට අපි කටයුතු කරමු. ඒ සඳහා යෝජනා ලබා දෙන්න. අපි මුදල් වෙන් කරනවා. නමුත් අපි විශ්වාසදායක පිරිසක් ඊට පත් කර ගත යුතුයි. ඒ සඳහා මෙවර මැතිවරණයේදී ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. අපි ඉදිරියට යමු.