ජාවාරම්කරුවන් වෙනුවෙන් ඖෂධ පනත වෙනස් කළ හැටි

238

 වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

මෙම ලිපියේ මූලික අරමුණ ඖෂධ පනත තුළ සිතාමතා සිදු කළ විකෘතීන් මෙන්ම ඊට පෙර එහි තිබූ අඩුපාඩු පෙන්වාදීම මඟින් ඒවා නිවැරදි කිරීම සඳහා යම් පෙළඹවීමක් ඇති කිරීමය. එදා මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිව සිටියදී නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් 28.02.2014 දින යොදා අවසන් කෙටුම්පත ලෙස නම් කර සෞඛ්‍ය ලේකම්වරයා වෙත ආවරණ ලිපියක් සමඟ යැවූ කෙටුම්පතට සිදු වූයේ කුමක්ද? එදා කළ යුතුව තිබුණේ එම කෙටුම්පත නීතිපතිවරයා වෙත යවා ව්‍යවස්ථාවට අනුකූලද යන්න විමසා බැලීම සහ ගැසට් කිරීමය. නමුත් ඒ වෙනුවට කිසියම් බලපෑමක් මත පනත සමස්තයක් ලෙස ව්‍යුහාත්මකව පවා වෙනස් කම් කිරීම සඳහා යම් අයුතු මැදිහත්වීමක් සිදු වී ඇති බව ඉතා පැහැදිලිය. අවසානයේදී පනතෙහි මූලික අරමුණු පවා වෙනස් කරන අතර රූපලාවන්‍ය ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වාසි සහගත වන ලෙස ඊට අදාළ නියාමන බලතල සහිත සමස්ත පරිච්ෙඡ්දයම කෙටුම්පතින් ඉවත් කරනු ලැබීය. නීති කෙටුම්පත් සම්පාදක විසින් අවසන් කෙටුම්පත ලෙස සහතික කළ කෙටුම්පත සමඟ පසුව ගැසට් කළ කෙටුම්පත සංසන්දනය කිරීමේදී ඒ බව ඔප්පු වේ.
 
 නමුත් මෙම නව පනත මඟින් අහෝසි කරන ලද 1980 අංක 27 දරණ රූපවලාන්‍ය ද්‍රව්‍යය, උපාංග සහ ඖෂධ පනත තුළ රූපවලාන්‍ය ද්‍රව්‍ය නියාමනයට ප‍්‍රමුඛතාවයක් ලබාදී තිබූ බව එම පනතෙහි දීර්ඝ නාමය අනුව පවා පැහැදිලි වේ. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් අවසන් කෙටුම්පත ලෙස සහිතක කරන ලද කෙටුම්පතෙහි අඩංගු වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනයට අදාළ පරිච්ෙඡ්දය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ කුමක් නිසාද? එය කිසිසේත්ම අත්වැරදීමක් හෝ අතපසුවීමක් විය නොහැක. ඒ මඟින් වාසි සැලසෙන්නේ කවරකුට ද යන්න අනුව උවමනාව කාගේද යන්න පැහැදිලි වේ. නියාමනයක් නොමැතිව අඩු මිලට බාල රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සහ විකිණීම මඟින් අධික ලාභ ලබාගත් ජාවාරම්කාරයින් කාගේ ගෝලයින් ද යන්න සොයා බැලීම මඟින් උවමනාව කාගේද යන්න වටහාගත හැක.
 
 එසේ වසර 6 කට වැඩි කාලයක් ජාවාරම්කාරයින්ට මහජන සෞඛ්‍යය වළපල්ලට යවමින් ලාභ ඉපයීමට ඉඩදීමෙන් පසුව දැන් වෙනත් පනතක් මඟින් රූපලාවන්‍ය ද්‍රව්‍යය නියාමනය කිරීම සඳහා උත්සාහයක් ගන්නා බවක් පෙනේ. මුල් කෙටුම්පතෙන් ගලවා ඉවත් කළ පරිච්ෙඡ්දය නැවත ඇතුල් කිරීම සඳහා පවතින පනත සංශෝධනය කිරීම වෙනුවට වෙනත් පනතක් මඟින් රූපලාවන්‍ය නියාමන කමිටුවක් පිහිටුවීම සහ එම කමිටුව පවතින ඖෂධ අධිකාරී පනතේ බල අධිකාරියට යටත් කිරීමට යෝජනා වී ඇත. මහජනයාට විහිළු සපයන එවැනි ක‍්‍රියාමාර්ග තේරීම පිළිබඳව කිසිවෙකු අදහස් පළකරන්නේ නැත. නමුත් තර්කානුකූලව සිතන අයෙකුට හේතු 03 ක් පිළිබඳ අනුමාන කළ හැක. පළමුවැන්න එම හාස්‍යජනක නීති සම්පාදන ක‍්‍රියාවලිය අභියෝගයට ලක් වීමට ඉඩ සැලසීම මඟින් ජාවාරම්කාරයින්ට තවදුරටත් අවස්ථාව ලබාදීම විය හැක. දෙවැන්න පවතින පනත සංශෝධනය කිරීම මඟින් ගලවා ඉවත් කළ පරිච්ෙඡ්දය නැවත ඇතුල් කිරීමේදී සිතාමතා දියාරුකොට ඇති වෙනත් ප‍්‍රතිපාදන නැවත ශක්තිමත් කිරීමට ලැබෙන අවස්ථාව අහිමි කිරීම විය හැක. තුන්වැන්න එසේ ගලවා ඉවත් කළ කොටස් නැවත ඇතුල් කිරීමේදී ගැලවීමට දායක වූ පිරිස් සහ ඔවුන්ගේ කූට අරමුණු එළිදරව් වීම වැළැක්වීම විය හැක.
 
 කෙසේ වෙතත් එසේ රූපලාවන්‍ය නියාමනය අතහැර දමා අලූතින් පනත යටතේ පවරාගත් නියාමන වගකීම් ඉතා බරපතල ලෙස ප‍්‍රශ්නකාරී වේ. ඊට අදාළව කිසිදු වෛද්‍ය සංගමයකට හෝ විද්වතුන්ට අදහස් දැක්වීමකට ඉඩ නොතබා එම ප‍්‍රතිපාදන පනතට ඇතුල් කරනු ලැබුවේ කාගේ වුවමනාවකට ද යන්න තේරුම් ගැනීම වැදගත් වේ. එසේ කූට ලෙස ඇතුළත් කළ පළමු ප‍්‍රතිපාදනය වන්නේ ඖෂධ නොවන එහෙත් ඖෂධමය ගුණ සහිත බව පෙන්වා මහජනයා රැුවටීමට ලක්කරමින් විකුණනු ලබන ඊදරාැර ඛසබැ ඡුරදාමජඑි ලෙස හඳුන්වන නිෂ්පාදන ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව සැලසීමය. මෙම නිෂ්පාදන වර්ග ලියාපදිංචි කිරීමෙන් වාසි සැලසෙන්නේ අදාළ නිෂ්පාදන ඉදිරිපත් කරන සමාගම්වලටය. ඒවා ලියාපදිංචි කිරීම මඟින් එම නිෂ්පාදනවලට ඖෂධීය වටිනාකමක් සහ අලෙවිකරණ වාසියක් ලැබේ. මහජනයාගේ පැත්තෙන් ගත් විට මහජනයා හට වඩා වාසි සහගත වන්නේ ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශ මත ලබා ගැනීම සහ සමතුලිත දේශීය ආහාර මඟින් පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීමය. ප‍්‍රශ්නකාරී ලෙස රහසිගතව ඇතුල් කරන ලද දෙවන ප‍්‍රතිපාදනය අවශ්‍ය වන්නේ කොන්ත‍්‍රාත් පදනමින් සිදු කරන ඖෂධවලට අදාළ සායනික පරීක්ෂණ සඳහා මූලික ඖෂධ වර්ග ආනයනය කිරීමට අවස්ථාව සැලසීමය.
 
 නිමල් සිරිපාල ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී දේශීය සහ විදේශීය මහා සමාගම්වල උවමනාව මත නව පනත් 02 ක් සම්මත කිරීමට යම් බලවේග විසින් උත්සාහ ගනු ලැබීය. ඒ සඳහා විදේශීය ණය දෙන ආයතන විසින් පවා උපදෙස් සහ තාක්ෂණික සහය ලබාදුන් බවද වාර්තා විය. ඒ අතුරින් පළමු වැන්න සායනික පරීක්ෂණ නියාමන පනතයි. ඒ මඟින් විදේශීය ඖෂධ සමාගම්වලට කොන්ත‍්‍රාත්කරුවන් ලෙස කටයුතු කරන සායනික පරීක්ෂණ ව්‍යාපාරයේ නියුක්ත සමාගම්වලට අප රටේ ජනතාව පර්යේෂණාගාර මීයන් බවට පත්කරමින් ඩොලර් ඉපයීමේ අවස්ථාව ලැබේ. එම පනත ඒ වන විට එම ලාභදායි ව්‍යාපාරය සඳහා පෙරහුරු පවත්වමින් සිටි වෛද්‍ය සොහොයුරු දෙපළකගේ අවශ්‍යතාව මත ගෙන එන බවට ද එදා චෝදනා එල්ල විය. කෙසේ වෙතත් එම පනත විදේශීය මහා සමාගම්වල සහ ඒවායේ දේශීය කොන්ත‍්‍රාත්කරුවන්ගේ උවමනාවන් ඉටුකරන පනතක් මිස මහජන යහපත හෝ විද්‍යාවේ යහපත සඳහා ගෙන එන්නක් නොවන බවට එල්ල වූ චෝදනා නිසා නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් එම පනත අකුලාගනු ලැබීය.
 
 මෙම නව ප‍්‍රතිපාදන කූට ලෙස පනතට ඇතුල් කළ පිරිස් අදාළ ක‍්‍රියාවලියට පහසුකම් සලසන වෙනත් ප‍්‍රතිපාදන කිහිපයක් පනතේ අරමුණුවලට ඇතුල් කරනු ලැබීය. ඒවා නීති සම්පාදක විසින් අවසන් කෙටුම්පත ලෙස හැඳින් වූ කෙටුම්පතෙහි අඩංගු නොවීය. ඒ අතුරින් පළමුවැන්න පනත සම්මත වූ පසුව එය නැවත සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ලබාදීමේ වගකීම ඖෂධ නියාමන අධිකාරිය විසින් පවරා ගැනීමය. එවිට ඖෂධ අධිකාරියේ නව තනතුරු ලබා ගැනීමට සැලසුම් කළ සහ 2014 අග භාගයේදී අවසාන පනත් කෙටුම්පත කූට ලෙස සංශෝධනයට ලක් කළ පිරිස්වලට තමා විසින් කූට ලෙස ඇතුල් කළ සංශෝධන ආරක්ෂා වන බවට සහතිකයක් ලැබේ. සාමාන්‍යයෙන් පනත්වලට ඇතුල් නොකරන එවැනි වගන්ති පවා මෙම පිරිස් විසින් කෙටුම්පතට ඇතුල් කිරීමට සමත්වීම තුළින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ බලවත්කමය. තම බලවත්කම යොදා ගනිමින් ඖෂධ වර්ග සහ ඉහත සඳහන් කළ ඊනියා ඖෂධීය ආහාර වර්ග වෙළෙඳ දැන්වීම් මඟින් ප‍්‍රචාරය කිරීමට පහසුකම් සලසන ප‍්‍රතිපාදනයක්ද පනතට ඇතුල් කිරීමට එම පිරිස් සමත් විය. ඒ මඟින් වෙළඳ දැන්වීම හරහා ප‍්‍රචාරය කිරීමට ඉඩ ලබා නොදිය යුතු නිෂ්පාදන ආචාර ධර්ම විරෝධී ලෙස නීතියේ ආවරණය යටතේ ප‍්‍රචලිත කිරීමට අවස්ථාව සැලසේ. එම උවමනාව මහජනයාගේ යහපත සඳහා නොව මහා සමාගම්වල උවමනාවන් ඉටු කිරීම සඳහා ඇතුල් කළ බව ඉතා පැහැදිලිය. ඒ අතර පනතේ අරමුණු අතර වන වගන්තියක මහජනයා යන්න ඉවත්කොට පාරිභෝගිකයා යන වචනය ඇතුල් කිරීමට පවා මෙම පිරිස් වග බලා ගෙන ඇත. ඒ මඟින් පොදු මහජන වගවීම වෙනුවට පාරිභෝගිකයාට පමණක් වගවීම එනම් වාණිජ වගවීම පමණක් සහතික කෙරේ.
 
 ඒ අතර ඖෂධ නියාමන පනත විකෘති කළ පිරිස් විසින් කිසිදු සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ නොහැකි ආකාරයට පනතේ තුන්වන අරමුණ වූ ගුණාත්මක තත්ත්වය ජාතික ඖෂධ තත්ත්ව පාලන පර්යේෂණාගාරය හරහා සහතික කළ යුතු බවට පනත මඟින් ඖෂධ අධිකාරියට බලය සහ වගකීම පවරන වගන්තිය ඉවත්කොට ඇත. එම වගකීමෙන් නිදහස් වීමේ අරමුණ කුමක්ද? ඊට අමතරව ඖෂධ නියාමන අධිකාරිය පත් කිරීමට අදාළ පරිච්ෙඡ්දයේ විශාල වෙනස්කම් සිදුකොට ඇත. ඒ අතුරින් ඉතා බරපතල වෙනස්කම් 02 ක් සිදු කොට ඇත්තේ යම් පුද්ගලයෙකුගේ බල අධිකාරිය ආරක්ෂා කර ගැනීමට බව පෙනේ. නීති කෙටුම්පත් සම්පාදක විසින් අවසාන කෙටුම්පත ලෙස සහතික කළ කෙටුම්පතේ 6(4* වගන්තියට අනුව යම් සාමාජිකයින් වක‍්‍රව හෝ සෘජුව ඖෂධ සමාගම් සමඟ සබඳතා පැවැත්වීම ඔහුගේ හෝ ඇයගේ සාමාජිකත්වය හෝ සභාපති ධුරය අහෝසි වීමට හේතුවක් වේ. නමුත් ඒ වෙනුවට ඇතුළට රිංග වූ වගන්තිය තුළ 7(9* සෘජු හෝ වක‍්‍ර යන්න ඉවත්කොට වගකීම් ඉටු කිරීමට බාධා වන ආකාරයේ මූල්‍ය හෝ වෙනත් සබඳතා යන්න ඇතුල්කොට ඇත.
 
 එසේම නව වගන්තියක් මඟින් 6(1*(2* සභාපති හෝ සාමාජිකයෙකු පත්කිරීමට පෙර හෝ පත් කිරීමෙන් පසුව එවැනි සබඳතා තිබේදැයි සොයා බැලීමේ වගකීම අමාත්‍යවරයා වෙත පවරා ඇත. ඒ මඟින් පැමිණිල්ලකදී හෝ නීති කටයුත්තකදී සභාපතිවරයාට සහ අධිකාරියේ සාමාජිකයාට වාසි සහගත තත්ත්වයක් ඇතිවේ. ඒවා සිතා මතා සිදු කළ කූට වෙනස්කම් බව වටහා ගැනීම සඳහා නීති විශාරදයකු වීම අවශ්‍ය නොවේ. ඒ ආකාරයට නීති කෙටුම්පත් සම්පාදකගේ අවසන් කෙටුම්පත කූට ලෙස වෙනස් කිරීම මඟින් ඖෂධ මාෆියාවට වාසි සහගත ආකාරයට තවත් බොහෝ වෙනස්කම් සිදුකොට ඇත. ඒ සියල්ල යම් පුද්ගලයකු විසින් තමා අනාගතයේදී අධිකාරියට පත්වනු ඇතැයි උපකල්පනය කරමින් සිදු කළ ඒවා බවට සැක කළ හැක.
 
 වර්තමාන පනත තුළ අංශභාග තත්ත්වයක් ඇති වී ඇත්තේ එවැනි පුද්ගල බද්ධ අහඹු සංශෝධන නිසා බව ඉතා පැහැදිලිය. වසර 6 කට පසු මේ පිළිබඳව කථා කිරීමට සිදු වන්නේ මේ වන තුරු වරද නිවැරදි කිරීමට මැදිහත්වීමක් සිදු නොවන බැවිනි. ඒ පිළිබඳ වගකීම දරන වර්තමාන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා බිබිලගේ ආත්මයට ආරුඪ වීම නිසා මහජන ප‍්‍රසාදයට ලක් වූවෙකි. ඒ නිසා එතුමාගේ මූලික සහ පරම වගකීමක් වන්නේ සිදුකොට ඇති ඓතිහාසික වරද නිවැරදි කිරීමය. එහිදී සිදුව ඇත්තේ කුමක්ද යන්න රටේ ජනතාවට පැහැදිලි කිරීම සඳහා ද එතුමා බැඳී සිටියි. ඒ නිසා පළමුවෙන්ම විද්වත් කමිටුවක් පත් කොට නීති කෙටුම්පත් සම්පාදකගේ 28/2/2014 දින දරන අවසන් කෙටුම්පතට 2015 මාර්තු 19 දක්වා කාලය තුළ සිදු වූයේ කුමක්දැයි වටහා ගැනීම සහ එළිදරව් කිරීම වැදගත් වේ. නමුත් කිසිවෙකුට දඬුවම් කළ යුතු බවක් ඉන් අදහස් නොවේ. වැරදිකරුවන්ට ලබාදිය හැකි හොඳම දඬුවම සත්‍යය තවදුරටත් සැඟවීමට ඉඩ නොදීම සහ වහාම වරද නිවැරදි කර බිබිලේගේ ආත්මයට සහ ජනතාවගේ අපේක්ෂාවන්ට සාධාරණය ඉටු කිරීමය.
 
 එම ක‍්‍රියාවලිය තුළ එනම් පනත නැවත සංශෝධනය කිරීමේ ක‍්‍රියාවලිය තුළ සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණු 12 ක් මෙසේ ඉදිරිපත් කළ හැක. පළමු වැන්න කපා ඉවත් කළ රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමන පරිච්ෙඡ්දය නැවත ඇතුල් කිරීමය. දෙවැන්න ඖෂධ නොවන නිෂ්පාදන ඖෂධ ලෙස ප‍්‍රචලිත කිරීම සඳහා ඉඩ සලසන සහ මහජනයාට වැදගත් නොවන මීට පෙර පැවති පනතේ අඩංගු නොවූ ඊනියා ඊදරාැර ඛසබැ ඡුරදාමජඑි ලියාපදිංචි කිරීම සඳහා වන ප‍්‍රතිපාදන පනතින් ඉවත් කිරීමය. තුන්වැන්න සායනික පරීක්ෂණ විධිමත්ව නියාමනය කිරීම සඳහා අවශ්‍ය වන ප‍්‍රතිපාදන අංග සම්පූර්ණ ලෙස ඇතුල් කිරීමය. හතරවැන්න ජාතික ඖෂධ සංග‍්‍රහය සහ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව නීතිගත කිරීමය. පස්වැන්න අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ අඩංගු ඖෂධ ලියාපදිංචි කිරීමේදී මිල නියම කිරීම සඳහා මිල සූත‍්‍ර හඳුන්වා දීම, මිල ප‍්‍රදර්ශනය කිරීම සහ එම තොරතුරු මහජනයාට විසින් ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීම, තොග පවත්වාගෙන යෑමේ වගකීම සහතික කිරීම ආදී අත්‍යවශ්‍ය ඖෂධ නියාමනයට අදාළ ප‍්‍රතිපාදන ශක්තිමත් කිරීමය. හයවැන්න තත්ව පාලනයට අදාළ මූලික වගකීම, තත්ව පාලන ආවේක්ෂණ ක‍්‍රියාවලිය, අසාදුලේඛනගත කිරීම ආදී ගුණාත්මක තත්ත්වය සහතික කිරීමට අදාළ රජයේ වගකීම තවදුරටත් පුළුල් කිරීමය. හත්වැන්න ඖෂධ නාමයෙන් වට්ටෝරු ලිවීම අනිවාර්ය කිරීම සහ ඒවා ඉංග‍්‍රීසි කැපිටල් අකුරින් ලිවීම හෝ මුද්‍රණය කිරීම අනිවාර්ය කිරීමය. අට වැන්න අත්‍යවශ්‍ය ඖෂධවලට අදාළව ඖෂධ භාවිතය සහ මිල පිළිබඳ තොරතුරු වෛද්‍යවරුන්ට සහ මහජනයාට ලබාදීම සඳහා ප‍්‍රතිපාදන පැනවීමය. නවවැන්න ඖෂධ සමාගම් නියෝජිතයින්ට සහ වෛද්‍යවරුන්ට ඖෂධ ප‍්‍රචාරණයට අදාළව ආචාරධර්ම පැනවීම සහ පනත යටතේ ඒවා නීතිගත කිරීමය. දසවැන්න මහජන පැමිණිලි විභාග කිරීම සඳහා පනත මඟින් ප‍්‍රතිපාදන පැනවීමය. එකළොස් වැන්න රට තුළට ලියාපදිංචි නොකළ විකල්ප ඖෂධ හොර පාරෙන් ගෙනඒම වැළැක්වීම සඳහා ආවේක්ෂණ ක‍්‍රියාවලියක් හඳුනවාදීම සහ එම වරදට අදාළ දඬුවම් වඩා බරපතල කිරීමය. දොළොස්වැන්න ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය පනත යටතට පත් කිරීම සහ දැනට සකස් කොට ඇති ප‍්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ අනුමැතියට වහාම ඉදිරිපත් කිරීමය.

advertistmentadvertistment
advertistmentadvertistment