ප‍්‍රවීන රංගධර හා චිත‍්‍රපට අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනීගේ පස්වන සිනමා නිර්මාණය වූ “දේවී සම්බුලා’’ හා “Saula” චිත‍්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 11 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි. පන්සිය පනස් ජාතක පොතෙහි එන 511 වන ජාතක කතාව වන සම්බුලා ජාතකය ඇසුරෙන් ද්විභාෂිත චිත‍්‍රපටයක් ලෙස නිර්මාණය වන මෙහි සිංහල පිටපත ”දේවී සම්බුලා’’ ලෙසද එහිම ඉංග‍්‍රීසි පිටපත Sambula ලෙසද නම් කොට තිබේ.



මෙය ශී‍්‍ර ලාංකේය සිනමා ඉතිහාසයේ පළමු සිංහල ඉංග‍්‍රීසි ද්විභාෂා චිත‍්‍රපටය වන අතර දෙවන ද්විභාෂා චිත‍්‍රපටය වේ. පළමු ශී‍්‍ර ලාංකික ද්විභාෂා චිත‍්‍රපටය ලෙස සඳහන් වන්නේ 1951 දී නිපදවුණු ‘සැඟවුණු පිළිතුර’ චිත‍්‍රපටයයි. එහි දමිළ භාෂිත පිටපතක් ‘කුසුමලතා’ නමින් නිකුත්කරන ලද්දේය.



සමස්ත චිත‍්‍රපටයේම නිරූපණය වන්නේ සම්බුලා දේවී, සොත්තිසේන කුමරු හා දානව රාක්ෂයා යන චරිත ත‍්‍රිත්වය පමණකි. ඊට අමතරව කාල දිවියා, රාජාලි පක්ෂියා හා රාජ නාගයා ලෙස සත්ව භූමිකා තුනක් ග‍්‍රැෆික් නිර්මාණ ලෙස නිරූපණය වේ. සම්බුලා දේවී ලෙස උදාරි වර්ණකුලසූරිය ද, සොත්තිසේන කුමරු ලෙස පුබුදු චතුරංග ද, දානව රාක්ෂයා ලෙස අඛිල ධනුද්දර ද චරිත ත‍්‍රිත්වය නිරූපණය කරති. ජැක්සන් ඇන්තනී විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ”දේවී සම්බුලා’’ හා Sambula නිෂ්පාදනය කරන්නේ සිනෙමැක් වෙනුවෙන් රොහාන් ඞී. සිල්වා ය. නිෂ්පාදන විධායක දිනුෂා රාජපතිරණයි.

නිෂ්පාදන කළමනාකරණයෙන් හැරල්ඞ් කරුණාතිලක ද, නිශ්චල ඡුායාරූපකරණයෙන් ධම්මික පතිරත්නද, ඇඳුම් නිර්මාණයෙන් වෙනුක යසස් වික‍්‍රමාරච්චිද, ත‍්‍රිමාණ සජීවීකරණයෙන් චත‍්‍ර වීරමන්ද, සිරස්තල චිත‍්‍රණයෙන් පසන් තිලකවර්ධනද දායක වන දේවී සම්බුලා හා Sambula චිත‍්‍රපටයේ කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත ගෙනි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද රචනා ගායනා කරන්නේ අමරසිරි පීරිස් හා මාධවී වත්සලා විසිනි. හර්ෂ මංජුල අංග රචනයෙන්ද, දිනේෂ් ලක්දුසිංහ සහාය අධ්‍යක්ෂණයෙන්ද, අරුණ ප‍්‍රියන්ත කළුආරච්චි ශබ්ද පරිපාලනයෙන් හා 5.1 හඬ මිශ‍්‍රණයෙන්ද, අජිත් රාමනායක සංස්කරණායන්ද සම්මාදම් වන මෙහි වර්ණ සංයෝජක වන්නේ දිනිඳු ජාගොඩ යි. ධම්මික රත්නායකගේ කැමරා අධ්‍යක්ෂණයෙන් හා චින්තක ජයකොඩිගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දේවී සම්බුලා හා Sambula හැඩ වන්නට නියමිතය. මාලින්ද සෙනෙවිරත්න විසින් දෙබස් පරිවර්තනය කළ ඉංග‍්‍රීසි පිටපතෙහි සංවාද පුහුණුව ජෙරොම් ඞී. සිල්වා විසිනි.
ශ‍්‍රී ලාංකේය සිනමාවට ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි දොරටු විවර කරගැනීමේ සමාරම්භයක් ලෙස නිර්මාණය කෙරෙන මෙම ද්විභාෂිත සිනමා නිර්මාණය ”දේවී සම්බුලා’’ සහ Sambula නොදුරු අනාගතයේදීම ශ‍්‍රී ලාංකික හා විදෙස් පේ‍්‍රක්ෂකයන් හමුවට පැමිණීමට නියමිතය.
නිමල් ෆ‍්‍රැන්සිස්
ඡායාරූප – යු.කේ. අබේරත්න