ජිනීවා චෝදනාවලිය යුද අපරාධවලින් ඔබ්බට මානව හිමිකම් කොමිෂන් සභාව දුටු බංකොළොත් රට

312

ශ්‍රී ලංකාව බංකොළොත් වීමට, ඡන්ද මිලියන 6.9 ක් ලබා 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂට විරෝධතාකරුවන් මුදාහල භීෂණය හමුවේ තාවකාලිකව රටින් පලා යෑමට, එජාප නායක රනිල් වික්‍රමසිංහ යටතේ නව රජයක් පිහිටුවීමට සහ වර්තමානයේ රට මුහුණ දී ඇති දේශපාලනික – ආර්ථික – සමාජීය අර්බුදය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනිය විශ්‍රාමික රෝහිනී පෙරේරා මාරසිංහ පසුගියදා ජිනීවා මානව හිමිකම් අධිකාරිය (විශ්ව කාලාන්තර සමාලෝචනය) ඉදිරියේ කරුණු දැක්වූවාය.

සමස්ත කඩා වැටීමට ප්‍රධාන හේතුව එවකට බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව අවධාරණය කළේය. රටේ ඉහළම අධිකරණය නියෝජනය කළ මාරසිංහ විනිසුරුවරිය වර්තමාන පත්වීම ලැබුවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේය. ඒ 2021 දෙසැම්බර් මස ගෝඨාභය රාජපක්ෂ අතිනි. හිටපු පාර්ලිමේන්තු අමාත්‍යවරයකු වූ ආචාර්ය ජගත් බාලසූරිය මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස ගෝඨාභය රාජපක්ෂ රජයේ පළමුවන තේරීම විය. ඊට වසරකට පසුව එම තනතුරට පත්වීම ලැබූ මාරසිංහ හිටපු විනිසුරුවරියට තමන් පත්වීම ලැබූ දේශපාලන අධිකාරියට ජාත්‍යන්තරය ඉදිරියේ රට කඩා වැටීමට වරද පැටවීමට සිදුවීම අතිශය විශේෂ අවස්ථාවකි.

හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ රංජිත් උයන්ගොඩ කොමිසමේ ලේකම්වරයාය.

පාර්ලිමේන්තුව ඇය පත්වීම ලැබූ 20 වැනි සංශෝධයන බල රහිත කර 21 වැනි සංශෝධනය රටේ මූලික නීතියට එකතු කර තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් එතුමිය කළ අදහස් දැක්වීම ආන්දෝලණාත්මකය. ජිනීවාහිදී කළ කරුණු දැක්වීම අවධාරණය කරන්නේ 20 වැනි සංශෝධනය අහෝසි වුවත් 21 වැනි සංශෝධනය යටතේ මානව හිමිකම් කොමිසම ඇතුළු සමස්ත කොමිසම් සභා පද්ධතියම නැවත පත් කරන තුරු වර්තමාන කොමිසම් ක්‍රියාත්මක බවයි. ජාත්‍යන්තරය ද කොමිසම් සභා පද්ධතිය පිලිගන්නා බවයි. ඒ අනුව 2023 මාර්තු 20 ට පෙර පළාත් පාලන ආයතන පිහිටුවීමට අවශ්‍ය ඡන්දය 2023 පෙබරවාරි 27 ට පෙර පැවැත්වීමට මැතිවරණ කොමිසමට ඇති අයිතිය සම්බන්ධයෙන් නීතිපති සංජය රාජරත්නම්ගෙන් විමසීමට අවශ්‍ය නැත.

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ජිනීවාහිදී කළ කරුණු දැක්වීම පසුබිමේ පැවැත්විය යුතු පළාත් පාලන ඡන්දය නොපවත්වා දේශපාලන අර්බුදය තවදුරටත් තිව්‍ර කිරීම බංකොළොත් රට තවදුරටත් අස්ථාවර කිරීමකි. මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. නීතිඥ නිමල් ජී. පුංචිහේවාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක මැතිවරණ කොමිෂන් සභාව 21වැනි සංශෝධනය බලාත්මක කිරීමේ පසුබිම තුළ තමන්ට හිමි රාජකාරි සියල්ල ඉටු කරයි. ඊට දිය හැකි හොඳම උදාහරණය 2020 නොවැම්බර් 28 දින රැස්වූ එම සභාව දෙසැම්බර් 02 දින නව පක්ෂ හතක් ප්‍රකාශයට පත් කිරීමයි. එම පක්ෂ හත පිළිවෙලින් (1) එක්සත් කොංග්‍රස් පක්ෂය (2) දෙවන පරපුර (3) ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (4) දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය (5) බහුජන වියත් පෙරමුණ (6) ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ (7) ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයයි.

නමුත් මැතිවරණ කොමිෂන් සභාව නව පක්ෂ පිහිටුවීම සම්බන්ධයෙන්ද නීතිපතිවරයාගෙන් විමසා ඇත. එම ක්‍රියාවලියට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇත. එසේනම් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අයිතිය සහ වගකීම අභියෝගයට ලක් කිරීමට නීතිපතිවරයාට අවස්ථාවක් තිබිය නොහැක. පිළිගත් සමස්ත දේශපාලන පක්ෂ ගණන 86 කි. (නව පක්ෂ හත සමඟ) පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පක්ෂ 15 ක් පමණි. එම පක්ෂ 15 න් නමයකට හිමි එක ආසනයක් පමණි. එම පක්ෂ නමය අතර ජනාධිපති ධූරය හිමි එජාපයද ඇත. එයද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකි. (ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජය වූ වජිර අබේයවර්ධන) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණට හිමි ආසන තුනකි. එයින් එකක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකි. (පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් යදාමිනි ගුණවර්ධන).

එජාප නායකයා මෙහෙයවන වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවට ජාත්‍යන්තරය ඉදිරියේ රට තව දුරටත් අපහසුතාවයට ලක් කළ යුතු නැත. ජිනීවා චෝදනා පත්‍රයට දින නියමයක් නොමැතිව ඡන්ද කල් දැමීමද එකතු විය යුතු නැත. මානව හිමිකම් සහ මැතිවරණ කොමිෂන් සභා අතර උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු විය යුතු නොවේද? පළාත් පාලන සහ පළාත් සභා ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් සැලකිය යුතු මැදිහත් පැෆරල් සහ මාර්තු 12 ව්‍යාපාරය කර ඇත. නමුත් එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් මාධ්‍ය යොමු කර නොමැති බව අමුතුවෙන් කිව යුතු නැත.

පුංචි ඡන්දය පැවැත්වීමට තම කොමිෂන් සභාවට තිබෙන අයිතිය සම්බන්ධයෙන් නීතිඥ පුංචිහේවා නීතිපතිවරයාගෙන් විමසීමක් කිරීම අවශ්‍ය නොවන බවට පැෆ්රල් සංවිධානය නොවැම්බර් 30 දින මැතිවරණ කොමිෂන් සභාවට යොමුකළ ලිපියක සඳහන් කර ඇත. නීතිපතිවරයා සිය මතය ප්‍රකාශ කර ඇත්නම් එහි පිටපතක් පැෆරල් සංවිධානය වෙත ලබාදෙන ලෙස කළ ඉල්ලීම තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉදිරිපත් කළත් ඉටු කළ නොහැකි බව එතුමා මෙම ලියුම්කරු කළ විමසීමකදී පැවසීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ගිලෙමින් පවතින ණය අර්බුදය හමුවේ සාකච්ඡාවෙන්, එකඟත්වයෙන් සහ එකමුතුව තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාවය විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට අමුතුවෙන් අවධාරණය කිරීමට අවශ්‍ය නැත.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරිය ජිනීවාහිදී කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ අස්ථාවරභාවය පෙන්නුම් කරන කැඩපතක් වැනිය. ඇය අවධාරණය කළේ සාකච්ඡාවෙන්, එකඟත්වයෙන් සහ එකමුතුව තීන්දු තීරණ ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ රජය රට බරපතළ ලෙස අවුල් කළ බවයි. මෙය අතිශය තීරණාත්මක චෝදනාවකි.

එම රජය කල්පනාකාරීව කටයුතු නොකිරීම සම්බන්ධයෙන්ද චෝදනා කළේය. ඒ අන්කිසිවකු නොව හිටපු ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව පත් කළ මාරසිංහ විනිසුරුවරියයි. ඇය ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙලෙස ජාත්‍යන්තරයට ඉදිරිපත් කළේය. එහිදී 1948 පෙබරවාරි 04 මහා බි්‍රතාන්‍යය රටට නිදහස ලබා දීමෙන් පසුව ජනතාව මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයට හේතු ඉදිරිපත් කිරීමේදී හිටපු විනිසුරුවරිය පළමුවෙන්ම අවධාරණය කළේ දුර දිග නොබලා පැනවූ පොහොර තහනම හේතුවෙන් සමස්ත කෘෂිකර්මාන්තයම අර්බුදයට ලක් කිරීමයි. නිසියාකාර සොයා බැලීමකින් තොරව ක්‍රියාත්මක කළ පොහොර සහ පලිබෝධ නාශක තහනම 2021 කෘෂිකර්මාන්තය විනාශ කළ ආකාරය මානව හිමිකම යාන්ත්‍රණයේ අවධානයට ලක්වීම බරපතළ කාරණාවකි. මාරසිංහ මහත්මිය නොවැම්බර් 30 වන දින කළ ප්‍රකාශය දූෂණය හේතුවෙන් රට බංකොළොත් වූ බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පසුගිය සැප්තැම්බරයේ කළ චෝදනාව තරමටම බරපතළය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුවිය යුතුමය.

වික්‍රමසිංහ ජනාධිපති කරවූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළ පොහොට්ටු පක්ෂයයි. (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ). වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ලෙස ඉදිරිපත් කළ 2023 අයවැය දෙවැනි වර සහ තුන්වන වර කියවීමේදී ඉහළින්ම ජයග්‍රහණය කරවූයේ පොහොට්ටු පක්ෂයයි. පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක බලවත්ම පක්ෂයේ නායක බැසිල් රාජපක්ෂය. ඒ දේශපාලන යථාර්ථය තේරුම් නොගෙන ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග සහ ඊට අවශ්‍ය විසඳුම් ලබා දිය නොහැක. එම තත්ත්වය අවබෝධ කර ගැනීමෙන් පසුව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය ජිනීවාහිදී කළ සෙසු ප්‍රකාශවලට අවධානය යොමු කළ යුතුය.

මේ වසරේ මැයි මාසයේ දෙවැනි සතියේ විරෝධතාකරුවන් මහජන නියෝජිතයන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ නිවාස (මන්දිර කීවානම් වඩාත් සුදුසුය) ගිනිබත් කළේ ආර්ථිකය බිංදුවටම බැස්සවූ 2019 කළ බදු වර්ග කීපයක් කපා හැරීම (මහා භාණ්ඩාගාරයට නැතිවූ මුදල රුපියල් බිලියන 600 පමණ වන බව විපක්ෂය චෝදනාකර ඇත). විදේශ සංචිත වාෂ්ප වීම නිසා ඉන්ධන (බොරතෙල් සහ පිරිපහදු කළ ඩීසල් සහ පෙට්‍රල්), ගෑස්, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අනෙකුත් සේවා සැපයීමට නොහැකි වීම, පාසල් වැසීම, දිනපතා අනිවාර්ය විදුලිය කැපීම පසුබිමේය. “රජයට සහ එම රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාව පාරට බැස්සේය. රට මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදයට එරෙහිව ජනතාව කඳවුරු බැඳ ගත්තේය. හමුදාව චෝදනා කරන පරිදි විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් හෝ කැරලිකරුවන් නොවේ. ඔවුන් බලකර ඉල්ලා සිටියේ තමන්ට නීත්‍යානුකූලව රජයෙන් හිමිවිය යුතු දේවල් ලබා දෙන ලෙසය. ජනතා කෝපය පුපුරා ගියේ ආර්ථිකය හසුරුවන ආකාරයට විරුද්ධවය. ඔවුන් බලකර ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා ධූරය හැර යෑමය. ඔහුට තම තනතුර ජුලි 14 දින අතහැරීමට සිදුවිය.”

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමිය වික්‍රමසිංහ – රාජපක්ෂ රජය සම්බන්ධයෙන්ද අදහස් ප්‍රකාශ කර ඇත. යම් ප්‍රකාශ අතීශය ආන්දෝලණාත්මකය. ඒ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ කළ බැවිනි.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතකදී අනවසර කඩාකප්පල්කාරී මහජන විරෝධතාවලට කිසිසේත් අවස්ථාවක් නොදෙන බවත් හමුදාව යොදවා එවැනි තත්ත්වයක් මර්දනය කරන බවට පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට ද මාරසිංහ විනිසුරුවරිය අවධානය යොමු කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකය දෙවන අරගලයට එරෙහිව තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාවට අදහස් ඉදිරිපත් කළ හැක. ඊට එහා කිසිවක් කළ හැකිද? යන ප්‍රශ්නයට අදාළ ආයතනය මුහුණ දිය යුතුය.

විරෝධතා සම්බන්ධයෙන් තත්ත්වය පෙන්වා දෙමින් සභාපතිවරිය වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවේ වර්තමාන අර්බුදයට මුහුණ දෙන ආකාරය ප්‍රසංශාවට ලක් කළේය. “අර්බුදකාරී තත්ත්වය ස්ථාවර කිරීමට අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඉන්ධන බෙදාහැරීම පාලනයකට නතු කර ඇත. ගෘහස්ත එල් පී ගෑස් අර්බුදය විසඳා ඇත. විදුලිය කැපීම අවම කර ඇත. පාසල් පැවැත්වේ. ආහාර උද්දමනය අවප්‍රමාණය වී ඇත. ඉතාමත් හොඳින් සාකච්ඡාවට භාජනය වූ රජයේ ආදායම වැඩි කිරීමේ යෝජනා ක්‍රියාත්මක කර ඇත.”

රජයේ ආදායම වැඩි කිරීම සම්බන්ධයෙන් සභාපතිතුමිය ජිනීවා හිදී කළ ප්‍රකාශය භූමියේ සැබෑ තත්ත්වයද? එම ප්‍රකාශය පිළිබඳව විමසා බැලීමට සිදුවී ඇත්තේ මහජන මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සහ වගවීම අභියෝගයට ලක්වී ඇති අවස්ථාවකය. රජයට රුපියල් බිලියන 600 ක් පමණ අහිමි කිරීමට තීන්දු කළ පොහොට්ටු පක්ෂය වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේද බලයේ සිටින බව එතුමියට අමතක වී ඇත. එජාපය සහ පොහොට්ටු පක්ෂය වසර ගණනාවක් තිස්සේ රජයට අයවිය යුතු රුපියල් බිලියන 773 ලබා ගැනීම අතපසු කිරීමේ අපරාධයට ඇය අවධානය යොමු කර නැත.

බලයේ සිටි සෑම පක්ෂයක්ම ප්‍රධාන පෙළේ වංචාකරුවන් ආරක්ෂා කිරීම සහ ලංකාවට ප්‍රේෂණය කළ යුතු ඇමෙරිකානු ඩොලර් බිලියන 53 ක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හිටපු නීතිඥ සංගමයේ සභාපති ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළ මෑතකදී (විනිසුරුවරියගේ ජිනීවා කථාවෙන් පසුව) කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද අවධානය යොමු විය යුතුය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, අමාත්‍යාංශීය උපදේශක කාරක සභා සහ විගණකාධිපති විසින් පාර්ලිමේන්තුවට රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තා මානව හිමිකම් කොමිසමේ අවධානයට ලක්විය යුතුය. කැබිනට් තීන්දු තීරණද විමසා බැලිය හැක. එසේ කළහොත් මැති ඇමැතිවරුන්ගේ මන්දිර, නිවාස ගිනි තැබීමට සංවිධානාත්මක කල්ලියකට අවස්ථාව ලැබුණේ කෙලෙසද බව වටහා ගැනීමට හැකිවනු ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පලා යෑමට සිදුවූයේ 2019 ජනාධිපතිවරණයෙන් පසුව ඇතිවූ තත්ත්වය පමණක් නිසා නොවේ. මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ 16 වතාවක් දන නමා සිටි සියලුම ශ්‍රීලනිප සහ එජාප ආණ්ඩු අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති නිසා බව මානව හිමිකම් කොමිසම මතක තබා ගත යුතුය. රටට අහිතකර කොන්දේසි මත ශ්‍රී ලංකාව (2007-2019) දක්වා ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.5 ජාත්‍යන්තර බැඳුම්කරවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ලබා ගත්තේ (2015-2019) බව සිතා මතාම අමතක කර ඇත. ඒ ආණ්ඩුවේ සිටි අති බහුතරය සමගි ජන බලවේගය නියෝජනය කරයි. ජනාධිපති වික්‍රමසිංහට අමතරව 2015-2019 ආණ්ඩුවේ ප්‍රබල චරිත වූ හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර වර්තමාන කැබිනට් මණ්ඩලය නියෝජනය කරයි. ත්‍රස්තවාදය පරාජය කිරීමට ආරක්ෂක ලේකම්වරයා ලෙස අද්විතීය කාර්යක් කළ ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාව වැට්ටවූ පාප කර්මයට කර දීමට සිදු වීම ඇත්ත වශයෙන්ම අවාසනාවන්ත තත්ත්වයකි. මෙය ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ගත් තීන්දු තීරණ සියල්ල නිවැරදි බවට කරන ප්‍රකාශයක් නොවේ. පොහොර තහනම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලෙස ගත් තීන්දුව රටට කළ විනාශයට ඔහු වගකිව යුතුය.

ගෝඨාභය රාජපක්ෂ විශ්‍රාම යැවීමේ ක්‍රියාවලියට නායකත්වය දුන් පාර්ලිමේන්තුව සමස්ත පාර්ලිමේන්තු ක්‍රියාදාමය නැවත විමර්ශනයට භාජනය කළ යුතුමය. රටේ පරිහානියට වගකිව යුතු සියලු දෙනා පාර්ලිමේන්තුවේ සහ එයින් පිටත සිටිති. දේශපාලන බලය ස්ථාවර කර ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටිති. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වර්තමාන භූමිකාව තවමත් අපැහැදිලිය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment