ජීලෝන් කඳු වැටියේදී ට‍්‍රැක්ටරයක් ප‍්‍රපාතයකට: රියදුරු සහ සහායක ජීවිතක්ෂයට

103

මොනරාගල ජීලෝන් කඳු වැටිය මාර්ගයේ ජලටැංකිය අසල 09 වංගුවේදී ට‍්‍රැක්ටර් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් ට‍්‍රැක්ටර් රථයේ රියැදුරු සහ එහි සහායක ජීවිතක්ෂයට පත්වී ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ට‍්‍රැක්ටර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ බඩල්කුඹුර අතල පොල් ඉඩමේ පදිංචි දෙනිපිටිය මාණික්‍යගේ දයා ඩග්ලස් (58) නැමැති තිදරු පියකු සහ සහායක ලෙස කටයුතු කළ මොනරාගල කුමාරවත්ත පදිංචි කිට්නන් සිවයෝගන් (55) නැමැති තිදරු පියකි. මෙම දෙදෙනා මොනරාගල කුමාරවත්ත මාර්ගය කාපට් කරන පුද්ගලික ඉඳිකිරීම් සමාගමක සේවයකර ඇති අතර මාර්ගයට අවශ්‍ය කාපට් මිශ‍්‍රණ මොනරාගල සිට ජීලෝන් කඳු වැටියේ ඉහළ මාර්ගයේ කොටසට රැුගෙන ගොස් දමා ආපසු එමින් සිටියදී 09 වංගුව අසලදී ට‍්‍රැක්ටර් රථයේ එන්ජින් කොටස ටේ‍්‍රලරයෙන් ගැලවී ප‍්‍රපාතයට වැටී ඇත.

ප‍්‍රපාතයට වැටෙනවාත් සමඟම ට‍්‍රැක්ටර් රථයේ මඩ කවරේ සිටි සහායක විසිවී මාර්ගයට වැටී හිසට බරපතල තුවාල සිදුවී ඇත. ප‍්‍රපාතයට වැටුණු ට‍්‍රැක්ටර් රථයේ රියදුරු ඊට යටවී ඇත.

ප‍්‍රපාතයට වැටුණු ට‍්‍රැක්ටර් රථය රබර් ගසක්ද ගලවාගෙන ගොස් තවත් ගසක හැපී නතරවී තිබේ. ප‍්‍රදේශවාසීන් සිද්ධිය පිළිබඳ පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ ප‍්‍රදේශවාසීන්ගේද

සහාය ඇතිව තුවාලකරුවන් මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත්කර ඇත. ඇතුළත් කරන විටදීත් සහායකවරයා මියගොස් සිටි අතර ට‍්‍රැක්ටර් රථයේ රියැදුරු ඊට ටික වේලාවකින් පසු මියගොස් ඇත. මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස්. චාමින්ද සංජීව මහතාගේ උපදෙස් පිට මොනරාගල රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික අබේකෝන් මහතා සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment