ජීවන බර සැහැල්ලු කර ශක්තිමත් ආර්ථිකයක් හදනවා- ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

170

කුසගින්න නිර්පාක්‍ෂිකයි
බංග්ලාදේශයේ තත්ත්වය දැක්කා නම් අපි එකතු වුණේ ඇයි කියන කාරණය පැහැදිලියි
ඇමැති පවිත්‍රා වන්නිආරච්චි
ආර්ථිකය බංකොලොත් වුණ විට අපට හුස්ම පොදක් දුන්නේ ජනාධිපති රනිල්
පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ

ජීවන බර සැහැල්ලු කර ශක්තිමත් ආර්ථිකයක් හදනවා- ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ

“කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී ඊයේ (09 දා) පෙරවරුවේ පැවති කාන්තා සමුළුව අමතමිනි.

පක්ෂ භේදයෙන් තොරව දිවයින පුරා ප්‍රධාන කාන්තා සංවිධානවල සහ ශාඛා සමිති සභාපතිවරියන් සහ නියෝජිතවරියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“මෙවර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස මම ඉදිරිපත් වන්නේ ඇයි කියා ඇතැම් අය මගෙන් ප්‍රශ්න කරනවා.

කුසගින්න නිර්පාක්ෂිකයි. කුමන පක්ෂයකට අයත් වුවත් කුසගින්න දැනෙනවා. කුස පිරවීම නිර්පාක්ෂිකයි. ඒ නිසා අප දේශපාලන පක්ෂ පාට පසෙක දමා රටේ ජනතාවගේ කුස පිරවීමට එක්විය යුතුයි. මේ රටේ ජනතාව විඳි දුක පිළිබඳ මට හොද අවබෝධයක් තිබෙනවා. විදුලිය නොමැතිව, ඉන්ධන හා ආහාර නොමැතිව දරුවන්ව පාසලට යවා ගත නොහැකිව එදා ඔබ සියලුදෙනා විශාල දුෂ්කරතාවකට මුහුණ දුන්නා. නැවත අප මේ දුක විඳිය යුතුද, ඒ නිසා අප සියලුදෙනා එකට එක්ව මෙම තත්ත්වය වළක්වාගත යුතුයි.

මම ජනාධිපති ධුරයට පත්වුයේ අනෙක් අය එම වගකීම භාර නොගෙන පැනගිය නිසයි. එහිදී කාන්තාවන් තුන්දෙනෙක් මට සහාය ලබා දුන්නා. ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාම්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා එම කාන්තාවන් තිදෙනායි. දේශප්‍රේමය ගැන කතා කරමින්, ජනතාව විඳින දුක තමන් දන්නවා කියන අය එදා පැනලා ගියා. විදේශ රටවල සිටින කාන්තාවන් තිදෙනෙක් මට රට ඉදිරියට ගෙන යෑමට උදව් කළා. මේ තිදෙනාගේ උපකාර නොලැබුණානම් අද අපට මෙම තත්ත්වයට පත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මේ රටේ පොහොර නැති වූ අවස්ථාවේ ඇමරිකාවේ සමන්තා පවර් මහත්මිය අපට සහාය ලබා දුන්නා. ඒ පොහොර ලබාදීම නිසා අපට එම යල කන්නය සාර්ථක කරගෙන ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වුණා. ඒ නිසා අප මේ කාන්තාවන්ට ස්තූතිවන්ත විය යුතුයි.

ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී පළපුරුදු නායකයෝ යැයි කියාගන්නා කිසිවෙක් එදා මේ රටේ වගකීම භාරගත්තේ නැහැ. අප රටක් ලෙස ඉදිරියට පැමිණියේ ඉතා අසීරුවෙන්. අප තවත් ඉදිරියට යා යුතුයි. අප සියලුදෙනා විඳි දුක මා අමුතුවෙන් සඳහන් කළ යුතු නෑ.

මම එක් උදාහරණයක් පෙන්වා දෙන්නම්. 2021 වාණිජ බැංකුවල උකස් කළ රත්‍රන් භාණ්ඩවල වටිනාකම රුපියල් බිලියන 250යි. අද එය රුපියල් බිලියන 500 පසුකර තිබෙනවා. ඒ නිසා අප ඒ පිළිබඳ සහන ලබාදීමට කටයුතු කළා. ඇතැම් නිවාසවල වැඩිහිටියන් එක් ආහාර වේලක් අත හැරීමට පුරුදුව සිටියා. තවත් පිරිසක් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිය නොහැකිව දුක් වින්ඳා.

මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ලබාදුන් උපකාරය නිසා අද අපට මෙම සහන ලැබී තිබෙනවා. ජැනට් යෙලන් මහත්මිය සහ නිර්මලා සීතාරමන් මහත්මිය අපට සහාය ලබාදුන් නිසා අද අපට ශක්තිමත්ව ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම අපට ණය ලබාදෙන රටවල් ගණනාවක් සමඟ අප ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. එහිදී අප ඇති කරගත් කොන්දේසි මම ආර්ථික පරිවර්තන නීතියට ඇතුළත් කර තිබෙනවා. මේ මාර්ගයේ ඉදිරියට යනවා නම් අපට රටක් ලෙස ගොඩඒමට හැකියාව තිබෙනවා.

නමුත් ඇතැම් අය කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සංශෝධනය කරනවා කියලා. රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් පැනගිය අය අද කාන්තාවන්ගේ සහයෙන් අපට ලැබුණු මෙම සහනය ඉවත් කරන බව ප්‍රකාශ කරනවා.

මෙම අසීරු ගමනේදි වුවද මම මේ රටේ කාන්තාවන් අමතක කළේ නැහැ. අස්වැසුම, උරුමය, අඩු ආදායම්ලාභී ජනතාව ජීවත් වන මහල් නිවාසවල අයිතිය ලබාදීම, කඳුකරයේ ගම්මාන ඇති කිරීමේ වැඩසටහන, පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සහන ලබා දුන්නා.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය –

අද මේ පැවැත්වෙන්නේ අතිශය සුවිශේෂී කාන්තා රැස්වීමක් බව පැවසිය යුතුයි. අපි මීට පෙර කාන්තා සම්මේලන පවත්වා තිබුණත් වසර 32ක දේශපාලන ජීවිතයේ බහුපාක්ෂික කාන්තා සම්මේලනයකට මා සහභාගි වන පළමු අවස්ථාව මෙයයි. ඇයි අද අප එකට එක්ව සිටින්නේ? එයට සංවාද, විවාද, තර්ක අවශ්‍ය නැහැ. රූපවාහිනිය ඉදිරියට ගිහින් බංග්ලාදේශයේ තත්ත්වය දැක බලා ගත්තා නම් අපි එකතු වුණේ ඇයි කියන කාරණය පැහැදිලි වෙනවා.

බංග්ලාදේශ රාජ්‍ය නායිකාවගේ නිල නිවස මෙන්ම පාර්ලිමේන්තුව ද අරගලකරුවන් අත්පත් කර ගත්තා. එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් මේ වනවිට ඝාතනය කර තිබෙනවා. ඒ අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් රූපවාහිනියෙන් නරඹන විට එදා අප රටේ සිදුවුණෙත් එවැනිම දෙයක් බව පැහැදිලි වෙනවා.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය –

රටේ ජීවනාලිය බඳු කාන්තා ඔබට වැදගත් තීන්දුවක් ගැනීමට ඉදිරි ජනාධිපතිවරණයේදී අවස්ථාව හිමිව තිබෙනවා. ඒ වැදගත් තීන්දුව නොගතහොත් රට ආපස්සට යෑම වළක්වන්න බැහැ. මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එදා අපට ගෑස්, ළමයින්ට කිරිපිටි තිබුණේ නැහැ. එදා ආර්ථිකය බංකොලොත් කියන විට මේ රට භාර ගන්න විපක්ෂය හිටියෙ නැහැ. විපක්ෂය හැංගුණා. අපට හුස්ම පොදක් දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු ජනතා නියෝජිතවරියන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment