ජීවන වියදම අඩු නොකර ආණ්ඩුව බලවතුන්ගේ කළු සල්ලි සුදු කරනවා… එන්නත්කරණය වේගවත් වීම ගැන අපි සතුටුයි

75

ආණ්ඩුව ප‍්‍රමුඛත්වය ලබාදී ඇත්තේ ජීවන වියදම අඩු කරනවා වෙනුවට බලවතුන්ගේ කළු සල්ලි සුදු කරන පනත් ගෙනඑ්ම වැනි අනවශ්‍ය වැඩවලට යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (10 දා* පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

‘‘මේ වනවිට රටේ සැබෑ දත්ත ලබා දෙන්නේ දැයි ගැටලූවක් ජනතාව තුළ තිබෙනවා. ඔබ දන්නවා මේ වෙනකොට රට නැවත විවෘත කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් සිටිනවා. අපි දකිනවා මේ සතියේ ඉඳන් පීසීආර් පරීක්ෂණවලින් සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයන් සංඛ්‍යාව ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවීමක් පෙන්වනවා. ඒ වගේම මරණ සංඛ්‍යාවත් අඩු බවක් පෙන්වා දෙනවා. නමුත් මේ රටේ ජනතාවට සඟවන දෙයක් තිබෙනවා. ඒ තමයි පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව තුළින් 5000 ක් ආසාදනය වෙච්ච සංඛ්‍යාව 2000 අඩුවෙලා තියෙන්නෙ කොහොමද? අගෝස්තු මාසයේදී පීසීආර් පරීක්ෂණ දිනකට 20,000 ක් පමණ කර තිබෙනවා. පහුගිය දින කිහිපය දිහා බලන විට මේ පීසීආර් පරීක්ෂණ හරියට බාගෙට බාගයක් අඩු කර තිබෙනවා. පැහැදිලිවම ආසාදිත සංඛ්‍යාව අඩුයි කියන එක පරීක්ෂණ 50% කින් අඩු වුණාම පේනවා.

අපි ඉල්ලීමක් කරනවා කරුණාකර මේ රජයෙන් බොරු කරන්න එපා කියලා. නිවැරැදි දත්ත සංඛ්‍යාව රටේ ජනතාවට ලැබෙන්න සලස්වන්න. මේවා දරාගන්න බැරුව තමයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මැතිතුමා හා විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න කියන වෛද්‍යවරුන් කමිටුවෙන් ඉල්ලා අස්වෙන්නේ. රජයේ වෛද්‍ය සංගමයත් අයින් වෙලා. එහිදී ඉතා පැහැදිලිවම කියනවා විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව නෙමෙයි රජය ක‍්‍රියාත්මක වෙන්නේ කියලා.

තුන්වෙනි එන්නතක් ලබා දීම පිළිබඳව රජයේ මතය කුමක්ද? වෛද්‍යවරුන් විශේෂයෙන්ම කියනවා අපේ රටේ එන්නත් දෙකම ගත්ත වයස 60 ට වැඩි අයටත් හැකි ඉක්මනින් ලබාදෙන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම වෙනත් රටවල් මේ වනවිට තුන්වැනි එන්නත ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. අපි සතුටු වෙනවා මේ වනවිට එන්නත්කරණය ඉතාම වේගයෙන් සිදු වෙනවා. නමුත් එය සාර්ථක කර ගන්න තීන්දු තීරණ ගත යුතුයි.

ඊයේ දිනයේදී මේ රටේ රුපියලේ අගය පවත්වාගෙන යන්න ප‍්‍රධාන තීන්දුවක් ගත්තා. ඒ භාණ්ඩ 623 ක් ආනයන කරද්දී 100% ක් එල්.සී. අරිනවිට මුදල් තැන්පත් කිරීමේ අවශ්‍යතාවක් ගැසට් නිවේදනයකින් නිකුත් කර තිබෙනවා. එය අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අධෛර්යමත් කිරීමට තමයි මේ කටයුත්ත සිදු කරන්නේ කියලා රජය නිවේදනයක් කර තිබෙනවා. එහිදී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කියන්නේ මොනවද? ඒ සඳහා ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ලෙස නම් කරලා. එහිදී ජංගම දුරකථන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් ද? මේ රටේ ජංගම දුරකතන නිෂ්පාදනය කිරීමත් සිදු කරන්නේ නැහැ. මේගොල්ලෝ ආණ්ඩුව ගත්තේ කොහොමද oracle database අනුව artificial intelligence අනුව ආණ්ඩු කරනවා කියලා.

මේ වෙලාවේ අලූත් චිත‍්‍රපටයක් හදන්න යනවා. ඒ බව පුවත්පතේ සඳහන් වෙනවා. ‘මහබැංකු අධිපති මහාචාර්ය ලක්ෂ්මන් ඉල්ලා අස්වෙයි. එතැනට අජිත් කබ්රාල්’ මේක තමයි අලූත්ම ජවනිකාව. දැන් මාර බඩුවක් තමයි මහ බැංකු අධිපති තනතුරට යන්නේ? අපිට මතකයි බැඳුම්කර මුදල් ආයෝජනය කළ හැටි? හෙජිං ගිවිසුම් ගහපු හැටි, කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් නාස්ති කරපු හැටි. අපිට තියෙන ලොකුම සැකය තමයි ඔබ දන්නවා ගිය සතියේ පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත්තා කළු සල්ලි සුදු කරන නීතියක්. ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ ගජ මිතුරන්ගේ දේපළ, මුදල් මේ රටට නීත්‍යානුකූලව හොරකම් කරපු වංචාකාරයන්ගේ මුදල් මේ රටට නීත්‍යානුකූලව ගේන්න පුළුවන්.

මේ වනවිට ප‍්‍රධානම කාරණාවක් බවට පත්වෙලා තිබෙන්නේ රටේ ඇතිවෙලා තිබෙන ආර්ථික ගැටලූවයි. එහිදී අවශ්‍යතාවක් තියෙනවා රටේ සංචාරකයින් ප‍්‍රමාණය වැඩි කරගන්න.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment