ජීවන වියදම අහස උසට – අපි ජීවත් වෙන්නේ කොහොමද? වතු කම්කරුවෝ උද්ඝෝෂණයක

118

දිනකට රු. 1000 ක් දෙනවා කිව්වත් දෙන්නෙ 400 යි

හාල් පාන් පිටි සහ ගෑස් මිල දරාගන්න බෑ

අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේ මිල වැඩි වී ජීවන වියදම අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් තමන්ට ජීවත්වීමට නොහැකි වී ඇති බව පවසමින් නුවරඑළිය, ආගරපතන, ටොරින්ටන් වත්තේ වතු කම්කරුවන් පිරිසක් පෙරේදා (29 දා) විරෝධතාවක නිරත වූහ.

විවිධ සටන් පාඨ සහිත පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් ටොරින්ටන් වත්තේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට ඩයගම – පෝඩයිස් මාර්ගය අසලට එක්රැුස් වූ වතු කම්කරුවන් විශාල පිරිසක් මෙසේ විරෝධතාවයේ නිරත විය. තමන්ට දරාගත නොහැකි ලෙස හාල්, පාන් පිටි, පාන්, ගෑස් ඇතුළු සියලූම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් දිනෙන් දිනම ඉහළ යමින් පවතින බවත්, මේ හේතුවෙන් තමන්ට ජීවත් විය නොහැකි වටපිටාවක් නිර්මාණය වී ඇතැයි විරෝධතාවයේ නිරතව සිටි වතු කම්කරුවෝ පැවසූහ.

දිනකට රුපියල් 1000 ක වැටුපක් වතු කම්කරුවන්ට ලබාදෙන බව පැවසුවද, මේ වනවිට තමන්ට දිනකට ලැබෙනුයේ රුපියල් 400 ක් වැනි සොච්චම් මුදලක් බවත්, එම මුදලින් ජීවත්වීමට තබා දිනකට එක වේලක් කෑමට පවා නොහැකි වී ඇතැයි විරෝධතාකරුවෝ කියා සිටිති. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් වහාම අඩුකොට තමන්ගේ දෛනික අනුමත වූ රු. 1000 වැටුප වහා ගෙවන ලෙසත්, භාණ්ඩවල මිල අඩු කිරීමට නොහැකි නම් වහාම ආණ්ඩුව කළ හැකි අයෙකුට භාරදෙන ලෙසත් විරෝධතාකරුවෝ මෙහිදී වැඩිදුරටත් පැවසූහ.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment