අහිංසක එමලිනාගේ පොල්අතු විවීමෙන් දුප්පත් සාමාන්‍ය ගමක අහිංසක දිවි පෙවෙතක සුන්දරත්වය මතුකරමින් යමුනා මාලිනි පෙරේරා තම නවකතාව “අසීමාන්තය” පටන් ගනියි. මා කුඩා කල මගේ ආච්චිගෙන් අවසර ගෙන දුගී පවුල් දෙකක ගැහැනුන් වත්තේ වියළි පොල්අතු, වත්ත පහළ ඇති වේල්ලේ දමා පොඟවගෙන වියාපු සැටි මගේ මනසේ මැවී පෙනේ. යමුනාගේ නවකතා වියමන ද දෘශ්‍යමාන ගුණයෙන් පිරී පවතී. තම මුණුබුරු තිස්සට පැණිබීම “ඩිංගිත්තක්” තැබීමෙන් එමලිනාගේ කරුණාව පාඨක සිත් සනසයි.
ඉස්සර ගමේ ආර්ථිකයේ සේයාවක් සහ වත්මන තත්ත්වයත් යමුනා හොඳින් පැහැදිලි කරන්නේ මෙසේය. “පාන් ගෙඩියක් දැන් ගිනි ගණන්, මදැයි ඉස්සරනම් පානුයි පරිප්පුවයි තමා දුප්පත් අපේ කෑම.”
දෙමවුපියන් සණ්ඩු සරුවල් වන අතරේ ඇදුම වගේ ලෙඩකින් දරුවා පීඩා විඳිද්දී ඒගැන සොයා බැලුවේ අත්තම්මාය. ඒ අතරේ මිණිපිරී ලොකු ළමයකුවීමත් ඔවුන්ගේ පියා විල්සන් ගෙදරින් පිටව යෑමත් සිදුවිය. ගුණසීලිගේ වැඩිමල් දුව පැනලා ගියේ රතිය ඉහට ගසා නොවන බව ගුණසීලි සිතයි.
කෙනෙක් ගෙදර වැඩ කලත් ඊට සරිලන වැටුපක් කලට වේලාවට නොදීම අද බොහෝ තැන්වල සිදුවේ. මුළු කුලිය නොදී ඉන් කොටසක් පමණක් දීමෙන් වැඩකාරිය බැඳතැබීමක් අද හැමතැනකදීම මෙන් දක්නට ලැබෙන දෙයකි.
පොදුවේ මිනිසුන්ගේ ජීවිත ගැන කතා කිරීමට වඩා ඒ ඒ චරිත ලවා තම පෞද්ගලික ජීවිතය ගැන, තමන් කරපු කෙළි ගැන, විස්තර හෙළි කරවීමට සැලැස්වීම කතුවරියගේ සාර්ථකත්වය පෙන්වයි. හර්දකථන මගින් ස්වයං විවරණ කරවීමේ උපක්‍රමය ඇගේ ප්‍රබන්ධකරණයේ මහඟු මෙහෙවරක් කරයි. එමගින් පාඨකයාට සියුම් සංවේදීතාවක් දෙන අතර මනුස්ස ජීවිතය පවත්වාගෙන යෑමේදී මතුවන සංකීර්ණ ගැටලු මොනවාදැයි අවබෝධ වේ.
මවකගේ පරර්ථකාමී බවත්, දරුවන් වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණදීමේ ස්වභාවයත්, ඒ නිසාම අඹු සැමි ගැටුම් හටගැනීමට තිබෙන ඉඩකඩ වැඩිවීමත් කතුවරිය මතුකරලීමට මං පෙන්වයි. විවාහක දිවියේ මුල් කාලයේ තරම්ම ලිංගික සම්බන්ධතාවට ඉඩකඩක් දරුවන් වැඩෙන සමයේදී අඹු සැමියනට නොලැබීම නිසා වෙනත් අඹුවන් සොයා යන බවට ඉඟියක් ලැබේ.
මෙම සිද්ධීන්වලට යටින් වාණිජ්‍යය පිළිබඳ මඟපෙන්වීමක් ද විiමාන වේ. එළවළු, පලතුරු නිෂ්පාදන ගොවිපළවලින් මිලට ගෙන තමනට ලාභයක් තබාගෙන වෙනත් පෙදෙස්වල වෙළෙදපොළවල්වලට විකිණීමෙන් ජීවනය සකසා ගන්නා පිරිස් ද සිටිති. ඇතැම් අවස්ථාවලදී දින ගණන් රැඳී සිට භෝගයන්
රැස්කරගෙන ඒමේදී දින ගණන් ගතවීම නොවැළැක්විය හැකිය. ඒ වූ පලියට තමාගේ අඹුදරුවන් අමතක කර දමා සල්ලාල ජීවිතයක් ගතකිරීමට වැදගත් ආත්මයක් හිමි පුද්ගලයන් නොපෙලඹේ.
මේ කාරණයේදී යථාර්ථවාදී දෙයක් ද සිදුවේ. කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල සිට ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව වැනි දුර ස්ථානවලට බඩු ප්‍රවාහනය කරන ලොරි රෑ කාලයේදී භයානක වන සතුන් ගැවසෙන තැන් පසුකර නොයා ඊට මෙහා රෑ කාලය ගතකරන තිප්පළවල් ඇත. හබරණ එවැනි තැනකි. බොහෝවිට එසේ නතර වන තැන්වල හෝටලයක් තිබේ. ඒ අවට දුප්පත් ගෙවල්වල
රැඳී රියැදුරා නිදාගන්නා විට ගෝලයා ලොරියට වී නිදයි. එනයින් රියැදුරාගේ කාමරාගය ද සන්තර්පණය කරගැනේ.
‘අසීමාන්තය’ කියවන්නට පටන් ගත්විට දැනෙන්නේ පොත්ගුලකට රිංගුවා සේය. සම්භාව්‍ය සාහිත්‍යයේ බැබළෙන කියුම් කෙරුම්වලින් ගහණ වූ පොතපත පරිශීලනයෙන් කතුවරියගේ දැනුම ආඪ්‍ය වී ඇති බව පෙනේ. ඒවා සහ ආශ්‍රිත ග්‍රන්ථ කියැවීමෙන් පාඨකයා ද දැනුවත් වන්නේ ඉබේටමය. රාහුල හිමියන්ගේ කියමනක් නිදසුනක් වශයෙන් ගෙන බලමු.
‘අවසර කල් රහස් තැන
ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන’
මේ කව් දෙපදය විටෙක මගේ විමතිය අවුස්සයි. මන්ද, පිරිමින්ටත් අවස්ථාවක් ලැබුණොත් නිකම් සිටීද? යනුවෙනි. මේ කව් පද දෙකෙහි අඩංගු අදහස නූතන ඉංග්‍රීසි ලේඛක සමර්සෙට් බෝම් ද විහිළුවට මෙන් කියා ඇත්තේ මෙසේය.
Woman is a beast that
nicurates once a day
defecates once a week
menstruate once a month
parturates once a year
and copulates whencver
she has the opportunity”
ගැහැනිය යනු දිනකට වරක් මුත්‍රා කරන,
සතියකට වරක් මළපහ කරන,
මසකට වරක් ඔසප් වන,
වසරකට වරක් දරුවකු වදන,
සුදුසු හැම අවස්ථාවකම රති කෙළියෙහි යෙදෙන,
තිරිසනෙකි.
ගෙදරින් පැනගිය අමිතාගේ ජීවිත දර්ශනය විශේෂයෙන් තම පියාගේ ඈත්වීමට හේතු විග්‍රහ කෙරේ. කෙසේ වෙතත් තම තමාගේ ආත්ම දමනය ජීවිත ගමනේ දී ගැහැනුන්ට මෙන්ම පිරිමින්ට ද අත්‍යවශ්‍ය වේ. මේ පිළිබඳ ආත්ම සංයමය තිබිය යුතු බවට බුදුන් වහන්සේගේ අදහස සංයුක්ත සාහිත්‍යයෙහි මෙසේ දැක්වේ.
“කායෙන සංවරො සාධු
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු
සාධු සම්බත්ථ සංවරො”
අත්තම්මා, එමලිනා, වඩේ බදින අතරතුරේ තිස්ස තම හිතමිතුරාගේ පියා පවුල නඩත්තු කරන අපූරුව තදින් පාඨක සිත පාරයි. කුමාරගේ අම්මා නැතත් පියා වෙන ගෑනු පස්සෙ නොගොසින් තම පුතා බලාගනී. මෙහිදී අපූරු සංසන්දනයක් මතුවී පෙනේ. කෙනෙක් පොහොසත්ව මිල මුදල් යහමින් උපයන විට පර අඹුවන් සොයා යයි. අනෙකෙක් දුප්පත්ව සිට දරුවා බලාගනී. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ජීවන රටාවක් අනුගමනය කරයි. මේ පරස්පරයට හේතුව මුදල්දැයි පාඨකයාගේ විචාරක්‍ෂියට යොමුවේ.
යම් යම් අවස්ථාවලදී කෙනෙක් වරදෙහි බැඳෙන බව විල්සන්ගේ කතාවෙන් තේරෙනවා. ඔහු කියන්නේ මෙසේය. “දරුවො ලොකු මහත් වුණාට පස්සෙ මට නිදාගන්න වුණේ පිලේ ඇඳේ…… දුර ගමන් ගිහින් තට්ට තනියම ගත කරන ජීවිතේදී යසවතීලගෙ ගෙදර නවාතැන මට තව්තිසාවක් වුණා. යසවතීගේ දෙවැනි දරුවා මට ධන වාසනාව ගෙනාපු බව ඒ දරුවාගෙ වේලපත්කඩේ බලපු ගුරුන්නාන්සේ පාරම්බාද්දී… මම අලුත් මිනිහෙක් වුණා. නිකම්ම නිකම් විල්සන් ඩ්‍රැයිවර්…… විල්සන් මුදලාලි වුණේ ඒ විදියට…”
මේ ආකාරයට ජීවිත ගතකරන විවිධ වයස් කාණ්ඩවලට අයත් බාල මහලු අයගේ ජීවන හරඹය යමුනාගේ කෘතියෙන් එළිදැක්වේ. මෙම නවකතාව සිහිකල්පනාවෙන් කියවන්නට ලැබීමෙන් මිනිස් දිවිය ගැන යථාර්ථය අවබෝධ වේ. නිශ්ශංක, ශානමා, හෙක්ටර්, ප්‍රින්සි සේම මහාචාර්ය තිලකවංශ ද ඒ යථාර්ථය පසක් කරවයි.
● සෝමපාල අරන්දර