ජීවිතයේ රණ බිමට වදින්නට මලේ උඹට කල දවසක් එනවා’’’

121

තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවණැල්ලේ
ගිනි හුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ

රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
කාසි තරඟයට සූදු කෙළිනවා
ජීවිතයේ රණ බිමට වදින්නට
මලේ නුඹට කල දවසක් එනවා

බෝල ලොසිංජර දිව රස කෙරුවට
බඩගින්දර නැහැ නිවා දමන්නේ
කීරි ගැහෙන කල වාරු නැති දෙපා
කොහොමද උඹ දිග ගමන දුවන්නේ

ගායනය – මාලනී බුලත්සිංහල
පද රචනය – ප්‍රනීත් අබේසුන්දර
සංගීතය – ආනන්ද ගමගේ

ජීවිතයේ රණ බිමට වදින්නට මලේ උඹට කල දවසක් එනවා’’’

අපේ පුංචි කාලේ, එනම් හැටේ දශකයේ දී පාසල් සිසුන් වූ අපට තිබුණු සිහින සහ බලාපොරොත්තු අද දවසේ දරුවන්ට සාපේක්ෂව ඉතාම අල්පයි. ළඟම ඇති පාසලකින් අධ්‍යාපනය ලබන එදා ගැමි දරුවාට නිදහස් අධ්‍යාපනය යනු මහා ආශිර්වාදයක්. එකල ගුරු භූමිකාව සෑම විටම දරුවන්ට පෙනුනේ මිහිබට බෝසත් දෙවිවරු විලසිනුයි. උපකාරක පන්ති නැති, පාසලෙන්ම අධ්‍යාපනය, අනාගතය, ජීවිතය කියා දෙන ලෝකයකටයි අපි පිය නැගුවෙ.

කොටින්ම බාල ළමා වියකට අවැසි කෙළි සෙල්ලම් සඳහා කළමනා සැපයෙන්නේත් ගමෙන්මයි. ඔට්ටුපාලු රබර් බෝල, රබර් ඇට බඹර, බට තුවක්කු, දිය තුවක්කු, උණ වෙඩි, රූං පෙති වැනි දෑ අයියලා අක්කලා හදාගෙන

පරිහරණය කරද්දී පොඩි එවුන් ක්‍රමයෙන් ඒ හුරුබුහුටි කම්වලට අත්පොත් තියනවා. ගමේ කුඹුරේ ඉපනැල්ලේ, රබර් රුප්පාවේ, ගුරු පාරේ දෙනිපෙතේ රැව් දෙන්නේ ස්වභාවධර්මයේ මහිමයෙන් දිනාගත් සිහින. මගේ ළමා ජීවිතයක් ගෙවන්නේ මෙවන් ගැමි පරිසරයක. මගේ එකම අක්කා ගමේ පාසලෙන් නගරයේ පාසලට පියමං වන්නේ මම කුඩා පන්තියේ ඉදිද්දීමයි. විශේෂ වූ හේතුවක් නැත්නම් නගරයට නොයන පොඩි අපිට, නගරය ගැන පුවත් දැනගන්න ලැබෙන්නේ එහි යන එන වැඩිහිටි අයගෙනුයි. ඒත් අක්කා උදේ පාන්දරින්ම බසයෙන් සැතපුම් ගණනක් දුර ගෙවා යන එන මේ ගමන නිසා මීට පෙර අසා නැති නගරයක අසිරි සිරිය අක්කාගෙන් මට දැන ගන්න ලැබෙනවා. අද වාගෙම බක් මාසේ පාසල් නිවාඩුව අවසන් වී පැමිණෙන ඊළඟ පාසල් වාරයේ නගරයේ කඩ සල්පිල් සිංහල අවුරුද්දේ ඉතිරි වූ වෛවර්ණ සැරසිලි භාණ්ඩ වගේම ළඟ එන වෙසක් උත්සවයට අදාළ බොහෝ විසිතුරු දෑ වලින් පිරී යන්නේ නගරයට එන යන ගැමියන්ගේත්, දරුවන්ගේත් සිත් තුළට නුහුරු පෙළඹවීම් ඇති කරමිනුයි.

විවෘත ආර්ථිකය එන්නට පෙරාතුව වුවත් මීට පෙර දැක නැති, නගරයේ දුටු අරුමෝසම් දෑ ගැන අක්කා මට කියනවා. නගරයේ බස් නැවතුම්පොළ අසල සල්පිල්වල විකිණීමට තබා ඇති සමහර දෑ වෙසක් උත්සව කාලය සමඟ ගමටත් කාන්දු වෙනවා. පාට පාට වෙසක් සැරසිලි, බුදු රැස් වළලු, බුද්ධ රූප, එලිය පෙට්ටි කොල, සල් උයන් සඳහා ඇවැසි දෑ, දකින අපේ පුංචි සිත් ඒවා අත ගා බලන්නට තරම් කැමැත්තෙන් ආසාවෙන් පිරුණත්, දෙමාපියන්ට කරදර කරමින් ඉල්ලා සිටින්නට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැත්තේ ගැමි ආර්ථිකයේ ඇති කුඩා බව, ළමා වියේ දී ම අපට දැනුණ නිසා වෙන්න ඇති.

අක්කා නගරයට, නගරයේ පාසල් ජීවිතයට හුරු වී ටික කලකින්ම පුංචි මමත් නගරයේ ලොකු පාසලට ඇතුළත් වෙනවා. ඒ හයවැනි ශ්‍රේණියට. පාසලට බස් දෙකකින් ගමන් කරන අපට ඒ ගමන් සඳහා මාසික වාර ප්‍රවේශ පත්‍රයක් (සීසන්) ලැබෙනවා සහන මිලට. දහවල් විවේකයට ආහාර ගන්න ‘ශත’ ගණනින් යුත් මුදලක් ලැබෙනවා ගෙදරින්. ඒ දවල්කුසගින්න නිවා ගන්න. පාසල හමාර වී මම අක්කා සමග ගෙදර එන්නේ පාසල් බසයෙන්.

පාසලත් නගරයේ බස් නැවතුමත් අතර ඇත්තේ හොරණ කඩවීදිය. නගරයට ආගන්තුක වූ මට පාර දෙපස ඇති කඩ සාප්පු වල තිබෙන විසිතුරු දෑ ද සහ ‘බ්‍රහස්පතින්දා පොළට’ යාබද පදිකවේදිකාවේ තාවකාලික සල්පිල් බිමෙහි ඇති වෛවර්ණ විසිතුරු දෑ ගැන ගිනිකන වැටෙනවා. පාසල් බස් රථය අල්ලන්න ඉක්මන් ගමනින් යන අක්කාට මග තාවර වෙවී යන මල්ලීව කරදරයක් වගෙයි . විනාඩියක් පරක්කු වුණොත් ගම් පළාතට යන පාසල් බසය මගහැරෙනවා. එහෙම වුණොත් ගෙදරට යන්න වෙන්නෙ හොඳටම හැන්දෑ වෙලා. කොහොමින් කොහොම හරි ඇහින් දුටු දේ කියන්න වෙන්නේත් අක්කාට මයි. ඇය කියන්නේ ‘අම්මාට තාත්තාට කරදර කරන්න එපා සල්ලි ඉල්ලලා, හොඳට ඉගෙන ගන්නයි අපිව ටවුමේ ඉස්කෝලෙට එව්වෙ, රස්තියාදුකාරයෝ වෙන්න නෙවෙයි.’
පාසල ඇරෙන වෙලාවේ නගරයේ තාර පාර රත්වෙලා නැගෙන අව් රශ්මියත් එක්ක, ඇසින් දුටු බොහෝ දේ සමඟ අක්කාගේ ඔවදන් මිශ්‍ර වෙනවා.

‘අල්ලට සිඟාවත් රස රස නැති
කැවිලි කකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා..’

ඊට ටික වසරකට පසුව අක්කා කොළොම්තොට ආසන්න සරසවියකට වරම් ලබා ගන්නවා. මමත් වසර කිහිපයක ඇවෑමෙන් කොළඹ සරසවියට එන්නේ අක්කගේ අඩිපාරේමයි. ඔය අතරවාරේ ‘විවෘත ආර්ථිකය’ කියා ආ අද්භූත දෙයක අනුහසින් දේශීය නිෂ්පාදන අභිබවා ගෙන ආනයනික විසිතුරු භාණ්ඩ වලින් නගරය පිරී ඉතිරී යනවා. එතෙක් මෙතෙක් අසා නැති, දැක නැති, බොහෝ දේ බලන්න, දකින්න, මිලදීගන්න, පිටකොටුවේ ‘ලෝක වෙළෙඳ පොළ’ භූමියට යන්න සරසවියේ අපි උත්සුක වන්නේ විශේෂයෙන්ම ශිෂ්‍යාධාර එකවර ලැබුණු දිනවලදී යි. කුඩා කාලයේ ගමට ආසන්න නගරයේ දුටු විසිතුරු ලෝකය, මහා පරිමාණයෙන් ඉදිමී, මේ ගිනි ගහන නගරයේ පාට පාටින් දිලිසෙන බවක් මට දැනෙනවා. එදා පාසලේ විවේක වෙලාවට ආහාර ගන්න දුන්නු ‘ශත’ දැන් ‘රුපියල්’ වෙලා. එහෙත් අපේ අපේක්ෂාවන්ට වඩා සල්පිල්වල ඇති බොහෝ දෑ බොහෝ දුරයි! ඈතයි! මිල අධිකයි. අක්කාගේ කියමන් යළිත් රැව් දෙනවා.

‘ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා’

වසර තුනක ඇවෑමෙන් මගේ සරසවි ජීවිතය නිමා වෙනවා. අපි කොළඹ නගරයට එහි ජන ජීවිතයට හුරුවූ ‘ආගන්තුක නාගරිකයන්’ බවට පත්වෙනවා. අපගේ ජීවිත තුළට පරිහරණය කරන දෑ මතින් විවෘත ආර්ථිකය හෙමිහිට කාන්දු වෙනවා. ජීවිත අපේක්ෂාවන් ජයගන්නට රැකියා භූමිකාවක් තෝරාගන්නවා. ඒ නිසාම එක පසෙකින් සෞන්දර්ය, රසවින්දනය වගේම, අනෙක් පසින් නව ආර්ථිකයට හැඩගැසීමේ අභියෝගය අතරේ අපේ හිත් දෝලනය වෙනවා.

ලැබෙන වැටුපෙන් කියවන්නට පොත් මිලදී ගන්නටත්, ශ්‍රවණය කරන්ට ගීත සමුච්ච එකතු කරගන්නටත්, යළිත් මට හුරු පුරුදු පිටකොටුව, මරදාන බොරැල්ල පෙදෙස් වෙත අපි ඇදී එන්නේ, ඒ වැටුප් මුදල ලැබූ ඇසිල්ලෙන්මයි. ඒ වන විට විවෘත ආර්ථිකයෙන් විකෘති කරන්නට බැරිවූ ශානර දෙකක් අපේ වාසනාවට නව දඬු පත් වඩමින් සෞන්දර්යවාදී ව ඉදිරියට අතුපතර විහිදෙන්නේ ඒ දෙසට අපව නැඹුරු කරමින්. ඒ සෞන්දර්ය මාවතේ පිය නගද්දී සමකාලීන නිර්මාණකරුවන් නගරයේ දී මුණ ගැසෙනවා. ඉන් නිර්මාණාත්මක සිත සුවඳින් පිබිදෙද්දී, යළිත් දහවලේ කැකෑරෙන නගරයේ ගීත සල්පිලකින් සුගායනීය හඬක් ඇහෙනවා. ඒ ප්‍රවීණත්වයේ මිහිරි හඬ මාලිනි බුලත්සිංහලගේ.

‘තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවණැල්ලේ…
ගිනි හුළඟින් දූවිලි ඇවිළෙනවා..
ඒ ගින්නෙන් උඹ දැවෙයි මලේ…’

අක්කා එදා මට දුන් අවවාද, තවත් නිර්මාණකරුවෙක් අපූරු පද වැලක් බවට පත් කරලා ගීතයක් වෙලා. මම වහාම කැසට් සල්පිල් කඩේට රිංගලා ඒ ගැන විමසනවා. ගීත කඩේ සිටින මුදලාලි කැසට් පටය බලන්න මට දෙනවා. ගී පද රචනය ප්‍රණීත් අභයසුන්දර, සංගීත නිර්මාණය ආනන්ද ගමගේ. මගේ නිර්මාණ චාරිකාවේ මට හමුවූ සමකාලීන අනතිමානී සුමිතුරු චරිතය, මගේ කතාව ඔහුගේ බසින් ලියා ඇති අපූර්වත්වයෙන් මා වශී වෙනවා. ඒ කාලෙ ජංගම දුරකථන තිබුණා නම් මම ඔහුට සැණින් කතා කරනවා. මම එවෙලෙම මගේ සොච්චම් වැටුපෙන් ඒ කැසට් පටය මිලදී ගන්නවා.

ප්‍රණීත්, ඔබ මරදානේ ආනන්ද විදුහලේ ශිල්ප ශාස්ත්‍ර හදාරලා, බොරැල්ලෙ නිවසට එද්දි කුඩා කල සිටම මේ නාගරික වටපිටාවේ වෙනස් වීම මනාකොට අත් දකින්නට ඇති, මා වැනි ආගන්තුක නාගරිකයාට වඩා නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් දිගු ගමනක් ආ ඔබ, මේ විපරිත විවෘත ආර්ථිකය තුළ, ජීවිතයේ රණ බිමෙහි මටත් වඩා හැමදාම ගැටෙන්නට, තැලෙන්නට ඇති. අද රූප පෙට්ටි වල අලෙවිකරනු ලබන ජීවිතය, කල් වේලා ඇතිවම, ඔබ දැක ඇති බව මට හැඟෙනවා, මේ ගීතයෙන් දනවන්නේ හෙම්බත් වූ අපේ කාලයේ කතාවම නොවේද?

ජීවිතයේ රණ බිමට වදින්නට මලේ උඹට කල දවසක් එනවා’’’

advertistmentadvertistment
advertistmentadvertistment