ජීවිතය ජයගන්න ධර්මාවබෝධය ලබන්න!

227

තිලොවට තිලක වූ ගෞතම බුදුන් වහන්සේ දේශිත සද්ධර්මය හැම අයුරින්ම ජීවිතවලට ප්‍රායෝගික කරගත හැකි දහමකි. බුදුදහම මෙන්ම බෞද්ධ දර්ශනය හේතුඵල දහමක් වූ නිසාවෙන් කවර ආගමක කවර මතවාදයක කවර දහමක භක්තිකයන්ට වුවද එකසේ සර්ව සාධාරණය, ප්‍රායෝගිකය. එකී  ප්‍රායෝගිකත්වය අත්විඳීමට නම් නිර්මල බුදුදහම යම්තාක් දුරකට වත් නිවැරැදිව නිරවුල්ව අවබෝධ කරගත යුතුය. එවිට ලෞකික මෙන්ම ලෝකෝත්තර ජීවිත ද සුඛිත මුදිත කරගත හැක.

 සමස්ත ලෝකයේම වැඩිම ධර්ම දේශනා කරන රට අප රට වුවද බණ අහන තරමට අපගේ ජීවිත සකස් වෙලාද යන්න සිතා බැලිය යුතු කරුණකි. ධර්මානුධර්ම ප්‍රතිපදාව හෙවත් ධර්මානුකූලව ජීවත් වීමේ හැකියාව එසේම යෝනිසෝ මනසිකාරය හෙවත් ධර්මය නුවනින් විමසීමේ හැකියාව අප සතුද යන්න විමසා බැලීම වටී. මෙය බණ අසන තත්ත්වය මගහැරී බණ ඇසෙන තත්ත්වය මත ඍජුවම වර්ධනය වූවකි. බුද්ධ දේශනාවට අනුව දානයන්ගෙන් අග්‍රවූ උසස් වූ දානය ධර්ම දානයයි.

 ඒ බව “සබ්බදානං ධම්මදානං ජිනාති – සබ්බං රසං ධම්මරසො ජිනාති
 සබ්බ රතිං ධම්ම රති ජිනාති – තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති”ලෙස සඳහන් වේ.

 එනම් ධර්ම දානය සියලු දානය දිනයි. ධර්ම රසය සියලු රසය දිනයි. ධර්ම රතිය හෙවත් ප්‍රීතිය සියලු රතිය දිනයි. රහත් ඵලය සියලු දුක් දිනයි. යනුවෙන් ධම්ම පදයේ තෘෂ්ණා වර්ගයේ 354 වැනි ගාථාව ලෙස දැක්වේ.

 කෙසේ නමුත් බුදු දහමේ ඇති ප්‍රායෝගිකත්වය සූත්‍ර පිටකයේ අන්තර්ගත සිගාලෝවාද, පරාභව, කාලාම, මහා මංගල, වසල වැනි සූත්‍ර විමසා බැලීමෙන් මනාව පසක් වේ. මෙකී සූත්‍ර තුළින් ලද හැකි ඵල එමටය. ඒ අතර ලෞකික ලෝකෝත්තර ජීවිත සැපවත් කරගත හැකිවීම ශක්තිමත් ආර්ථික පසුබිමක් සකසා ගත හැකි වීම, ලෙඩ රෝග, අමනුෂ්‍ය බිය වැනි දෙයින් මිදීම ආදිය විශේෂය. එසේම වර්තමානයේ ජීවිතවලට අතිශයින් දුර්ලභ වූ සතුට ළඟා කරගත හැකි හොඳම ඖෂධය ද බුදු දහමය. එය බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ‘ධම්මෝසධ සමංනත්ථි’ එනම් ධර්මය සමාන ඖෂධයක් නැත යනුවෙනි. කෙසේ නමුත් යමක් අර්ථවත්ව ජීවිතයට ප්‍රායෝගික කර ගැනීමට නම් ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුමය. එය බුදුදහම විෂයෙහිත් එකසේ සාධාරණය. බුදුන් වහන්සේ දේශිත ධර්මයේ බලය අනන්තය, අප්‍රමානය. එනිසාම ධර්මය ආරක්‍ෂා කරන්නා ධර්මය විසින් ආරක්‍ෂා කෙරේ. ඒ බව බුදුදහමේ සඳහන් වනුයේ

 “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
 ධම්මො සුචිණ්ණො සුඛ මා වහාති
 ඒසා නි සංඝා ධම්මෙ සුචිණ්ණො
 න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී’යනුවෙනි.

 බෞද්ධයන් හැටියටත් නිතර ධර්මය ශ්‍රවණය කරන්නන් හැටියටත් අෂ්ඨ දුෂ්ඨක්‍ෂණයෙන් තොරව තිහේතුක සම්පතින්, ක්‍ෂණ සම්පතින්, උපභෝග, පරිභෝග, පරිවාර ආදී සම්පත්තියෙන් යුතුව ලද විකලාංගයන්ගෙන් තොරවූ බුද්ධිමත් මනුෂ්‍ය ආත්මය කෙතරම් දුර්ලභ ද වටීද යන්න සිතා බැලිය යුතුමය. කවුරුත් අසා ඇති පරිදි කණකැස්බෑවා විය සිදුරෙන් අහස දැකීම උපමා කර ඇති මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම කෙතරම් භාග්‍යයක්ද එවන් දුර්ලභ වූ කරුණු ගණනාවක් බුදුදහමේ සඳහන් වේ.

 ‘දුල්ලභංච මනුස්සත්තං
 බුද්ධෝත්පාදෝච දුල්ලභා
 දුල්ලභා ක්‍ෂණ සම්පත්තී
 සද්ධර්මෝ පරම දුල්ලභා”

 මෙහි අරුත වන්නේ මනුෂ්‍ය භාවය ලැබීම, බුදුවරයෙකු පහලවීම, ක්‍ෂණ සම්පත්තිය ලැබීම, සද්ධර්ම ශ්‍රවණය වැනි වූ කරුණු පරම දුර්ලභ බවය. එනිසාම අලෝභ අද්වේෂ, අමෝහ යන ත්‍රිහේතුකයෙන් යුතුවූ මිනිස් දිවිය කෙතරම් වටීද? එහි වටිනාකම තව තවත් වැඩි වනුයේ ධර්මාවබෝධයට සිත පහලවීම පිනිස ලද උතුම් මනුෂ්‍ය, දිව්‍ය හෝ බ්‍රහ්ම සම්පත්තිය හෙවත් ශ්‍රද්ධා සම්පත්තිය ද ක්‍ෂණ සම්පත්තිය ලෙසින් ලද විටය. නිරයේ, තිරිසන් යෝනියේ, ප්‍රේත විෂයේ, අරූපී ලෝකවල, පිටිසර ජනපදවල, අංගවිකලව, මිත්‍යා දෘෂ්ඨිකව මෙන්ම අබුද්ධෝත්පාද කාලයක ඉපදීම ආදී කොට ඇති අට අකන හෙවත් අෂ්ඨ දුෂ්ඨක්‍ෂණයෙන් තොරව මිනිසත් බව ලැබූ අප කෙතරම් භාග්‍යවන්තද?

 එනිසා සියල්ලටම ප්‍රථම මනුෂ්‍යන් වන අප හට හොඳ නරක, පින් පව්, කුසල් අකුසල් සේම සම්මත අසම්මත ආදී මෙකී නොකී දේ පිළිබඳ හොඳ දැක්මක් තිබිය යුතුය. මේවා අතුරින් බෞද්ධයන් ලෙසට පින් පව්, කුසල් අකසල් ගැන දත යුතුමය. කවුරුන් හෝ පින්කම් කළත් පව්කම් කළත් සුගතියකට හෝ දුගතියකට කරුණු රැස්වන බව නම් ස්ථිරය. පින් පව්, කුසල් අකුසල් මෙසේ අර්ථකථනය කළ හැකිය. පව් අකුසල් යනු අතීතයේ හෝ වර්තමානයේ අත් නොහැර එකතු කරගත් හෝ එකතු කරන රාග, ද්වේශ හා මෝහය, මෙකී තොරතුරු සවිස්තරව සූත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ සම්මා දිට්ටි සූත්‍රයේ මෙන්ම පුන්‍ය කිරිය වත්තු දේශනාවේ සඳහන් වේ. මෙම පව් අකුසල් ගනයට දස අකුසල් අයත් වන බව සරලව පෙන්වා දිය හැකිය.

 පින් යනු අර්ථයෙන් සංසාරික සැප ලබාදීමට උපකාර වන දේවල්ය. විශේෂයෙන් දස කුසල්, දස පුන්‍ය ක්‍රියා ආදිය මෙයට ලඝු කළ හැක. පින අතර අග්‍රම පින මෛත්‍රි භාවනාව වන බව බෞද්ධ ඔබ දන්නවාද? කෙසේ නමුත් පින් අයිති ලෞකික සම්මා දිට්ටියට බවත් පින තුළ පින විතරක් පවතින බවත් කුසල් නොමැති බවත් දත යුතුය.

 කුසල් යනු අර්ථයෙන් යමෙක් නිවන් අවබෝධය ඉලක්ක කර තමන්ගේ ජීවිතය තුළ ගොඩනගන ලද ගුණධර්ම හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන ගුණධර්මය. මෙකී කුසල් ලෝකෝත්තර සම්මා දිට්ඨියට අයත් වන අතර කුසල් අතර අග්‍රම කුසලය අනිත්‍ය භාවනාව ලෙස සැලකේ. කුසලයේ විශේෂත්වය වන්නේ කුසල් තුළ පින් හා කුසල් යන දෙකම පැවතීමය. කෙසේ නමුත් බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයන්ට මිස බුද්ධි හීනයන්ට නොවන වගය. ඒ බව

 ‘අයං ධම්මෝ පඤ්ඤා වන්තස්ස
 නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස”

 යන ගාථාවෙන් මනාව තහවුරු වේ. මෙහි සඳහන් ප්‍රඥාව යනු විපස්සනාව බවත් සිත දියුණු කරනවා, සිත වඩවනවා යනු සමාධි මාර්ගය වඩනවා යන්න බවත් විපස්සනාව වැඩීම යනු ප්‍රඥාව වැඩීම බවත් නිරවුල්ව දත යුතුය. කරුණු කාරණා එසේ මුත් අප අතර බහුතරයක් පින් රැස්කිරීමට දැඩි බියක් දක්වයි. අත නොහැර කර්ම රැස්කර සංසාරය දිග්ගස්සගන්නවා යැයි ධර්ම කරුණු පටලවා වැරදි ලෙසට අවබෝධ කරගනී. සංසාර ගමන කෙතරම් දිගු ද කියා කීමට කාහට නමුත් උගහට නිසා තම තමාට හැකි උපරිමයෙන් අවස්ථාව සලසාගෙන වීර්යයෙන් යුතුව පිං රැස් කළ යුතුය. බුදුන්වහන්සේ මෙය අනුදැන වදාරා ඇත්තේ

 ‘පුඤ්ඤං චේ පුරිසො කයිරා – කයිරාථෙනං පුනප්පුනං
 තම්හි ඡන්දං කයිරාථ – සුඛෝ පුඤ්ඤස්ස උච්චයො”ලෙසය.

 එනම් පිං රැස් කිරීම පිනෙහි හැසිරීම සැපතට හේතු වන බවත්ය. එහිදී පිං කරන්නා නිතර නිතර එය කළ යුතුය. පිනට ආසා කළ යුතුය යන්නද අමතක නොකළ යුතුය. මෙය බෞද්ධයන්ගේ අත් පොත වූ ධම්ම පදයේ පාප වර්ගයේ 118 වැනි ගාථාව ලෙසට සඳහන් වේ. එනිසා විශේෂයෙන් පිං පොතක් තැබීම, එහි තමා සිදුකළ පිංකම් සවිස්තරව සටහන් කිරීම ඉතා වටී. පින් කිරීම තන්හාවෙන් යුතුව කර්ම රැස් කිරීමක් සේ කිසිවිට නොසිතන්න. නිවන් දක්නට සංසාර ගමනේ ලද යුතු දීර්ඝ වූ ශීක්‍ෂණය සඳහා පින හා ඒ කරණ කොට ලබන උපභෝග, පරිභෝග, පරිවාර සම්පත් මහත් රුකුලක් බව නුවනින් සිතා ඔබම පසක් කර ගන්න. ‘අප්පමාදේන සම්පාදේත’ යන අවසන් බුදු වදන සිහියට නගාගනිමින් අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කර ලද උතුම් මනුෂ්‍ය ජීවිතයේ උපරිම ඵල නෙළාගන්න.

 ‘සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
 සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධාන සාසනං”

 බහුලව අසන්නට දකින්නට ලැබෙන මෙම ගාථාව ධම්ම පදයේ බුද්ධ වර්ගයේ 183 වන ගාථාව ලෙස සඳහන් වන අතර ඉන් කියැවෙන්නේ සියලු පව් නොකළ යුතු බවත්, කුසල් රැස් කළ යුතු බවත්, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්චා ආදී කොට ඇති නිවන අහුරණ ධර්ම හෙවත් නිවනට බාධා කරන නිවන වසන පංචනීවරණයන් කෙරෙන් තම සිත පිරිසිදු කරගත යුතු බවත්ය. මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවද වේ.

 ‘චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං’

 ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

ජීවිතය ජයගන්න ධර්මාවබෝධය ලබන්න!

ජ්‍යොතිෂ්‍යවේදී, දේශබන්දු
 ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
 පානදුර
 දු.අංකය 0774 126 023

advertistmentadvertistment
advertistmentadvertistment