මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරිණි.
ඕනෑම සබඳතාවක් ශක්තිමත්ව පවත්වා ගැනීමට නම් දෙපාර්ශ්වයේ ම කැපවීම, ගරු කිරීම, දායකත්වය සහ අවශ්‍යතාව තිබිය යුතුය. පරිසරය සහ මිනිසා අතර ඇති සබඳතාව ද එලෙස ම ය. ඉතා ඈත අතීතයේ කෙසේ වෙතත් මෑත ඉතිහාසය ගත් විට මිනිසා පරිසරය සමග සිදුකරනු ලබන ගනුදෙනුව සාධාරණ නොවන බව අප සියලු දෙනා පිළිගත යුතුය.
එනිසා ම මිනිසුන් වන අප විසින් ම පරිසරය රැක ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ අනුව, පරිසරය පිළිබඳ අවධානය ගෙන දීම සඳහා විවිධ ජාතික හා ජාත්‍යන්තර දින නම් කර ඇති අතර “ජගත් පරිසර දිනය” එවැනි දින අතරින් ප්‍රධාන දිනයකි. 1972 ජුනි මස 05 වැනි දින සිට 16 වැනි දක්වා ස්විඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති මානව පරිසරය සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ සමාරම්භක දිනය සනිටුහන් කිරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දිනය “ජගත් පරිසර දිනය” ලෙස නම් කර ඇත. එදා මෙදාතුර ලෝවැසි ජනතාව “ජගත් පරිසර දිනය” සමරති.
එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන නම් කළ, මෙවර ජගත් පරිසර දින තේමාව වන්නේ “ඉඩම් ප්‍රතිසංස්කරණය, කාන්තාරකරණය සහ නියඟයට ඔරොත්තු දීම” (Land Restoration, Desertification and Drought Resilience) යන්නයි. “ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්” යන්න මෙවර ජගත් පරිසර දිනයේ ජාතික තේමාව වේ. මෙම තේමාව පෙරදැරි කර ගනිමින් ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව 2024 මැයි මස 30 වැනි දින සිට ජුනි මස 05 වැනි දිනය දක්වා “ජාතික පරිසර සතියක්” නම් කිරීමට රජය කටයුතු කළේ ද පරිසරය පිළිබඳ සියලුදෙනාගේ අවධානය යොමු කිරීමේ එක් ප්‍රයත්නයක් ලෙසයි. ඒ අනුව, මැයි මස 30 වැනි දිනය “තිරසර ඉඩම් කළමනාකරණ දිනය” ලෙස ද මැයි මස 31 වැනි දිනය “වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය” ලෙස ද ජුනි මස 01 වැනි දිනය “ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීමේ දිනය” ලෙස ද ජුනි මස 02 වැනි දිනය “ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය” ලෙස ද ජුනි මස 03 වැනි දිනය “පරිසර පවිත්‍ර කිරීමේ දිනය” ලෙස ද ජුනි මස 04 වැනි දිනය “ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය” ලෙස ද ජුනි මස 05 වැනි දිනය “රුක් රෝපණය හා ජගත් පරිසර දිනය” ලෙස ද රජය ප්‍රකාශයට පත් කළේය.
අප රටේ පාරිසරික නියාමන කාර්යයේ දී ප්‍රධාන කාර්යයක් ඉටුකරන මධ්‍යම පරිසර අධිකාරිය පරිසර සංරක්ෂණය උදෙසා නිරන්තරයෙන් ම විවිධ කාර්යයන් ඉටුකරන අතර ජාතික පරිසර සතිය උදෙසා ද විශේෂ වැඩසටහන් ගණනාවක් සංවිධාන කර තිබුණි. එපමණක් නොව ජූනි මාසය පුරාම “ජගත් පරිසර දිනය” වෙනුවෙන් විශේෂ වැඩසටහන් ගණනාවක් සංවිධාන කර තිබේ.
වර්ණගලවත්ත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය
“ජගත් පරිසර දිනය” නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය නව “පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක්” නම් කිරීම එම කාර්යයන් අතර ප්‍රධාන වේ. යම් සුවිශේෂී වූ පරිසර පද්ධතියක දිගු කාලීන පැවැත්ම වෙනුවෙන් නීතිමය රැකවරණයක් ලබා දීමත් මතු පරපුරේ අයිතිය තහවුරු කිරීමත් සඳහා “පාරිසරික ආරක්ෂක ප්‍රදේශ” නම් කරයි. ඒ අනුව, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ බලතල ප්‍රකාරව පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ 2024 ජුනි මස 05 වැනි දිනැති 2387/22 දරන ගැසට් නිවේදනය මගින් “වර්ණගලවත්ත” ප්‍රදේශය “වර්ණගලවත්ත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය” ලෙස නම් කරන ලදි. මෙලෙස නම් කර, මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියාමනය කරනු ලබන “පරිසරික ආරක්ෂක ප්‍රදේශ” 12ක් පවතින අතර “වර්ණගලවත්ත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය” 13 වැනි පාරිසරික ආරක්ෂක ප්‍රදේශය යි.
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩවිකන්ද ග්‍රාම නිලධාරි වසම සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාගල ග්‍රාම නිලධාරී වසම තුළ වර්ණගලවත්ත පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සමනල ස්වභාව රක්ෂිතයට තුන් පැත්තකින් මායිම්ව ය. හෙක්ටයාර 502.69ක වපසරියකින් යුතු මෙම සුවිශේෂී පරිසර පද්ධතිය පහතරට වැසි වනාන්තර සහිත ඉහළ ජෛව විවිධත්වයකින් යුතු සංවේදී පරිසර පද්ධතියකි. කළු ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන කුරුගඟේ ජල පෝෂක ප්‍රදේශය වන්නේ වර්ණගලවත්ත ප්‍රදේශයයි. කුරු ගඟෙන් නිර්මාණය වන “වර්ණගල දිය ඇල්ල” මෙම ප්‍රදේශයේ සෞන්දර්යාත්මක වටිනාකම ඉහළ නංවයි.
ශ්‍රී පාද වන්දනාව ආරම්භ කරන පෙරහැර ගමන් ගන්නා එක් මාර්ගයක් වන කුරුවිට – එරත්න මාර්ගය මෙම ප්‍රදේශය තුළ පිහිටා ඇත. තවද, අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා ඉතා ඉහළ වැදගත්කමකින් යුතු මෙම ප්‍රදේශයෙහි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන රැසක් ද හමුවී ඇත.
හරිත දුම්රිය ස්ථාන වැඩසටහන
ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයන් හි පරිසර හිතකාමී පාරිසරික තත්ත්වයක් ඇති කිරීම සඳහා “හරිත දුම්රිය ස්ථාන” තරගයක් පවත්වා ජගත් පරිසර දිනයේ දී ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කරන ලදි. දුම්රිය ස්ථාන හරිතකරණය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ දුම්රිය කලාප තුන වන කොළඹ, අනුරාධපුර සහ නාවලපිටිය යන දුම්රිය කලාප ආවරණය වන පරිදි විශේෂඥයින්ගේ දායකත්වය ලබාගනිමින් වැඩමුළු පවත්වා දැනුවත් කළ අතර තම දුම්රිය ස්ථානය හරිතකරණය කිරීමට වසරක කාලයක් ඔවුන් වෙත ලබා දුන්නේය. ඒ අනුව, උප දුම්රිය ස්ථාන දෙකකින් සහ ප්‍රධාන දුම්රිය ස්ථාන තිහකින් අයදුම්පත් ඉදිරිපත් වූ අතර එහි ජයග්‍රාහකයන්ට ජගත් පරිසර දිනයේ දී ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කරන ලදි.
වායු දූෂණය මැඬලීම
කොළඹ, ජාඇල, මහනුවර, ගාල්ල, බදුල්ල, වවුනියාව, කිලිනොච්චිය සහ යාපනය යන නගර 8 හි දී මැයි මස 31 වැනි දිනයේ දී අහඹු ස්ථානීය වායු විමෝචන පරීක්ෂණ පවත්වනු ලැබූයේ මෙහි වැදගත්කම පිළිබඳව මහජනතාවගේ මතකය අවදි කිරීමට මෙන්ම දැනුවත් කිරීම ප්‍රධාන අරමුණ කර ගනිමිනි.
සටහන – ශ්‍රියාන්ජනී ලොකුලියන