ජීවිතය හා ජීවත්වීම

737

කොරෝනා සතුරා දැන් බොහෝ දෙනකුට අමතක වී ඇත. ජන ජීවිතය යථාවත් වන්නට පටන් ගැනීමත් සමග සමාජය හැල්මේ දුවන්නේ ජීවත්වීමේ සටනට මුහුණ දීම සඳහාය. ආර්ථික ප‍්‍රශ්න ජන සමාජයේ කරවටක් ගිලදමා ඇත. බැලූ බැලූ අත අර්බුද, ප‍්‍රශ්නම මිස සහනයක් ඇත්තේම නැති බැවින් කොරෝනා යනු තවත් ප‍්‍රශ්නයක් ලෙස සැලකීමෙන් වැඩක් නැති නිසාදෝ, අකැමැත්තෙන් වුව ජනතාව කොරෝනා වසංගතය අමතක කර දමා ජීවන සටනට පණ දෙනු පෙනේ. එහෙත් සැබෑව නම්, යළිත් දෛනික කොරෝනා ආසාදිතයන්ගේ ගණන වැඩිවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ මගින් වාර්තා කිරීමය. ඒ අනුව දින 20 කට පසු පසුගිය 5 වැනිදා සිට යළිත් දෛනික ආසාදිත සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා යමින් පවතී. මරණ සංඛ්‍යාවේද වැඩිවීමක් පෙන්නුම් කරයි.

 යළිත් ජනයා ඒකරාශී වීම මෙසේ කොරෝනා වසංගතය හිස එසවීමට හේතුව බව පැහැදිලිය. හෙට අනිද්දා වන විට පොදු ප‍්‍රවාහන සේවා යථාවත් වන විට මේ තත්ත්වය තවත් නරක තත්ත්වයට පත්විය හැකිය. නමුත්, පෙර කී පරිදි ජීවන සටනට එකතු නොවුණහොත් මියයන්නට වෙන්නේ වසංගතයෙන් නොව, බඩගින්නෙන්ය. මන්ද, දැන් තිබෙන්නේ කොරෝනා වසංගතය මෙරටට එනවිට තිබූ ආර්ථිකය හෝ බඩු මිල නොවේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල එමෙන් හතර පස් ගුණයකින් ඉහළ ගොස් ඇත. ගෑස්, සීනි සල්ලි දීලාවත් ගන්නට නැත. හාල්, කිරි පිටි හිතන්නේවත් නැති තරම් මිල ඉහළ ගොස් ඇත. සිමෙන්ති වැනි භාණ්ඩවල මිල ගැන කතාකරලාවත් වැඩක් නැත. ඒ නිසාම අද මේසන් වැඩක්, අත්වැඩක් කරගෙන දිවි ගෙවූ සියල්ලෝම අනාථ – නාථ වී ඇත. මේ අතර ඉතා තද වැසි සහිත කාලගුණික තත්ත්වයක් රටේ නිර්මාණය වීමත් සමග කබලේ පිච්චෙමින් හිටි එකා ගිනි ගොඩටම වැටී අළුවන තරමට තත්ත්වය නරක අතට හැරී ඇත. වැස්ස ඇතිවත් බැරිය. නැතිවත් බැරිය. කැළඹුණු කාලගුණයෙන් මේ වනවිට මරණ 11 ක් සිදුව ඇති බව වාර්තා වෙයි. කොරෝනා වසංගතයෙන් බැට කා කීයක් හෝ හොයාගන්නට පාරට බැස්ස එකා දැන් වැස්සෙන් හොඳටම නාගෙන ගෙදර යන්නේ හිස් අතිනි. සියලූ කරදර නැති බැරි එකාටමය. කාලය ඒ තරමටම හොඳ නැත.

 මේ අතර ඩෙංගු වසංගතයද හිස ඔසවාගෙන එන බව වාර්තාවල දැක්වේ. අපි ගණන් නොගත්තාට ගෙවී ගිය මාස දහය තුළ ඩෙංගු රෝගීන් විසිතුන් දහස් දෙසීයක් (23,200) පමණ වාර්තා වී ඇත. ඉන් මරණ 13 ක්ද සිදුව ඇත. කොරෝනා වසංගතය රටට එන්නට පෙර අපට තිබුණු මාරාන්තිකම කරදරය මේ ඩෙංගු උවදුරයි. ඩෙංගු උවදුර හා බෝනොවන රෝග වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශවල හා ජනතාවගේ තිබූ උනන්දුවද දැන් නැට්ටටම බැස ඇත. නමුත් දරුවන්ගේ පාසල් පටන් ගැනීම මේ වන විට සිදුව ඇති බැවින් ඩෙංගු වසංගතය ගැනද යළිත් සිතා බලන්නට කාලය පැමිණ ඇත. විශේෂයෙන්ම පාසල් තුළ වැවී ඇති කැලෑ කපා සුද්ධ පවිත‍්‍ර කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ අතර කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහාද දරුවන් සියලූ ක‍්‍රියාමාර්ග ගත යුතුය.

 රටට හොඳින් වැසි ලැබීම අයහපත් කාලගුණික තත්ත්වයක් යැයි හඳුන්වන්නට අප ඉක්මන් වන්නේ නැත. ජලගැලීම්, නාය යාම් තත්ත්වයන් රටේ බොහෝ ප‍්‍රදේශවලින් වාර්තා වුවත්, මේ වනවිටත් සියලූ ජලාශ පිරී ඉතිරී යන මට්ටමට පැමිණ තිබීම සෞභාග්‍යයේ ලක්ෂණයකි. එනම්, ඊසාන දිග මෝසම හොඳින් සක‍්‍රීයවේගන එයි. දැන් ඇත්තේ කාබනික පොහොරෙන්ද, රසායනික පොහොරෙන්ද යනු නොව, කෙසේ හෝ වගාවෙන් රට ගොඩදැමීම සඳහා මේ මොහොතේ එකාවන්ව කටයුතු කිරීමය.

 කාබනික පොහොර ප‍්‍රචලිත කරන්නට රජය ගෙන යන වගා වැඩසටහන ගැන අප කිසිලෙසකින්වත් වරදක් දකින්නේ නැත. නමුත්, එය කළ යුතුව තිබුණේ පියවරෙන් පියවර බව අපගේ හැ`ගීමයි. කඳුකරයේ නම් සමෝච්ච රේඛා උස මට්ටම් අනුව (ජල මූලාශ‍්‍ර පවතින ඉහළ කඳුකර අඩි මට්ටම් අනුව) පළමුව මෙය ක‍්‍රියාවට නැගිය හැකිව තිබිණි. කුඹුරුවල නම්, ගොවීන්ගේ වපසරියෙන් කාල, භාගය ලෙස මෙය සිදුකරන්නට තිබිණි. නාගෙන ඇත්තේ ඔක්කොම එකවර කරන්නට ගොසිනි. මන්ද, කොරෝනා ගිනිපෙණෙල්ලෙන් බැටකා සිටින එකා කාබනික කණාමැදිරියාටත් බය වී සිටින නිසාය.

 කෙසේ හෝ වසංගත මැදින්, ආර්ථික පසුබෑම් මැදින් අප දැන් නැගී සිටිය යුතු වෙමු. මන්ද එළැඹෙන අනාගතය සෞම්‍ය නොවන, තවදුරටත් කටු කොහොලින් පිරි කාලයක් බවට පෙර නිමිති පහළ වී ඇති නිසාය. ගෑස් මිල, ඉන්ධන මිල, හාල් සහ කිරි පිටි මිල, එළවළු වැනි බෝග මිලද ඉහළ යනු ඇති බවට අනාවැකි පහළ වී ඇත. එබැවින් කාබනික, රසායනික පොහොර යුද්ධයට මැදි වනවාට වඩා අඩුම තරමින් බතල දණ්ඩක්, මඤ්ඤොක්කා දණ්ඩක් හෝ සිටුවා ගැනීම නුවණට හුරු බව මතක තබාගැනීම වටී. ජීවිතය මෙන්ම ජීවත්වීමද වැදගත් වන නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment