ඒ ගැන හිතනකොටත් පිස්සු වගේ
සද්ධාමංගල සූරියබණ්ඩාර සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සුසංයෝගයෙන් නිර්මාණය වූ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මන්ත්‍රී ගේ චරිතයට පණ පෙවූ “දුලාංජ ඩිල්ෂාන්” මේ දිනවල ඔබට දැකගත හැකි වන්නේ ස්වර්ණවාහිනි නාලිකාවේ සතියේ දිනවල රාත්‍රී 8.30ට විකාශනය වන “සල්ලි පොකුරු” ටෙලි නාට්‍යයේ ලැම්බට් (මැනේජර්) යන චරිතය තුළිනි. වෘත්තීමය වශයෙන් ගුරුවරයකු වන දුලාංජ ඩිල්ෂාන් ගුරු වෘත්තියත්” ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය කලාවත් සමබරව පවත්වාගෙන යෑමට දරන උත්සාහය සහ කලා ජීවිතයේ විස්තර කතා කරන්නට මෙවර මීවිත සමඟ සුහද කතාබහකට එක්වුණා.
● මැනේජර් මහත්තයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර නම් ඇත්තටම හොඳයි. අපේ සද්ධාමංගල සහ සිවගුරුනාදන් සුසංයෝගයත් තියෙන නිසා මිනිස්සු තවත් හොඳට නරඹනවා. ඒ නිසා මට ලැබෙන ප්‍රතිචාරත් ගොඩක් හොඳ තැනක තමයි තියෙන්නේ.
● නාඩගම්කාරයෝ නාට්‍යයේ මන්ත්‍රීතුමා සල්ලි පොකුරු නාට්‍යයේ මැනේජර් මහත්තයාගේ චරිතයට එද්දි ඒක වෙනස් කරගන්න මොනවගේ උපක්‍රම ද භාවිත කළේ?
නාඩගම්කාරයෝ එකේ මන්ත්‍රී සහ මේ චරිතයේ තියෙන චරිත ලක්ෂණ කොහොමත් ගොඩක් වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා ගොඩක් මන්ත්‍රීගේ චරිතයේ ආපු ලක්ෂණ නැතිකර ගන්න ලැම්බට් කල්දේරා චරිතයේ තියෙන චරිත ලක්ෂණ හොයලා අරගෙන මේ විදියට වැඩ කරමු කියලා තමයි ශිවා සර් එක්ක කතා වුණේ. කොහොමත් මුලින්ම කිව්වෙත් මේ චරිතය වෙන්නව ඕනෑ කියලා. ඊට පස්සේ මම කල්පනා කළා මේකෙදි ලැම්බට් වෙනස් වෙන්න ඕනෑ කියලා. කෑගහලා” කෝපවෙලා දඟලන චරිතයක් වෙන්නේ නැතුව අවංක චරිතයක් වෙන්න ඕනෑ නිසා ඒ ගැන හිතලා තමයි චරිතය හදා ගත්තෙ.
● “චූටියට”” “පිංකියට” දෙන වද හින්දා මගතොටදී මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ නැද්ද?
ඇයි අහිංසකයො දෙන්නෙක් හිරකරගෙන ඉන්නේ?
ඔයගොල්ලොන්ගේ ප්‍රශ්නවලට එයාල පළිද? කියලා ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි අහන්නේ. ඒ අස්සෙ බැණුම් අහනවා. මිනිස්සු ඉතින් නාට්‍ය ආසාවෙන් බලන නිසා තදින්ම ඒක විශ්වාස කරනවා. ඒ ප්‍රතිචාරවලින් පේන්නේ ප්‍රේක්ෂකයෝ ගොඩාක් හොඳින් නාට්‍යය එක්ක බැඳිලා ඉන්නවා කියලා.
● ඔබ වැඩිපුරම වේදිකාවට කැමති කියලා තමයි අපිට ආරංචිය?
වේදිකාවට ආසයි ඉතින්. වේදිකාවේ රඟපාන්න විශේෂ ආශාවක් තියෙනවා මොකද ප්‍රේක්ෂකයෝ ළඟම ඉන්න නිසා සහ ඔවුන්ගෙන් සජීවී ප්‍රතිචාර ලැබෙන නිසා. ඒ නිසා මම ගොඩක් කැමැති වේදිකා නාට්‍යවලට. ටෙලි නාට්‍යවලටත් ඒ වගේම කැමැතියි.
● මේ දවස්වල වේදිකාවේ තියෙන රංගන කටයුතු මොනවද?
චමිල ප්‍රියංකරගේ අධ්‍යක්ෂණයෙන් කෞෂල්‍යා ප්‍රනාන්දුගේ පරිවර්තනයෙන් නිර්මාණය වන jungle වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. පසුගිය 4 සහ 5 මරදාන ටවර් රඟහලේ දී එය වේදිකාගත වුණා.
● වේදිකා නාට්‍යවල ඉඳලා ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබීම ගැන මොකද හිතෙන්නේ?
පාසල් අධ්‍යාපනයෙන් පසුව ටවර්හෝල් නාට්‍ය පාසලේ වේදිකා නාට්‍ය පිළිබඳ හදාරලා ඊට පසුව IMPAS කියන ආයතනයට ගියා ස්ක්‍රීන් ඇක්ටින් ගැන ඉගෙනගන්න. ඒ හරහා තමයි සද්ධාමංගල සර් ප්‍රසන්න මහගම සර්ලා හරහා ටෙලිනාට්‍ය කලාවට එන්න ඇරයුම් ලැබුණේ හාර කෝටිය නාට්‍යයට. එකේ පොඩි චරිතයක් තිබුණේ. ඒ දක්ෂතා දැකලා මාව දිගු ගමනක් අරගෙන ගියා සර්ලා. මේ සල්ලි පොකුරු නාට්‍යයටත් ආරාධනා ලැබුණා. චේතනී විජේතුංග මිසුත් උත්සාහ කරලා තිබුණා මාව මේ නාට්‍යයට ගන්න. මේ ලැබුණු ආරාධනාව ගැන ගොඩක් සතුටුයි.
● පොඩි කාලේ ඉඳලා තිබුණ හීනයක් නිසාද රංගනයට අවතීර්ණ වෙන්න හිතුණේ?
පොඩි කාලේ ඉඳලම නළුවෙක් වෙන්න ආසාවක් තිබුණා. පාසල් කාලයේදී සමිතිවල නරි බෑනා නාට්‍යය ට තනියමත් රඟපාලා තියෙනවා. ඊට පස්සේ A/Lවලදී මට ගුරුතුමියක් හම්බවුණා. ඒ තමයි මගේ පළවෙනි නාට්‍ය ගුරුතුමිය. එතුමිය මට නාට්‍ය විෂය උගන්වලා ටවර්හෝල් නාට්‍ය පදනමට යොමු කළා. ඊට පස්සෙ මම නාවල විවෘත විශ්වවිiාලයේ රංගනය හැදෑරුවා. එතනදි රඟපෑමට තිබුණ ආසාව තවත් වැඩි වෙලා මේ ගමන දිගටම කරගෙන යන්න පෙළඹුණා.
● මේ ගමන යන්න සෑහෙන මහන්සියක් වුණා නේද?
ඔව්. ඉතින් ඇත්තටම ටිකක් දුක් වින්දා. මටත් ඕනෑ වුණේ එකපාරම එන්නේ නැතුව මේ ගැන ඉගෙනගෙන ක්‍රමවත්ව රංගන ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නයි. IMPAS එකට ගියපු දවස්වලමත් මට රඟපාන්න සද්ධා සර්ගෙන් ආරාධනාවක් ලැබුණා හාර කෝටියේ පොලිස් චරිතයකට. මම ඒක භාර ගත්තෙත් නැහැ” ඉගෙනගෙන අවසන් වෙලාම දායක වෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ සද්ධා සර් මාව ශිවා සර් ගාවට එක්කගෙන ගිහිල්ලා කුලේ කියන චරිතය ලබාදුන්නා.
● දුලාංජ මේ දවස්වල හරි ජනප්‍රියයි ?
ඇත්තටම අවංක සතුටක් තියෙනවා. තවත් මම බලාපොරොත්තු වෙනවා. මොකද රංගනය ඉගෙනගෙන ඉවරයක් වෙන්නෙ නැහැනෙ. අපිට කොච්චර කළත් තෘප්තිමත් වෙන්න බැහැනේ” අද රංගනය හෙට වෙද්දි වෙනස් වෙනවා. ඒ නිසා මම උත්සාහ කරන්නෙ තව හොඳ” දක්ෂ නළුවෙක් වෙන්න. ඒ නිසා තමයි මම තවත් දිගටම ඉගෙන ගන්නේ සහ වේදිකා නාට්‍යත් කරගෙන යන්නේ.
● ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්. ගුරු වෘත්තියෙන් ඈත් වෙලාද ඉන්නේ?
පාසලෙන් නම් ඈත්වෙලා නැහැ. ගුරු වෘත්තිය කරනවා. අපේ පාසලේ ආඬිගම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා මේ වැඩ දෙකම සමබරව කරගෙන යන්න. ඔහුත් කලාවට හරිම ආසයි. ඒ කලාවට ලැදි පුද්ගලයෙක් නිසා සහ මම රඟපාන නාට්‍යවලටත් කැමැත්තක් දක්වන නිසා ඔහු කියල තියෙන්නෙ” මේ රස්සාව නැති කර ගන්නේ නැතුව දෙකම සමබරව පවත්වාගෙන යන්න” අපිට පුළුවන් විදිහට සහයෝගය ලබා දෙන්නම් කියලා.
● ඔබේ පදිංචිය?
මගේ ගම පන්නල. විවාහයෙන් පස්සේ මම පදිංචි වෙලා ඉන්නේ කුරුණෑගල. උගන්වන පාසල තියෙන්නෙ පුත්තලම ආඬිගම.
● ඔබේ පදිංචිය කුරුණෑගල” රැකියාව ආඬිගම සහ රඟපාන්න තියෙන්නෙ කොළඹ. ලේසි පහසු කාර්යයක් නෙවෙයි. කොහොමද මේවා කරගෙන යන්නේ ?
අනිවාර්යයෙන්ම. ඇත්තටම ඒ ගැන හිතනකොටත් පිස්සු වගේ. උදේට ඉස්කෝලේ යනවා. ආයෙ පහුවදාට ෂූටින් යනවා. ආයේ රෑට ගෙදර යනවා. ඔහොම ඉතින් ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නෙ බස් එකේ. විවාහ වුණාට පස්සේ බිරිඳ එක්කවත් නිදහසේ ජීවත් වෙන්න විදිහක් නැති තරමට කාර්යබහුලයි. කොහොමහරි ජීවිතේ හැම දෙයක්ම සමබරව පවත්වාගෙන යනවා. මට ඒ දේට ගෙදරිනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.
පාරමී කෞෂිකා