ජීවිත පිරිපත ඇසුරින් නිර්මිත ‘ගෙත්තම් පාණ’

421

ජීවිතයේ තමන් මුහුණ දෙන කරදර, කම්කටොළු, දුක්ඛ දෝමනස්සයන් මෙන් ම, අන් අයගේ ජීවිත පිරිපත ද කවියෙකු ගේ නිර්මාණ කාර්යයන්ට එල්ල කරන්නේ දැඩි බලපෑමකි. ඒ අනුව, ලේඛකයෙකු ගේ, කවියෙකුගේ පෞද්ගලික ජීවිතය ඔහු ගේ ලිවීම හා අවියෝජනීය ලෙස බැඳී ඇති බවත්, කතුවරයා හෝ කවියා ගැන අප වැඩි වැඩියෙන් දන්නා තරමට ඔහුගේ නිර්මාණයන් හි කේන්ද්‍රීය පණිවුඩ වඩා හොඳින් අවබෝධ කරගත හැකි බවත් විචාරකයන්ගේ අදහස යි. මේ සඳහා බොහෝ උදාහරණ එවන් දෙස් විදෙස් කීර්තිමත් ලේඛකයන්ගේ ජීවන තොරතුරු පිරික්සීමේදී නිරන්තරයෙන් අපට මුණගැසේ.

එසේ දහසකුත් එකක් කුදු මහත් දුක් කම්කටොළුවලට මුහුණ දී සිය ජීවිතය පරිපාකයට පත්කර ගෙන සිටින ප‍්‍රවීණ කිවිවර ආචාර්ය රත්න ශ‍්‍රී විජේසිංහයන් ගේ නවතම කාව්‍ය ව්‍යායාමය ‘ගෙත්තම් පාණ‘ නමින් සන්ථව ප‍්‍රකාශනයක් ලෙසින් පසුගියදා එළිදුටුවේ ය.

එදා මෙදා තුර ඔහු මුහුණ දුන් අප පෙර සඳහන් කළ ස්වීය සහ අන්‍ය ජීවන අත්දැකීම් රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ මෙම දසවන කාව්‍ය සංග‍්‍රහය පුරා ම ඉතාමත් සංවේදී ලෙස ගෙත්තම් කර ඇති අයුරු අතිශය චමත්කාරජනක ය.
ජීවිතය ආරම්භයේදීම කවියා මුහුණ දෙන දරුණු ඛේදවාචකයක් පොතේ පිදුමෙන් ම ඔහු අපට සමීප කරයි. ‘පූජාව’ නමින් වන එම පිදුම මෙසේ ය.

ජීවිත පිරිපත ඇසුරින් නිර්මිත 'ගෙත්තම්  පාණ'

පුංචි අම්මෙක් සිටියා ය මට
පුංචි එකියක් වගේ ලස්සන

මෙකව් පද කියවා බලන්නට
දනිමි සිහි මඳ ඇයට බැරි වග
දැන දැන ම ඇය නොකියවන වග
ඇයට පූජා කරමි මේ පොත

මගේ අම්මාවරුන් අතරින්
ඉතිරි වී ඇති එක ම ගැහැනිය

කුඩා කල දීම මවගෙන් වියෝ වන අප කවියාගේ දෙවැනි මව බවට පත්ව ඔහු රැුක බලාගන්නා ඒ පුංචි අම්මා ගැන ම ‘පුංචි’ නමින් වන තවත් කවියකින් ඇය පිළිබඳ පුළුල් චිත‍්‍රයක් අප සිත්හි අඳින්නට කවියා ගෙන ඇති උත්සාහය යි මේ.

කන්ද බැස දෙණි නිම්න පසුකර
වළ ගොඩැලි පිරි පාර දිගට ම
අතින් අල්ලාගෙන නොවැටෙන්න
උදේ මා පාසල් එක්ක ගිය
පුංචි අම්මෙක් සිටියා ය මට
පුංචි වූවත් අම්ම වාගෙ ම

අම්මා නැති ඔහුට අම්මා වූ පුංචි අම්මා ගැන එසේ කියන කවියා ඇගේ දීගය අත්හැරුණු බව ව්‍යංගාර්ථවත්ව කියන්නට අපට හුරුපුරුදු ප‍්‍රස්ථාව පිරුළක් කවියට කැටුව එන්නේ මෙසේ ය.

විවා වී ඇද හෙවණැල්ලකට
වදා දරුවන් දෙතුන් දෙනෙකුට
පිටුවහල් වී කුලගෙයින් පිට
සිහි මඳ ව මෙන් ගමේ ඇවිදින
පුංචි අම්මෙක් සිටියා ය මට

කුඩා කල සිට තමා හදා වඩාගත් පුංචි අම්මාගේ ජීවිත ඉරණම විසඳී ඇත්තේ එසේ වූ කල්හි, කවියා මුහුණ දී තිබෙන්නේ මොනතරම් ඛේදවාචකයකට ද? ඇය වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට නොහැකිවීම කවියාට ඊටත් වඩා දරුණු පශ්චාත්තාපයක් ව ඇත්තේ මෙසේ ය.

වැදී බැට කැට මුගුරු අපමණ
විසන්ධිව ගොස් සන්ධි අතපය
තවත් යන්නට බෑ කියූ ඇය
මට වඩාගෙන යන්න බැරි විය

ජීවිත පිරිපත ඇසුරින් නිර්මිත 'ගෙත්තම්  පාණ'

තමන් වෙනුවෙන් එවන් සුවිසල් මෙහෙයක් කළ ඇය එතරම් පුංචි වූයේ කෙසේ දැයි කවිය අවසන ඔහු අපෙන් ප‍්‍රශ්න කරන්නේ අපට බොහෝ දේ සිතන්නට ඉඩ සලසමිනි.
චක‍්‍රවාටය
මහා පෘථිවිය
මහා මේරුව
මහා දිවයින්
මේ විසල් විශ්වයෙ කෙසේ නම්
ඇය ම පමණක්
පුංචි වූයෙ ද?

කවියාට සිය ජීවිතයේ ලද අහිමිවීම් සියල්ල ම ප‍්‍රතිබිම්බිත වන කවක් ‘උදුරා ගැනීම’ යනුවෙන් ‘ගෙත්තම් පාණ’ තුළ අපට හමුවෙයි.

සියල්ල ම ඔබගේ කැමැත්ත ය
සිතා සිටි කාලයක
කිරි බොන්නවත් නොදී
උදුරා ගත්තා මගෙන් අම්මා

කීවා ද මා කිසිත්
හිස නමා බලා උන්නා මිස
හැඬුම් මුහුණින්

අමාරු ම කාලයක
ළමා වියත් එක්ක ම
උදුරා ගන්නා විට දි තාත්තා
කීවා ද මා කිසිත්
බලා උන්නා මිසක
ගල්ගැහී

තනියෙන් ම ගොඩනැගූ ජීවිතේ
දිනාගත් එක ම එක ආදරේ
පල දරන කාලයේ
උදුරා ගත්තා මගෙන් එකවර ම
මට උරුම හැම – සියලූ සේසත ම
සියල්ල ම දුන් ඔබ ම

තම අහිමිවීම් ගැන එසේ පවසන කවියා යුද ගැටුම් හා වසංගතයන් විසින් සිදුකරමින් සිටින උදුරා ගැනීම්වලට කවිය සමපාත කරන්නේ ඉතා අපූරු ආකාරයට ය.
මරණයට ඕනෑ කරන
මිසයිල ද න්‍යෂ්ටික අවි ද
ගිනිඅවි ද සියල්ල ම
අඩු නැතිව
කිසි ම අගහිඟකමක්
නැති ඔබ ම
ජීවිතය පිණිස ඇති
මුවවැසුම් අත්වැසුම්
ගිලන්හල් බෙහෙත් හා එන්නත්
නැතැයි මැසිවිලි නගන්නේ කිම ද

බිළිඳු වියෙ හි ම තමා හැර ගිය මව ගැන ‘අම්මාගේ කටහඬ’ නම් කවියේ තැනක දෙතැනක ද ඔහු සඳහන් කරන්නේ මෙසේ ය.

කෙබඳු වී දැයි ඇගේ කටහඬ
හිතාගන්නට බැහැ තව ම ඔහුට

ඈ ගයන්නට ඇතැයි හිතෙනා
නැලවිලි ගී එකින් එක
සෙමෙන් මුමුණා බලයි ඔහු

ඒ එකකවත් නැත
ඔහු සොයන සිහින කටහඬ

එක් අවුරුදු දරුවෙකුට
කිරි පොව පොවා සිටිය දී
මෙලොව හැර යන්නට ගිය
අම්මා කෙනෙකි ඇය

කවියාට ජීවිතයේ අහිමිවන දරුණුතම අහිමිවීම සිහිපත් කරන කවිය මෙම කවි සරණිය තුළ අපට හමුවන්නේ ‘සමුනොගත් සෙවණැල්ල’ යන නමිනි. පිය බිරිඳ ගේ වියොවෙන් නිබඳ ඔහු තවමත් පෙළන පාළුව, තනිකම ඔහු කවියට නගන්නේ මෙසේ ය.

නිදන මුහුණේ වැදී සිනිඳු සුදු ? ගවුම
ඇහැ ඇරී බලමි සිහිනය කිමිද ඔබ කොහි ද
යුගල ඇඳ වටා කඳවුරු බැඳන් කළු අඳුර
කුමට හිරිහැර කරනු මෙලෙස
තනි මිනිහකුට

ලන්දේසි කොටු පවුර තුළ
අපේ පරණ ගෙය
රැුළි ගවුම් ඇඳ සිටිය මගෙ ළමා පෙම්වතිය
කොට බිත්තියෙන් එබී මා එතැයි මග බලන
එළිය සමුගෙන ගිය ද සමුනොගත් සෙවණැල්ල

ජීවිතයේ විවිධාකාර පිරිපතවලට මුහුණදෙන කවියාට අදටත් අස්වැසිලක්ව ඇත්තේ එදා මෙන් ම අද ද, ඔහුට නොඅඩුව ආදරය දෙන ඇගේ දියණිය යි. ඒ ගැන ඔහු ලියන ‘බෝනික්කී’ කවට ඔහු පිවිසෙන්නේ මහගෙයි නටඹුන් අතර තිබී හමුවන දියණිය කුඩා කල සෙල්ලම් කර අතහැර දැමූ බෝනික්කියක සංකේතය ලෙස ගනිමිනි.

සිනාසෙන්නී තව ම පුංචි බෝනික්කි මුහුණ
එදා මෙන් නොනැවත ම කාගෙ කවුදැයි නොදැන
හුදකලා වනගැබෙහි පාළු මිදුලෙහි වැතිර
ඈ සිනාසෙන්න ඇති ගෙවී ගිය හැම දවස


ඒ සිනා මුව පමණි මා සතු වුණේ එදින
ඒ සිනා මුව පමණි තනිය මැකුවේ මෙබිම
ඒ සිනාවෙන් එදා පිරිනැමුව ආදරය
තාම වියැකී නොයා පවතී ය ඒ ලෙස ම

ආචාර්ය රත්න ශ‍්‍රී විජේසිංහයන් මෙසේ ස්වීය ජීවිත දුක්කම්ටොළු සිය නව කවි සරණියට වස්තු කරගන්නා අතර ම අන්‍ය ජීවිතවල දුක්ඛ දෝමනස්සයන් ද, තමන්ගේ ම කරගෙන ඒවා පොදු අත්දැකීම් බවට පත්කර අප වෙත ගෙන එයි.
මෙහි එන ‘කුරා කුහුඹු අම්මා’, ‘කතා නැති දුරකථන’, ‘මිනී මලක සාක්ෂිය’, ‘දුරස්ථ මරණය’, ‘ගෙත්තම් පාණ’ ඊට නිදසුනි.
පොතේ නමින් ඇති ‘ගෙත්තම් පාණ’ නම් මෙහි එන දිගු ම කවියේ ප‍්‍රස්තුතය හෙළිදරව් කරන එහි අධෝ ලිපිය ද කවිය තරම් ම සංවේදී ය. එම දිගු කවෙන් උපුටාගත් මේ කුඩා කොටස මුළු සිදුවීම පෙළ ම හකුළා පෙන්වන කැඩපතක් බඳු ය.
සොල්දරේ උඩට නගින
දිරාගිය හිණි පෙතේ පාමුල
මකුළු ධේනුව මැරී සිටියා
ඈ වියාගත් සේද සළු මැද

කුසේ තිබුණා සේද බිජුවට
අනාගතයේ හීන දැක දැක
ළමා ඇඳුමක් ගොතන්නට ගත්
නූල් පටවල ධූලි අපමණ

රත්න ශ‍්‍රී විජේසිංහයන් සිය කාව්‍යානුභූතීන් ජීවිත කම්කටොළුවලට පමණක් සීමා නොකරයි. කවියෙක ගේ ප‍්‍රමුඛ වගකීම ලෙස සැලකෙන සමාජානුභූතීන් ප‍්‍රතිනිර්මාණය කිරීමට ද ‘ගෙත්තම් පාණ’ තුළින් ඔහු සංවේදී වෙයි. මෙහි එන ‘මැජික්’, ‘සිංහයා-මම ඉන්නවා’, ‘වැද්දෙකුට පුළුවනි’, ‘මුරපොළට ආ දැරිය’, ‘කලියුගයේ සාධු චර්යාව’ වැනි කවි ඊට උදාහරණ යි.
‘අවමඟුල් තොරණ’, ‘විනයගරුක සොරදෙටුවා’, ‘ප‍්‍රාතිහාර්යය’ ඉන් කිහිපයකි. ඒ අතරින් ‘අවමඟුල් තොරණ’ නම් කව උත්ප‍්‍රාසවත් කරන්නේ තවමත් කඳුළු බිඳුවක්ව පවතින අපේ රට ය. කවිය පුරා ම කවියා නගන රූපක අපට පවසන්නේ එම යථාර්තය යි.
සොහොන ළඟ තොරණ
හරි ලස්සනට ඇන්දාට
එන අයට තමයි ඒ
නොවෙයි මළ උන්දෑට

සුදු තමයි ගැළපෙනා
පාට දුක්මුසු දේට
ඒත් හැම තැන ම වගෙ
තියෙන්නේ කළුපාට

පෙති හැලෙන මලක්
ඇන්දොතින් පරවෙන ?ට
හොඳ වුණත් මල් මැරෙන බව
මතක දෝ කාට

කඳුළු බිඳුවක් අඳිමු
පෙනෙන්නට සංකාව
අමාරු ම නම් ඒක
අඳිමු අපි ලංකාව

‘විනයගරුක සොරදෙටුවා’ කව නගන උත්ප‍්‍රාසය ද මීට නොදෙවැනි ය.

සොරා ගෙට ඇතුළු විය
දොර අගුළු බිඳ දමා
ජනෙල් වීදුරුව කුඩුකර
සේප්පුව
කන්තෝරු කාමරේ
මුල්ලක වැඩ සිටියේ ය
එරමිණියා ගොතාගෙන

‘නොබිඳින්න සේප්පුව
අංක 1,2,3,
පිළිවෙලින් කරකවා
සේප්පුව ඇරගත හැකි ය’

එහි වී ය දැන්වීම
යතුරින් ලියූ අකුරින් ම

අංක ඔබා අවසන
සීනුව නාද විය

පොලීසිය ආවේ ය
‘දෙවියන්ට නෑ
කිසි ම මනුස්සකමක්’

සොරු සෙමින් මිමිණී ය

ආචාර්ය රත්න ශ‍්‍රී විජේසිංහයන් ගේ ‘ගෙත්තම් පාණ’ නව කවි සරණියේ රුවගුණ ඔහු විසින් මීට ඉහත පළකර ඇති කාව්‍ය සංග‍්‍රහ නමයේ රුවගුණ හා සසඳා බලන්නට මෙහි දී අපි උත්සාහ නොකරමු. මන්ද? එසේ කරන්නේ නම් එය ඉතා දීර්ඝ ව්‍යායාමයක් වන හෙයිනි.

එහෙයින්, ගම්දනව් හි සැරිසරමින්, සාහිත්‍ය දෙසුම් පවත්වමින්, සියගණන් කවිපොත්වලට පෙරවදන් සපයමින්, දුහුනනට අතහිත දෙමින් අවිවේකී දිවිපෙවෙතක් ගත කරන ඔහු ගේ ජීවිතය නිරතුරු පෙළන දුක් කම්කටොළු, ලෙඩදුක් හමුවේ උකටලී නොවී සිංහල කවියේ හෙට දවස වෙනුවෙන් ඔහු ගන්නා ලද මේ නවතම කාව්‍ය ප‍්‍රයත්නය ප‍්‍රශස්ථය.

අනුර බී. සෙනෙවිරත්න

ජීවිත පිරිපත ඇසුරින් නිර්මිත 'ගෙත්තම්  පාණ'
advertistmentadvertistment
advertistmentadvertistment