ඉකුත් වර්ෂයේ (2023) මිලියන 2,482.12ක බාල බෙහෙත් විසිකරලා

හදිසි මිලදී ගැනීම් යටතේ සාමාන්‍ය මිලට වඩා සියයට තුන්සියයක හාරසියයක මිල ගණන්වලට ඖෂධ මිලදි අරගෙන

තත්ත්වයෙන් බාල ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය හා එන්නත්වලින් සෞඛ්‍ය අමාත්‍යාංශය කප්ගසා ඇත්තේය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2022/2023 යන වර්ෂයන්හි දී වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් සිදුකළ හදිසි මිලදී ගැනීම් ක්‍රියාවලිය තුළ දී වංචා හා දූෂණ රැසක් සිදුවී ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි. ඖෂධ ජාවාරම්කරුවන් අහිංසක රෝගීන්ගේ ජීවිත ගැන තුට්ටුවකටවත් මායිම්කොට නොතිබුණි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රතිපාදන සෞඛ්‍ය අංශය වෙත ලැබී තිබුණි. මුදල් අමාත්‍යාංශය විසින් මෙම හදිසි මිලදී ගැනීම සඳහා අනුගමනය කිරීමට ලිහිල් කොන්දේසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුකොට තිබුණි.

මෙකී යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර රජයේ රෝහල් සඳහා බෙදාහැර තිබූ ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ඉමියුනොග්ලොබින් සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සි මැප් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකට ළං කිරීමටත් සුදුසු නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීිම සඳහා පත්කළ විශේෂඥ කමිටුව වාර්තා කොට තිබුණි.

එමෙන් ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමටත් පෙර ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ බව සඳහන් කරමින් ඖෂධ ආනයනය කොට තිබුණි. මිලදී ගත් ඖෂධ අයිතම් 285 තුළ අත්‍යවශ්‍ය නොවන ඖෂධ අයිතම් ද ඇතුළත් කර තිබුණි. ඒ විතරක් නොව, ඇතැම් පිළිකා විශේෂිත ඖෂධ ඇගයීම් සඳහා තාක්ෂණික දැනුම ඇති ප්‍රවීණයකු පත්කර නොතිබුණි. ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ කිසිදු සලකා බැලීමක් සිදුකොට නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ලංසු ඉදිරිපත් කළ බොහොමයක් සැපයුම්කරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වලංගු ලියාපදිංචි සහතික නොතිබුණි. ඖෂධ ප්‍රසම්පාදනයේ දී ගුණාත්මක ඖෂධයක් ද යන්න සහතික කරනු ලබන ඖෂධ අධිකාරියේ ලියාපදිංචි සහතිකයේ අනිවාර්ය අවශ්‍යතාවය නොසලකා හැර තිබුණි. ඒ විතරක් නොව, තාක්ෂණික ඇගයීම් කමිටු පත් නොකිරීමට, තාක්ෂණික ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා නොගැනීමටත් කටයුතු කර තිබුණි. මෙවන් පසුබිමක් තුළ ඇගයීම් කමිටුව විසින් ඖෂධවල ගුණාත්මකභාවයට අදාළ ලේඛන පරීක්ෂා නොකිරීම යන කරුණු හේතුවෙන් මිලදී ගන්නා ඖෂධ සම්බන්ධයෙන් දැඩි අවදානමක් පැවැති බව විගණනය මඟින් අනාවරණය කොට තිබුණි.සෞඛ්‍ය බලධාරීන් විසින් රෝගීන්ගේ ජීවිත ගැන තුට්ටුවකටවත් මායිම් නොකොට මුදල් කුට්ටි මත සියල්ල තීන්දුකොට තිබුණි. මෙම තත්ත්වය නිසා උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ රෝගීන්ට ලබාදීමට නොහැකිව තිබූ අතර ඒ නිසා සිය ජීවිතවලින් වන්දි
ගෙවීමට රෝගීන්ට සිදුවී තිබුණි.

ඖෂධ අවශ්‍යතාවය, ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම හා නියාමනය පිළිබඳ ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවට අනුව ඉකුත් වර්ෂය තුළ (2023) රුපියල් මිලියන 2,482.12ක් වටිනා ඖෂධ ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කොට තිබුණි.

එමෙන්ම ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 10.72ක් වටිනා වෛද්‍ය සැපයීම් තත්ත්වයෙන් අසමත්වීම හේතුවෙන් තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අතර අක්ෂි රෝග, පිළිකා රෝග, නිර්වින්දනය හා ප්‍රතිශක්තිකරණය සඳහා භාවිත කරනු ලබන ඖෂධ ඇතුළුව වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත් වීම නිසා භාවිතයෙන් ඉවත්කොට තිබුණි. මෙකී ඖෂධ භාවිතයෙන් පසු රෝගීන්ට අහිතකර ප්‍රතික්‍රියා ඇතිවීම, රෝගීන් මරණයට පත්වීම, ඇස් අන්ධභාවයට පත්වීම ආදී ගැටලු මතුවී තිබූ බවද විගණනය මඟින් අනාවරණය කොට ඇත. මේ නිසා ගුණාත්මයෙන් යුතු ඖෂධ රෝගීන් වෙත ලබාදීමට නොහැකිවී තිබුණි.

රුපියල් හාරකෝටි හත්ලක්ෂ තිස්අටදහස් අටසිය දහනවයක මුදලක් (40,738,819) වැයකොට හදිසි මිල දී ගැනීම් යටතේ ශල්‍යකර්මවලදී නිර්වින්දනය සඳහා භාවිත කරනු ලබන :(Bupivacaine 0.5] + Glucose 8% inj.4 ml Amp.) ඖෂධයේ එන්නත් 68,750ක් වෛද්‍ය සැපයුම් අංශය මඟින් මිලදී ගෙන තිබුණි. මෙකී ඖෂධය භාවිත කිරීම නිසා රෝගීන්ට ඇතිවූ බරපතළ අහිතකර ප්‍රතික්‍රියා සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ භාවිත කිරීම අත්හිටුවා තිබුණි. ඒ වනවිට මෙකී එන්නත් තොගයෙන් එන්නත් 34705ක් හෙවත් මුළු තොගයෙන් සියයට 50ක් රෝගීන් වෙත නිකුත්කොට තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. ඛණ්ඩ තුනකින් සමන්විත මෙකී ඖෂධ එන්නත් වෛද්‍ය සැපයීම් අංශයට ලද දිනයේ සිට ජාතික, මූලික, ශික්ෂණ, යන රෝහල් සහ වෙනත් සෞඛ්‍ය ආයතන වෙත නිකුත්කර තිබුණි. මෙකී ඖෂධය භාවිත කළ පසු එක් ගැබිනි කාන්තාවක් මියගොස් තිබුණි. තවත් කාන්තාවකට ජීවිත තර්ජන ඇති වී තිබුණි. මෙකී ඖෂධ එන්නත් ඇණවුම ප්‍රදානය කොට ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවකු නොවන සමාගමකට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකයක් ලබාගැනීමට යටත්ව බව ද’ විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම අක්ෂි රෝගීන් සඳහා සිදුකරන කැටරැක්ට් ශල්‍යකර්මයෙන් පසු භාවිත කරනු ලබන ඖෂධය භාවිත කිරීමෙන් පසු රෝගීන්ට සිදුවූ බරපතළ අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් එම ඖෂධය භාවිතයෙන් ඉවත්කර තිබුණි. ඒ වනවිට ලැබී ඇති මුළු ඖෂධ ඒකක 21,510ක් හෙවත් ලැබී ඇති මුළු ඖෂධ තොගයෙන් සියයට 43ක් රෝගීන් සඳහා භාවිත කොට තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙකී ඖෂධය භාවිත කිරීම හේතුවෙන් අක්ෂි රෝහලේ රෝගීන් දෙදෙනකු පූර්ණ අන්ධභාවයට පත්ව තිබූ අතර නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ රෝගීන් 16 දෙනකු ආසාත්මිකතාවයට පත්වී තිබූ බව ද විගණනය මඟින් අනාවරණය කොට ඇත.

හදිසි මිලදී ගැනීම යටතේ මිලදී ගෙන තිබූ හියුමන් ඉමියුනොග්ලොබින් ( Human Immunoglobulin) නමැති ඖෂධය ව්‍යාජ ඖෂධයකි. මෙකී ඖෂධය ස්නායු රෝගීන්ට ලබාදෙන ඖෂධයකි. මින් එක් එන්නතක් ඇමෙරිකානු ඩොලර් 130ක් බැගින් එන්නත් 22,500ක් ඇමෙරිකානු ඩොලර් 2,925,000ක වටිනාකමට සැපයීම සඳහා හිටපු සෞඛ්‍ය ලේකම් විසින් පුද්ගලික සමාගමකට ප්‍රසම්පාදනය ලබාදී තිබුණි. සැපයුම්කරු විසින් 2023 වර්ෂයේ මැයි මස සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දී එන්නත් කුප්පි 22500න් රුපියල් මිලියන 168.86ක් වටිනා එන්නත් කුප්පි 3985ක් වෛද්‍ය සැපයුම් අංශය වෙත සපයා තිබුණි. වෛද්‍ය සැපයුම් අංශය විසින් සැපයුම්කරුට රුපියල් මිලියන 36.38ක මුදලක් ගෙවා තිබුණි. ඒ වනවිට වෛද්‍ය සැපයුම් අංශය සඳහා ලැබී තිබූ සියලුම එන්නත් කුප්පි 2023 වර්ෂයේ මැයි මස 30 වැනි දින සිට ජාතික, ශික්ෂණ, පළාත් හා ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශ වෙත නිකුත්කොට තිබුණි. කෙසේ වුවද මෙකී ඖෂධය රෝගීන් විසින් භාවිත කිරීමෙන් පසු කොළඹ, මහනුවර, ජාතික රෝහල්වල හා මාතර හා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල්වලින් මෙකී ඖෂධය ලබාගත් රෝගීන්ට බරපතළ අහිතකර ප්‍රතික්‍රියා ඇතිව තිබුණි. මේ පිළිබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියට ද වාර්තා වී තිබුණි. මෙකී ඖෂධය වෙනුවෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචි සහතිකයක් හෝ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතිකයක් නිකුත්කර නොමැති බවට අනාවරණය විය. ආරක්ෂිත ක්‍රම වේදයක් වශයෙන් මෙකී සැපයුම්කරු විසින් සපයනු ලැබූ මුළු ඖෂධ තොගයම භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය මඟින් කටයුතු කර තිබුණි.

මෙකී ඖෂධ ගනුදෙනුව මත බරපතළ වංචා මෙන්ම අපරාධමය කාරණා ද සිදුවී තිබේ. සැපයුම්කරු විසින් ලංසු ලියවිලිවල මිල ලේඛනය තුළ මෙකී ඖෂධය ඉන්දියානු ඖෂධයක් බවත් නිෂ්පාදක ඉන්දියවේ බවත් සඳහන් කොට තිබුණි. කෙසේ වුවද මේ පිළිබඳ ඇගයීම් කමිටුවේ අවධානය යොමුවී නොතිබුණි. මෙය ව්‍යාජ ඖෂධයක් බවත් එම ඖෂධ ඇසුරුමේ සඳහන් සමාගම විසින් මෙකී ඖෂධය නිෂ්පාදනය හෝ සැපයීම නොකළ බවට ඖෂධ නියාමන අධිකාරිය විසින් අනාවරණය කරගෙත තිබුණි. ඒ අනුව අදාළ සැපයුම්කාර සමාගම විසින් මෙකී ඖෂධයේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන බවට ව්‍යාජ ලෙස දක්වා තිබුණි. සැපයුම්කාර සමාගම විසින් වංචා සහගත ලෙස ඖෂධයේ නිෂ්පාදකයා ලෙස ඉන්දියානු සමාගමක නම සඳහන් කොට මෙකී ඖෂධය ආනයනය කරන බවට හුවා දැක්වීමට උත්සාහ කරනු ලැබීය. මෙවැනි ඖෂධයක් සැපයුම්කාර සමාගම විසින් ආනයනය කොට නොමැති බවට රේගුව විසින් තහවුරු කොට තිබුණි.

මෙම ව්‍යාජ ඖෂධය වෛද්‍ය සැපයුම් අංශයට ලබා දෙනවිටත් පුද්ගලයන් දෙදෙනකු සැපයුම්කාර සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරමින් සිටියහ.

ඒ වනවිට රෝහල් වෙත නිකුත්කොට තිබූ මෙකී ව්‍යාජ ඖෂධ කුප්පි තොගයෙන් කුප්පි 1732ක් හෙවත් සියයට 57ක් රෝගීන් වෙත නිකුත්කොට ඇති බව විගණනය මඟින් අනාවරණය කොට තිබුණි. රෝහල් 28කින් ලද තොරතුරුවලට අනුව ඒ වනවිට මෙකී ඖෂධය රෝගීන් 87 දෙනකු වෙත ලබාදී තිබූ අතර රෝගීන් 09 දෙනකුට බරපතළ අහිතකර ප්‍රතික්‍රියා ඇතිවී තිබුණි. මෙකී ඖෂධය රුධිර ප්ලාස්මා භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබන ඖෂධයකි. මෙකී ඖෂධය සම්මත තත්ත්තව පාලනයක් යටතේ නිෂ්පාදනය නොවුණහොත් එච්.අයි.වී. හෙපටයිටිස් බී හා සී ආදී අසාදිත තත්ත්වයන්ට රෝගීන්ට මුහුණ දීමට සිදුවන බවට විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශකොට තිබුණි.

අනික් ව්‍යාජ ඖෂධය වන්නේ පිළිකා රෝගීන්ට ලබාදෙන රිටොක්සි මැප් නමැති (Rituximab inj’500mg) ඖෂධය යි. මෙකී ඖෂධය ප්‍රමිතියෙන් තොර එකක් වන අතර මනුෂ්‍ය ශරීරයකට ළං කිරීමටත් සුදුසු නැති ඖෂධයක් බවට හඳුනාගෙන තිබුණි. මෙකී ඖෂධය ද සපයා තිබුණේ අප මීට පෙර සඳහන් කළ සැපයුම්කාර සමාගම විසිනි. මෙකී එක් එන්නතක් හදිසි මිලදී ගැනීම යටතේ එකී සමාගමෙන් මිලදී ගෙන තිබුණේ ඇමෙරිකානු ඩොලර් 152ක් වැනි ඉහළ මිලක් යටතේය. මෙකී ඖෂධය සාමාන්‍ය මිලට වඩා සියයට 254ක ඉහළ මිලකට මිලදී ගෙන තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. මෙකී ඖෂධය හදිසි මිලදී ගැනීම යටතේ මිලදී ගැනීමට අවශ්‍යතාවයක් නොතිබුණි. එහෙත් කොමිස් කුට්ටිවලට වහ වැටී ඇති ඇතැම් නිලධාරීන් රෝගී ජීවිත ගැන තුට්ටුවකට ද මායිම් නොකරමින් ඖෂධ මිලදී ගැනීමේ ජාවාරම කරගෙන ගොස් තිබුණි. මෙකී අනාර්ථික ගනුදෙනුව මඟින් රජයට සිදුවී ඇති පාඩුව ආසන්න වශයෙන් හයකෝටි පනස්තුන් ලක්ෂ පනස්දහස් තුන්සිය හතළිස් දෙකකි (65,350,342). ගුණාත්මක ආරක්ෂාව, තහවුරු නොකරන ලද ඖෂධයක් මෙරටට ආනයනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් අදාළ සමාගමට ලබා දී ඇත්තේ විශාල තල්ලුවකි. සැපයුම්කාර සමාගම විසින් මෙකී ඖෂධය ද සපයා ඇත්තේ ව්‍යාජ සහතික ඉදිරිපත් කරමිනි. මෙකී ඖෂධයේ එන්නත් කුප්පි 104ක් රෝගීන් වෙත නිකුත්කොට තිබුණි.

ජීවිත බිල්ලට ගනිමින් කළ ඖෂධ මගඩියේ ඇත්තම කතාව…විගණනය කියයි

Ceftriaxone for inj.1g vial නැමති ප්‍රතිජිවක ඖෂධය භාවිතා කිරීමෙන් පසු රෝගී ජීවිත දෙකක් අහිමි වී තිබුණි. මෙකී ප්‍රතිජීවක ඖෂධයේ එන්නත් විසිඑක් ලක්ෂයක් මිලදී ගෙන තිබූ අතර එම එන්නත් තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි පනස්නව ලක්ෂ, පනස් නවදහස් හත්සිය අනූදෙකකි. (75,959,792) ඉකුත් වර්ෂයේ මාර්තු මාසයේ දී මෙකී එන්නත්වලින් හත් ලක්ෂයක තොගයක් ලැබී තිබුණි. මෙකී ප්‍රතිජීවක එන්නත් තොගය බෙදාහැරීමෙන් පසු’ පේරාදෙණිය හා කෑගල්ල යන ශික්ෂණ රෝහල්වල මරණ 02ක් වාර්තා වී තිබුණි. මෙකී ඖෂධය භාවිතා කිරීමෙන් පසු කොළඹ, මහනුවර ජාතික රෝහල්වල මෙන්ම ගම්පහ, කඹුරුපිටිය, මීගමුව, හා කරනවැල්ල ආදී රෝහල්වල රෝගීන්ට විවිධ අසාත්මකතා ඇතිවී තිබුණි. පේරාදෙණිය රෝහලේ මරණයට පත් රෝගී තරුණියට භාවිතා කළ මෙකී ඖෂධ කාණ්ඩයේ සාම්බපල් රසායනාගාරය වෙත යැවීමට පේරාදෙණිය රෝහල මගින් කටයුතු කර නොතිබුණි.

රිටොක්සි මැප් නැමති (Rituximab inj’500mg)’ ඖෂධය සහ හියුමන් ඉම්යුනොග්ලොබින් (Human Immunoglobulin) ඖෂධය ඇතුළු ඖෂධ පහක ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී හා ඖෂධ තොග සැපයීමේ දී සැපයුම්කරු විසින් සිදුකරණු ලැබූ වංචා සහගත ක්‍රියා හේතුවෙන් රෝගී ජීවිත බරපතළ අවදානමකට ලක්ව තිබුණි. ඉම්යුනොග්ලොබින් (Human Immunoglobulin) ඖෂධය ඇතුළු අනිකුත් ඖෂධ සඳහා අභිලාෂ කැදවීමේ හා ප්‍රසම්පාදනයන් සිදුකිරීමේ දී අමාත්‍ය මණ්ඩල තීරණ අභිබවා කටයුතු කර තිබුණි. ඒ විතරක් නොව තාක්ෂණික ඇගයීම් නිසි පරිදි සිදුනො කිරීම, සැපයුම්කරුවන්ට වාසිසහගත වන ලෙස නිර්දේශ ලබාදීම, ව්‍යාජ ඖෂධ දෙකක් වෙනුවෙන් ගෙවීම් කිරීමේ දී ප්‍රමුඛත්වය ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර තිබුණි.

ඒ විතරක් නොව වෛද්‍ය සැපයීම් අංශය විසින්’ සපයා ගෙන තිබූ වෛද්‍ය සැපයීම් තත්ත්වයෙන් අසමත් වූ පසු අදාළ සැපයුම්කරුවන්ගෙන් නිසි පරිදි මුදල් අයකරගෙන නොතිබුණි. එමෙන්ම අයකරගත යුතු මුදල ගිණුම්ගත කිරීමට ද කටයුතු කර නොතිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත. තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් වෙනුවෙන් ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 1663 මුදලක් වෛද්‍ය සැපයුම් අංශය විසින් අදාළ සැපයුම්කරුවන්ගෙන් අයකරගෙන නොතිබුණි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් වෙනුවෙන් සැපයුම්කරුවන්ගෙන් අයකරගත යුතු මුදල රුපියල් මිලියන 1,406.48 කි. එම මුදල මේ වනතෙක් ඖෂධ නීතිගත සංස්ථාව විසින් අයකරගෙන නොතිබුණි. ඉන් රුපියල් මිලියන 685.68ක් වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් සම්බන්දයෙන් නිති ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර රුපියල් මිලියන 165.80ක් වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්ගේ උපදෙස් මත ක්‍රියාකිරීම අත්හිටුවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ඖෂධ සැපයීම ප්‍රමාදවීම මත දඩ ගාස්තුවක් සැපයුම්කරුගෙන් අයකරගත යුතුය. එහෙත් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කොට තිබූ ලිපියකට අනුව ප්‍රමාද වීම මත පනවා තිබූ දඩ ගාස්තු නිදහස් කොට තිබුණි. මේ නිසා සැපයුම්කරුවන් විසින් ඖෂධ සැපයීම ප්‍රමාද කිරීම සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකිවී තිබුණි. ඖෂධ හිඟතාවය මත අධික මිල ගණන්වලට හදිසි මිලදී ගැනීම් සිදුකොට තිබුණි. එහෙත් නියමිත කාලය තුළ එම ඖෂධ නොසැපයීමෙන් රජයට රුපියල් මිලියන 155.595ක දඩ මුදලක් අහිමිවී තිබුණි.

ප්‍රසම්පාදන අවස්ථාවේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකයක් නොමැති සැපයුම්කරුවන්ට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් නිකුත් කොට තිබුණි. මෙකී සැපයුම්කරුවන්ගේ සුදුසුකම් හා ඖෂධයේ තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීමකින් තොරව ඖෂධ සැපයීමට පහසුකම් ලබාදෙන බැවින් ඖෂධවල තත්ත්වය පිළිබඳ දැඩි අවධානමක් ඇතිවී තිබුණි. ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය යටතේ මෙරටට ආනයනය කරනු ලැබූ ඖෂධවල ගුණාත්මය පිළිබඳ ගැටලු ඇතිවීම මත 2019 වර්ෂයේ සිට 2023 දක්වා කාලය තුළ අවස්ථා 26ක දී ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීම, භාවිතය තාවකාලිකව අත්හිටු වීම, සිදුකොට තිබුණි.

ඖෂධ ආනයනකරුවන් 30 දෙනකු වෙත 2022 වර්ෂයේ ජනවාරි මස සිට 2023 ජුනි දක්වා කාලය තුළ ලියාපදිංචි නිදහස් කිරීමේ ලිපි 306ක් නිකුත්කොට තිබුණි. ආරක්ෂාකාරී හා නිවැරදි තත්ත්වයෙන් යුතු ඖෂධ මහජනතාව වෙත ලබාදෙන බවට සහතික වීම ඖෂධ නියාමන අධිකාරියේ වගකීමකි. එහෙත් ඖෂධ නියාමන අධිකාරිය එම වගකීමෙන් කරහැර තිබුණි. අනික් කාරණය වන්නේ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි යටතේ මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවල ගුණාත්වය, ආරක්ෂාව, පිළිබඳ වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් භාර නොගන්නා වාතාවරණයක් නිර්මාණය වී තිබුණි.

ඒ විතරක් නොව, සාම්පල් පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචි කර තිබුණි. මේ නිසා ගුණාත්මකභාවය ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් නොමැති ඖෂධ රට තුළට ආනයනය කිරීමේ අවධානමක් පැවතුණි. එමෙන්ම ඖෂධවල ගුණත්වය පිළිබඳ ගැටලු ඇති බව අනාවරණය කර ගන්නා අවස්ථාව වනවිටත් එම ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් රෝගීන් සඳහා භාවිතකොට ඇති බව විගණනයේ දී නිරීක්ෂණය විය. ඖෂධවල පැවැති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් 2023 වර්ෂයේ මුල් මාස 10 තුළ දී භාවිතයෙන් ඉවත්කොට ඇති ඖෂධ වර්ග සංඛ්‍යාව 23කි. භාවිතය, තාවකාලිකව අත්හිටු වූ ඖෂධ වර්ග සංඛ්‍යාව 17කි.

ඖෂධ රෝහල්වලට බෙදාහැරීමට පෙර ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ යාන්ත්‍රනයක් ක්‍රියාත්මක කරන ලෙසට වසර 06කට වැඩි කාලයක සිට විගණනය මඟින් කළමනාකරණය වෙත දැනුම් දී තිබුණි. එහෙත් මේ දක්වා ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම හේතුවෙන් තත්ත්වයෙන් අසමත් ඖෂධ රෝගීන්ට නිකුත් කිරීම අවමකර ගැනීමට නොහැකි වී ඇත.

එමෙන්ම ඖෂධ 11කට අදාළව සමස්ත තොරතුරු පරිශීලනය කිරීමකින් තොරව හදිසි මිලදී ගැනීම සඳහා යොමුවීම හේතුවෙන් රජයට රුපියල් හැත්තෑකෝටි අනූඑක්ලක්ෂ හතළිස්නවදහස් අනූනවයක අතිරේක පිරිවැයක් (709,149,099) දැරීමට සිදුවී තිබුණි. මේ පිළිබඳ විමර්ශනයක් සිදුකර ඒ සඳහා වගකිවයුතු අය හඳුනාගෙන හදිසි මිලදී ගැනීම සඳහා වැයවූ අතිරේක මුදල ආපසු අයකර ගතයුතු බවට විගණනය මඟින් නිර්දේශකොට ඇත.

ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු සිදුකොට ඇත්තේ ද අන්ත දූෂිත ආකාරයෙනි. ඖෂධ වර්ග 04කට අදාළව ප්‍රසම්පාදන කටයුතු අවසන් වෙමින් පැවැතුණි. එහෙත් එකී ඇණවුම් අවලංගු කර දේශීය ඖෂධ නිෂ්පාදකයන් වෙත යොමුවීම හේතුවෙන් රජයට රුපියල් දාසයකෝටි හැත්තෑහත්ලක්ෂ දාහත්දහස් නවසිය තිස්පහක (167,717,935) අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment