ජීවිත රඟමඬලින් සමුගත් මනමේ නාටකයේ දෙටු වැදි රජු

422

අභාවප්‍රාප්ත ලයනල් ප්‍රනාන්දු මහතා මනමේ නාටකය වේදිකාගත වී වසර හැටක් පිරුණ දා කළ මතකාවර්ජනයකි

එම දැන්වීම දමා තිබුණේ සෙනෙට් ගොඩනැඟිල්ලෙහි වූ දැන්වීම් පුවරුවේය. එම දැන්වීම ශ්‍රී ලාංකික නාට්‍ය ක්ෂේත්‍රයෙහි සුවිශේෂම හැරවුම් ලක්ෂ්‍යය වේය කියා, එම දැන්වීම කියවූ, එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කිසිදු මානවක මානවිකාවක් සිතන්නට නැත.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නවතම නාටකය සඳහා, නළු නිළියන් තෝරා ගැනීමට පරීක්ෂණයක් පැවැත්වෙන බව එහි සඳහන් විය.

ඒ 1956 ජුනි මාසයේ දිනයකය.

ලයනල් ප්‍රනාන්දු, පේරාදෙණිය සරසවියේ ඉගෙනුම සඳහා ඇතුළත්ව වැඩි දවසක් ගතව තිබුණේ නැත.

…විශ්වවිද්‍යාලට එන්න ඉස්සරත් මට සරච්චන්ද්‍ර මහත්තය ගැන ලොකු ලැදියාවක් තිබුණා… එයාගේ කල්පනා ලෝකය පොත ඒ කිට්ටුව තමයි පිටවෙලා තිබුණේ.

මනමේ නාටකය සඳහන් නළු නිළියන් තෝරා ගැනීම සඳහා පරීක්ෂණය පැවැත්වුණේ සෙනෙට් ගොඩනැඟිල්ලේ උඩ තට්ටුවේ වූ පහළොවයි පහළොව ප්‍රමාණයේ වූ කුඩා කාමරයකය.

මම හිතන්නේ ඒ නළු නිළි පරීක්ෂණයට වැඩිපුරම ඇවිල්ල හිටියෙ, මම වගේම නවක සරසවි සිසු සිසුවියන්. වැඩිහිටි ශිෂ්‍යයොත් කීපදෙනෙක් හිටියා…

මනමේ නාටකයේ දෙටු වැදි චරිතය රඟපෑ ලයනල් ප්‍රනාන්දු, වසර හැටක අතීතයට සමවදිමින් පවසන්නට විය.

…ප්‍රොෆෙසර් එන හැම කෙනකුටම කිව්වේ සිංදුවක් කියන්න කියලයි. මට හරියටම මතක නෑ, මම හිතන්නේ මම ගායනා කළේ සී. ටී. ප්‍රනාන්දුගේ ගීතයක්.

ලයනල් ප්‍රනාන්දුට මනමේ නාටකයේ දෙටු වැදි චරිතය රඟපාන්නට ලැබුණේ එසේය.

එම පරීක්‍ෂණයේදී, ෂාමන් ජයසිංහ පොතේ ගුරු ලෙසත්, බෙන් සිරිමාන්න මනමේ කුමරු ලෙසත්, ටි්‍රලීෂියා අබේකෝන් මනමේ කුමරිය ලෙසත් දෙටු වැදි චරිතයට ලයනල් ප්‍රනාන්දුත් තෝරා ගනු ලැබිණ.

වැදි රජුගේ චරිතයට කෙනකු තෝරා නොගැනුණි.

දවසක් අපේ කට්ටියට ආරංචියක් ගෙනාවා, බෝගම්බර කානිවෙල් එකේ සින්දු කියන අපේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් ගැන….

ඔහු එඩ්මන් විජේසිංහය.

ඔහු, විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳව ඩිප්ලෝමාවක් හදාරමින් සිටියේය.

මහාචාර්ය සරච්චන්ද්‍ර කිසිදු පරීක්‍ෂණයක් නැතුවම, එඩ්මන් විජේසිංහ වැදි රජුගේ චරිතය සඳහා තෝරා ගත්තේය.

රාජගුරු චරිතය රඟපෑම ද ඔහුටම භාර විය.

පැරැණි නාඩගම්වලට අයත් සින්දු රාග තාල සපයලා දුන්නේ බලපිටියේ අම්පෙ චාර්ලිස් ද සිල්වා ගුරුන්නාන්සේ………

අපි හුඟ දෙනෙක් කිව්වෙ අම්පෙ ගුරුන්නාන්සෙ කියලා.

මනමේ පුහුණු කරන කාලෙ අම්පෙ ගුරුන්නාන්සෙගේ වයස අවුරුදු 65ක් විතර ඇති. අඩි පහමාරක් විතර උස ඇති….

සරමයි සුදු කමිසයයි අඳින්නේ. මනමේ පුහුණු කරන්න සරච්චන්ද්‍ර මහත්තයා තරමටම මහන්සි වුණා, අම්පෙ ගුරුනාන්සෙත්……

සරච්චන්ද්‍ර මහතා ඒ කාලෙ පදිංචිව සිටියේ පේරාදෙණිය සරසවිය භූමියේ සුන්දරම ස්ථානය වූ සංඝමිත්තා කඳු මුදුනේ ඉදිකරන ලද කුඩා නිවසකය.

එක් පැත්තකින් සංඝමිත්තා ශාලාව ද තවත් පැත්තකින් මහවැලි ගඟ ද, තවත් පැත්තකින් හිඳගල පාරද, පෙනෙන තෙක් මානයේ පිහිටි මෙම නිවස ඉදිරිපිට පලසක් වැනි වූ තණකොළ පිටියක් පිහිටියේය.

ඒ කාලයේ සරච්චන්ද්‍ර මහත්තයට EN 497 නොම්මරේ තියෙන කොළ පාට වොක්ස්වැගන් කාර් එකක් තිබුණා. ඒකෙන් තමයි ගෙදර ඉඳල පුහුණුවීම් කරන තැනට ආවෙ.

සාමාන්‍යයෙන් නාටකයේ පුහුණුවීම් සිදු කළේ සවස පහේ සිට රාත්‍රී හත දක්වා ය. සෙනසුරාදා සහ ඉරිදා දිනවල පුහුණුවීම් සිදුවිය.

අම්පෙ ගුරුන්නාන්සෙ පැදුරක් දාල වාඩිවෙලා මද්දලේ වාදනය කරලා තාලයක් දෙනවා. ඒ අනුව තමයි මනමේ කුමරිය ඇතුළු අපි කවුරුත් නටන්න ඕනේ.

මනමේ කුමරු සහ වැදි රජු අතර සිදුවන යුද්ධය සහ අනෙකුත් වැදි නැටුම්, වසන්ත කුමාර විසින් නිර්මාණය කළ ද, ඒවා බොහෝවිට පුහුණු කළේ අම්පෙ ගුරුන්නාන්සේ ය.

මනමේ නාට්‍යයේ මද්දල වාදනයට චාල්ස් ද සිල්වා ගුණසිංහ හැරුණු කොට විශ්වවිද්‍යාල සිසුවකු ද විය. ඔහු හේමපාල විජේවර්ධනය. ඔහු සිංහල හතර වසරේ ශිෂ්‍යයකු විය.

මෙයට අමතරව වෙනත් තූර්ය භාණ්ඩ වාදනය සඳහා කිත්සිරි අමරතුංග, රම්‍යා තුම්පෑල, සෝමරත්න එදිරිසිංහ, එච්. සෙනෙවිරත්න, එල්. ආර්. මුදලිහාමි ද විය.

ආරම්භයේ පිටවන මනමේ නාට්‍යයට මනමේ කුමරියන් දෙදෙනකු විය. ඒ, ටි්‍රලීෂියා අබේකෝන් සහ හේමමාලී ගුණසේකර ය.

මනමේ නාටකයේ ප්‍රථම දින රංගනයේ දී මනමේ කුමරිය වූයේ ටි්‍රලීෂියා අබේකෝන්ය.

දෙවැනි වර රංගගත කරන විට බෙන් සිරිමාන්න සහ එඩ්මන් විජේසිංහ, දුනු අමෝරාගෙන සටන් වැදුණේ හේමමාලී ගුණසේකර, එනම් මනමේ කුමරිය දිනා ගැනීමටය.

නමුත් මනමේ ටික කාලයක් රංගගත වනවිට, සත්‍ය වශයෙන්ම එම මනමේ කුමරිය එනම් හේමමාලී ගුණසේකර අයත් වූයේ වෙන කෙනකුටය.

ඒ කරළිය සැරසීම හා නිළියන්ගේ වෙස් නිර්මාණය කළ සිරි ගුණසිංහටය.

මනමේ නාටකය නිසා මල්හීසර වැදුණේ, හේමමාලී ගුණසේකර සහ සිරි ගුණසිංහට පමණක් නොවේ. එඩ්මන් විජේසිංහ අත්වැල් ගායක සමග ඉන්ද්‍රානි පීරිස් විවාහ වූවාය.

මනමේ පුහුණුවීම් බැලීමට පැමිණි එරික් සිල්වා, අත්වැල් ගායිකා ටි්‍රක්සි සිල්වා සමග විවාහ විය.

සෙනෙට් ගොඩනැඟිල්ලේ උඩුමහලේ මෙන්ම සංඝමිත්තා කඳු මුදුනේ පිහිටි මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර නිවසේ ද මනමේ පුහුණුවීම් සිදුවිය.

මනමේ නාටක කණ්ඩායම ඊබට් සිල්වා බස් රථයකින් පේරාදෙණියේ සිට කොළඹට ආහ.

ඒ 1956 නොවැම්බර් තුන්වැනි දිනය. නාට්‍යය රංගගත වූයේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ, සවස හයයි තිහටය. ටිකට් පතක මිල රුපියලක් හෝ දෙකක් විය.

මනමේ ප්‍රථම රංගනයට පැමිණ සිටියේ නරඹන්නන් තිස්එක් දෙනකු පමණි. එනම් කොළඹ හතේ නිවෙස්වල මෙහෙකාරයන් සහ රියැදුරන්ය. නමුත් අද මනමේ රංගගත වන්නේ සම්පූර්ණයෙන් පිරී ගිය පේක්ෂකාගාරවල ය.

(උපුටා ගැනීම මුහුණු පොතෙනි)

පීටර් කැනියුට් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment