ජීවිත වේදිකාවෙන් බැසගිය සොඳුරු ආඥාදායකයා

294

සුනිල් පෙරේරාගේ අකල් මරණය ලාංකේය පේ‍්‍රක්ෂකාගාරය සෝ සයුරේ ගිල්වා ඇත. කොවිඞ් වසංගතය හේතුවෙන් දිනපතා ඇසෙන අසුභ පුවත් අතර මේ සතිය ආරම්භයේදීම අපට ලැබුණු අසුභම පුවත සුනිල් පෙරේරා දිවි සැරියෙන් සමුගැනීමය. මියෙන තෙක්ම තම නිර්මාණ කාර්යය නව්‍යතාවයකින් පවත්වාගැනීමට සමත් වූ විරල ගණයේ කලාකරුවකු වූ සුනිල් පෙරේරා කෙබඳු ආකාරයක කලාකරුවකු දැයි මේ රටේ මිනිසුන් නිවැරදිව වටහාගත් බවක් පෙනෙන්නට නැත. එහෙත් ඔහු ගැන පොදු පිළිගැනීම වූයේ නොබියව විවෘතව අදහස් පුකාශ කරන කලාකරුවකු ලෙසය. නමුත් නොසිතූ මොහොතක සිදු වූ මේ වේදනාත්මක සමුගැන්ම සුනිල් පෙරේරා ගැන පෙර නොවූ විරූ කියවීමක් ඇතිකර තිබේ.

වසර 1952 සැප්තැම්බර් 14 දින උපත ලබා ඇති සුනිල් පෙරේරා අවුරුදු දහයක් තරම් කුඩා කාලයේදීම ගිටර් වාදනයේ නිපුණතා පෙන්වීමට සමත්ව ඇත. එම හැකියාව වැඩි දියුණු කරගත් සුනිල් පෙරේරා ජනප‍්‍රිය සංගීත ලෝකය හා එකතු වන්නේ මේ රටේ සංස්කෘතික සහ ආර්ථික පෙරළියේ ආරම්භක කාලය වූ හැත්තෑව දශකයේදීය. ඒ ඔහුගේ පියා විසින් ආරම්භ කළ ජීප්සීස් සංගීත කණ්ඩායමේ නියාමක ගායකයා ලෙස එක්වීමෙනි. පසුව ඔවුන් මෙරට රසිකයන් අතර නමක් දිනා ගත්තේ 1972 වසරේදී ඉදිරිපත් කළ ළිඳ ළ`ග සංගමේ ගීතය අතිශය ජනාදරයට පත්වීමත් සමගය. එතැන් පටන් ජිප්සීස් සංගීත කේෂත‍්‍රයේ වෙනම ලකුණක්ව ඉදිරියට ගීයේ, ‘‘ලූණු දෙහි, හිත හොඳකම වැඩි හින්දම, ලොරොන්සෝ ද අල්මේදා, දෙමව්පියන්ගේ කීම අසාලා, ඔජායේ, ඔබ ඉන්නේ කොහෙද කියා වැනි ජනප‍්‍රිය ගීත ගොන්නක් ගෙන එමින්ය.

ජීවිත වේදිකාවෙන් බැසගිය සොඳුරු ආඥාදායකයා

ඇත්තෙන්ම මෙරට කණ්ඩායම් සංගීතය අලූත් ආරකට ගෙනයෑමට නොබියව ඒ කරා පා තැබුවේ සුනිල් පෙරේරාමය. අසූව දශකයේදී ඔහු ඉදිරිපත් කළ කුරුමිට්ටෝ ගීතය, ලූණු දෙහි ගීතය වැනි ගීතවලදි ප‍්‍රසංග වේදිකාවට නිරූපණ නර්තන එක්කිරීම පළමු වරට කළේ ජිප්සීස්ය. ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම ප‍්‍රකට වූ ලක්ෂණය වූයේ කව්රු මොනවා කීවද කුමන විවේචන ඒවා තඹ සතේකට මායිම් නොකර තමන් විශ්වාස කරන දේ නොබියව සිදුකිරීමය. ඔහුගේ සංගීත දිවිය පුරාම එම ගති ලක්ෂණය ප‍්‍රකට විය. ඔහුගේ නිර්මාණ වාරණයට පවා ලක්වූයේ ඔහු ගතානුගතික බවින් බැහැරව තමන්ගේ ඇඟට දැනෙන නිර්මාණ කිරීම නිසාය. මේ සියලූ ගරු නම්බුවලට සුනිල් පෙරේරා අයිතිකරු වුවත් ඔහුගේ නිර්මාණවලින් ප‍්‍රකට කළ යථාර්ථය මේ රටේ මිනිසුන් අවබෝධ කරගත් බව තවමත් දක්නට නැත. මුල් කාලයේ සිටම ඔහු ගැයූ සරල ගී තුළ තිබුණේ මේ රටේ මජර දේශපාලන ක‍්‍රමය ගැන ඔහු තුළ පැවති ආකල්පයයි. කුරුමිට්ටෝ ගීයෙදී ඔහු එය ඉදිරිපත් කළ අයුරුය මේ.

දවසට පැය කීයක් වැඩද- අටයි හැබැයි ඒ අටම වැඩ
වර්ජන ගර්ජන එහි නැද්ද- අපේ නෑ බොරු ගෙරවිලි සද්ද
කැමති නැද්ද මෙහි නවතින්න- සුදුස්සාට නෑ සුදුසු තැන

ගීතයේ දෙබසක් ලෙසින් ඔහුගේ ඉදිරිපත් කිරීම වූයේ අසාධාරණ වූ මේ සමාජ ක‍්‍රමයයි. නමුත් මිනිසුන් අල්ලා ගත්තේ එවකට එම ගීතයේ ප‍්‍රසංගාත්මක ඉදිරිපත් කිරීමය. ‘‘පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා’’ ගීතය ද ජීප්සීස් කණ්ඩායමේ පැරණි ජනප‍්‍රිය ගීතයකි. මේ සමාජයේ අවර ගණයේ මිනිසුන් උපහාසයට ලක්කරන කදිම සරල නිර්මාණයකි එය. නමුත් සුනිල් පෙරේරා යනු ටකරන් කට හ`ඩක් හිමි ගායකයෙකු බවට ඔහුට ගරහන්නෝ චෝදනා කළහ. එහෙත් ඒ ටකරන් හඬින් මහ මන්දිරයේ සිට මුඩුක්කු පැල්පත දක්වා වූ රසික ප‍්‍රජාවක් ආශක්ත කර ගැනීමට ඔහුගේ ගායනයන් පොහොසත් විය. තරු පහේ සාජ්ජවලදී පවා සුනිල් පෙරේරාගේ ගීත වැයුනේ ඒකය. කලාකරුවකුගෙන් විය යුත්තේ පාලකයන්ට වන්දිබට්ටකම් කිරීම නොව සමාජ සාධාරණය සහ එහි ප‍්‍රගමනයට සිය නිර්මාණ යොදා ගැනීමය. මේ අර්ථයෙන් සුනිල් පෙරේරා නිර්මාණ කාර්යය ගැන ලංකාසර වෙබ් අඩවියට කදිම විවරණයන් කරන ආචාර්ය රෝහණ වීරසිංහයන් මෙසේ කියන්නේය.

‘‘නන්දා මාලනීගේ ගායනය සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේය පද රචනා කළ ‘‘පවන’’ ගීත එකතුව කියන්නෙ තනිකරම දේශපාලන විවේචනයක්. සුනිල් පෙරේරාගේ ගීතත් ඒ වගේමයි. වෙනසකට තියෙන්නෙ ඔහු ඒ විවේචන පහර ගැසීම් අමුවෙන්ම තමන්ගේ ගීත වලින් කිව්වා. ‘‘පවන’’ තේරුණේ නැති අයට සුනිල් පෙරේරාගේ වචන හොඳට දැනුණේය.’’

ජීවිත වේදිකාවෙන් බැසගිය සොඳුරු ආඥාදායකයා

සදාදරණීය ගායක එච්. ආර්. ජෝතිපාලයන් මියගිය පසු මහාචාර්ය සරත් අමුණුගම ලියූ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් වූ බිඳවැටුණු සංස්කෘතික බලකණුව පුවත්පත් ලිපිය අපේ මතකයට එයි. ජෝතිපාලයන් මෙන් ම ජිප්සීස් සුනිල් පෙරේරා ගැන ද මේ රටේ විචාරයේ අවධානය ඔහුට යුක්තිය ඉටුවන ලෙස යොමු වූයේ ද සුනිල් පෙරේරා කලාකරුවාණන්ගේ වියෝවෙන් පසුව යැයි අපට සිතේ. කිසිම දිනෙක දේශපාලන වරදානවලට හිස නොනැමූ ඔහු කවර ආණ්ඩුවක් බලයේ තිබියදී වුව ගැයූ ගීතවල දේශපාලනයේ සැබෑව නිර්දය ලෙස ගීතයට මුසු කළේය. එය කවදාමකවත්, හෙටටත් සත්‍ය වන ලෙසම කළ භාවිතයේ රිද්මයේ ලතාව ඇතැමෙකුට සම්භාවනීය නොවන්නට ද පුළුවන. ඒ වෙනම කතාවකි. වෙනම ආකල්පමය තත්ත්වයකි.

කලාකරුවන් අතර සුනිල් පෙරේරා අතිශය සාධාරණ කලාකරුවෙකු විය. තම ගීතවල ගේයපද රචකයන්ට ගීතයෙන් මුදල් උපයන සෑම අවස්ථාවකදීම කර්තෘ භාග ලබාදුන්නේ වැඩි ප‍්‍රසිද්ධියක් නැතිවය. කෙදිනකවත් ඔහුට නිර්මාණ මංකොල්ලකෑම් වැනි චෝදනා නැගුණේ නැත. වර්තමානයේ කණ්ඩායම් සංගීතයේ සාර්ථක වී සිටින බොහෝ දෙනෙකුට අත දී ඇත්තේ සුනිල් පෙරේරාය. විහාරමාහාදේවී උද්‍යානයේ පැවති නත්තල් ප‍්‍රසංගයකදී ප‍්‍රසංගය මැද ඔහු රසිකයන්ට කීවේ අද දින තම ආදරණීය පියාණන්ගේ වියෝව සිදු වූ බවය. සියලූ දෙනා වික්ෂිප්ත වෙද්දි ඔහු තවදුරටත් කීවේ තම කණ්ඩායම බලාපොරොත්තුවෙන් පැමිණි රසිකයන්ගේ බලාපොරොත්තු කඩ නොකිරීමටත් රාජකාරිය දේව කාරිය සිතා මෙතෙක් ප‍්‍රසංගය පැවැත්වුවද ජිප්සීස් නම් පවුලේ සංගීත කණ්ඩායම දැන් ගෙදර යා යුතු බවය. එසේ කියා සමාව අයැද ඔහු වේදිකාවෙන් බැස්සේ වෙනත් සංගීත කණ්ඩායමකට ඒ ප‍්‍රසංගය බාර දෙමින්ය.

මෙවැනි ගුණාංග පැවති කලාකරුවකු වූ සුනිල් පෙරේරාව ඇතමෙකුට නොදිරවූයේ සමාජය යමින් නොව ස්වකීය අදහස් විවෘතව ප‍්‍රකාශ කිරිම නිසාය. ගෙවුණු අවසන් වකවානුවේදී දූෂණයට එරෙහිව ජනප‍්‍රිය දේශපාලන දහරාවට අභියෝග කරමින් ප‍්‍රතිවිරුද්ධ පැත්තේ සිටගත්තේය. ‘සිංඤෝරේ’, ‘අයි ඩොන්ට් නෝ වයි එහෙම වෙන්නෙ ඇයි’ වැනි නිර්මාණවලින් ඔහුට වඩාත් අවශ්‍ය වූයේ මේ රට විනාශ කළ තක්කඩි දේශපාලන ක‍්‍රමයේ නිර්වස්ත‍්‍ර බව පෙන්වීමටය. ප‍්‍රසංගයකදී හෝ සාදයකදි එය තේරෙන භාෂාවෙන් කියූ සුනිල් පෙරේරා සාදය හෝ ප‍්‍රසංගය ප‍්‍රීතියෙන් නැහැව්වේය. අප අතරින් නික්ම ගිය මේ කලාකරුවාට ලාංකීය ගීතයේ සොඳුරු ආඥාදායකයාට මොක්සුව අත්වේවායි පතමින් ඔහු කීවේ කුමක්දැයි වටහා ගැනීමට මේ ගීයට යළි සවන් දෙන්නැයි ඇරයුම් කරමු.

අත්තාපල් මුත්තාපල් රෑ වෙනකල් අල්ලාපන්…
චීනෙට ඉන්දියාවට
මදි නම් ඇමරිකාවට….

 තිස්ස ගුණතිලක

ජීවිත වේදිකාවෙන් බැසගිය සොඳුරු ආඥාදායකයා
advertistmentadvertistment