ජීවිත 07ක් සුවපත් කර මෙලොව හැර ගිය විහඟනා

381

ඇය නිදන තැන… සුවඳ මල් පිපෙනු ඇත…

පවුලේ සමීපතමයන්ට ඇය ‘බට්ටී’ විය. කඩිසරව ගෙදර දොර වැඩ කටයුතු ආදියෙහි නිරතවීමත් පවුලෙහි අනිකුත් සාමාජිකයන් කෙරෙහි දක්වන ලද දැඩි ළෙංගතු බවත් හේතුවෙන් එවැනි ආදරණීය ආමන්ත්‍රණයකින් පවුලේ අනිකුත් අය විසින් ඇයව ඇමතුවා විය හැක. අධ්‍යාපන කටයුතු ආදියෙහි ද ඇය කිසිවෙකුටත් දෙවෙනි වී නැත. එබැවින් පාසල් සිසුවියක් ලෙසද ඇය බොහෝ දක්ෂතා පෙන්වීමට සමත් සිසුවියක් වූවාය. වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි බට්ටි ගේ ලොකුම සිහිනය බවට පත්ව තිබී ඇත්තේ A සාමාර්ථ තුනක් ලබා ගනිමින් උසස් පෙළ ඉහළින් ජය ගැනීමය. ඇය දිවා රෑ වෙහෙසුනේ ඒ සඳහාය. එපමණක් නොව පාසල් සිසුවියක වූ ඇගේ ජීවන දර්ශනය ද පුළුල් දැක්මක් සහිතය. කිසිවෙකුට අතනොපා ජීවත් විය යුතු යැයි ඇය තීරණය කරන්නේ එබැවින්ය. අධ්‍යාපන කටයුතු අතරතුර ලැබෙනඋ මද විවේකය තුළ පවා පවුලේ ආර්ථිකයට ශක්තියක් වීම පිණිස ඇය කඩදාසි බෑග් ඇලවූවාය. ඒවා පොළට ගොස් අලෙවි කරන ලද්දේ අම්මා විසින්ය. එබැවින් ද ඇය දිරිය දියණියක් වූවාය. එපමණක් නොව ඇය සුනඛයන් කෙරෙහි අසීමිත අනුකම්පාවක් හා ඇල්මක් දක්වන ලද යුවතියක් ලෙස ද ප්‍රදේශයේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධියට පත්ව සිටියාය.

ඇය… මේ වන විට ජීවතුන් අතර නැත. හුරතලයට ‘බට්ටි’ නමින් හඳුන්වනු ලැබූ ඇය විහඟනා නුවන්මිණි ආරියසිංහ නම් විය. විහඟනා අකල්හි මෙලොව හැර යනු ලබන්නේ ඉකුත් 17 වැනි දිනය. අලුත කපන ලද වළක් තුළ ඇය මිහිදන්ව ගොස් මේ වන විට දින ගණනාවක් ඉක්ම ගොස් ඇත. අනුරාධපුර පාර අඹන්පොළ පළමු පටුමග පදිංචිව සිටි විහඟනා නුවන්මිණි ආරියසිංහ (අවු. 19) වේලාසනම තම දිවි ගමන නිමා කරනු ලබන්නේ මාරක පිළිකාවක අකාරුණික ගොදුරක් බවට පත්වීම හේතුවෙන්ය. කුරුණෑගල මලියදේව බාලිකාවේ උසස්පෙළ සිසුවියක වූ විහඟනාගේ මරණයෙන් පසු ඇය පිළිබඳ රටම කතාබහ කරනු ලබන්නේ ඇය මිය ගියද ‘නොමියෙන’ මතකයන් රැසක් රට හමුවේ ඉතිරි කර ගිය බැවින්ය. එබැවින් ඇය නමින් නො හැඬූ නෙතක් නැති තරම්ය.

ජීවිත 07ක් සුවපත් කර මෙලොව හැර ගිය විහඟනා

පෙර සසර කරන ලද කුමන හෝ අකුසලයක් හේතුවෙන් ඇය මාරක පිළිකා රෝගයකට ගොදුරු වුවද ඇය සදහටම දෙනෙත් පියා ගත්තේ තවත් රෝගී ජීවිත හතක් සුවපත් කළ අප්‍රමාණ කුසලක් සිදු කරගැනීමෙන් අනතුරුවය. ඇය ගේ මතු සසර සුවපත් වීම පිණිස ඒ පිනම ප්‍රමාණවත්ය. තම ආදරණීය දියණියගේ අකල් වියෝවෙන් උපන් කඳුළින් යුතුව එම අනුවේදනීය කතාව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටින්නේ විහඟනාගේ තාත්තා විසින්ය. ඔහු නමින් උපුල් ආරියසිංහ ය.

“මගෙ පොඩි දුව අධ්‍යාපනය පැත්තෙන් වගේම අනෙකුත් සියලුම කටයුතුවලින් දක්ෂතා දැක්වූ දරුවෙක්. පවුලක් විදිහට අපි හැමෝම හොඳ තැනකට ගේන්න එයාට ලොකු වුවමනාවක් තිබුණා. උසස් පෙළ ලියන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. එහෙම වැඩ කරගෙන ඉන්න අතර තමයි දුවට මේ අසනීපය හැදෙන්නේ. මුලින්ම ඔළුවේ කැක්කුමක් ආවා. වමනෙ ගියා. අපි දුවව වෛද්‍යවරයකුට පෙන්නලා බෙහෙත් අරගෙන ආවා. දුවට මෙහෙම විපතක් වෙයි කියල අපි හීනෙකින්වත් හිතුවේ නෑ. ප්‍රතිකාර අරගෙන දවස් කීපයකට පස්සේ නැවතත් අර ඔළුවෙ කැක්කුම ආවා. වෙනදට වඩා තද අසනීප ගතියක් පෙන්නුම් කළ හින්දා වෙනත් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගත්තා. නමුත් දවස් කීපයක් යද්දී නැවතත් අර පරණ රෝග ලක්ෂණම පෙන්නුම් කරන්න ගත්තා. ඊට පස්සේ තමයි කුරුණෑගල මහ රෝහලට දුවව ඇතුළත් කරන්නේ. එතැනදි තමයි අපිට දැනගන්න ලැබුණේ එයාගේ මොළේ පිළිකාවක් හටගෙන තියෙනව තවදුරටත් දුවට ජීවත් වෙන්න වරම් අහිමි වෙමින් යනවා කියල. ඒ වෙද්දි දුව ජීවත් වුණේ යන්ත්‍රයක ආධාරයෙන්. හොඳින් ඉන්න දවස්වල මගෙ පොඩි දුව එයාගෙ අක්කට කියල තිබුණ කවද හරි දවසක එයාගෙ ශරීරය අවයව දන් දෙන්න ලොකු කැමැත්තකින් ඉන්නව කියල. අර නරක ආරංචිය දැනගත්තට පස්සේ මගේ ලොකු දුව කිව්වා නංගි එහෙම දෙයක් කියලා තිබුණු හින්දා පුළුවන් කමක් තියෙනව නම් එයාගෙ අවයව දන් දීලා ඒ පින් ටිකත් නංගිට ම බාර කරමු කියල. දුවගේ අවයව දන් දෙන්න අපි කැමැත්ත ප්‍රකාශ කරාට පස්සේ ඒ කටයුතු ටික වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් සිද්ධ වුණා. අද මගේ දුව ජීවතුන් අතර නැතත් එයාගේ හදවත පෙනහළු දෙක වෙනත් රෝගියකුට බද්ධ කරල තියෙනවා. ආරංචියේ හැටියට විශේෂඥ වෛද්‍යවරියකට තමයි ඒ අවයව දෙක බද්ධ කරලා තියෙන්නේ. දුවගෙ වකුගඩු දෙක තවත් අසාධ්‍ය වකුගඩු රෝගීන් දෙදෙනකුට බද්ධ කරලා තියෙනවා. අක්මාව, අක්ෂි පටලය තවත් රෝගීන් කීප දෙනෙකුට දන් දෙන්න තරම් දුව පින්වන්ත වුණා. ඒ අය අද සුවපත් වෙමින් ඉන්නවා ඒ පිනම මගේ දුවට ඇති කියල අපි විශ්වාස කරනවා. තවත් ජීවිත 7කට ජීවිතය දීලා තමයි එයා අපිව දාලා ගියේ…”

ජීවිතේ එසේය. තණ අග පිනි බිඳක් වැනිය. දිනෙක රැගෙන යා හැක්කේ කළ හොඳ නරක පමණය. විහඟනා නම් සුපිපි කුසුම අකල්හි මිය පරලොව යන්නේ ඒ ආකාරයෙන්ය. ඇය රැස් කළ දේ අතරට බොහෝ කුසල් ද එකතු වී හමාරය. දිවිමග අවුරුදු 19 ක් වැනි කෙටි දුරක් ගමන් කළ විහඟනා උපන් ගම පමණක් නොව අවට ගම් හතම හඬවමින් ඉකුත් දිනෙක හිරු බැස යන සැන්දෑවක අඹන්පොළ පොදු සුසාන භූමියෙන් තම දිවි ගමන නිමාවට පත් කරනු ලැබුවේ නෑ සිය හිත මිතුරු දෙනෝ දහසක් දෙනාගේ ඉකිබිඳුම් සෝ සුසුම් හඬ මැදින්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment