ජුඩෝ සංගමයේ අක්‍රමිකතා: ක්‍රීඩාව පිරිහිලා – ජුඩෝ ක්‍රීඩාව සුරැකීමේ එකමුතුව

100

ශ්‍රී ලංකා ජුඩෝ සංගමය විසින් දිගින් දිගට ම සිදු කරන වංචා දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් මෙරට ජුඩෝ ක්‍රීඩාව පිරිහීමට ලක්වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ජුඩෝ ක්‍රීඩාව සුරැකීමේ එකමුතුව නම් සංවිධානය විසින් ගම්පොළ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියහ.

එහි කැඳවුම්කරු ශ්‍රී ලංකා ජුඩෝ සංගමයේ හිටපු පුහුණු සභාපති ජාතික විනිසුරු හා පුහුණුකරු ඩබ්ලිව්. තුසිත ප්‍රනාන්දු මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය.

ජාත්‍යන්තර ජුඩෝ සංගමයෙන් ශ්‍රී ලංකා ජුඩෝ සංගමයට රුපියල් මිලියන 10ක පරිත්‍යාගයක් ලැබිලා තියෙනවා. ජුඩෝ ක්‍රීඩාවේ උන්නතිය සඳහා තමයි ඒ මුදල් ලැබුණේ. නමුත් මෙහි සභාපතිවරයා ඇතුළු කීපදෙනකු කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව තම හිතවකුට එම මුදල දීලා තියෙනවා ජූඩෝ මූලස්ථාන ගොඩනැඟිල්ල හදන්න කියලා.

ඒ වගේම මෙරට සිටින ජුඩෝ ක්‍රීඩක ක්‍රිඩිකාවන් වැඩි ප්‍රමාණයක් දුප්පත් අය. හොඳ ඇඳුමක් රුපියල් හතළිස්දාහයි, පනස්දාහයි, හැටදාහයි. ඉතින් ඒ අයට ජුඩෝ ක්‍රීඩා ඇඳුම් ගන්න බෑ. මෙහෙම අවස්ථාවක ජාත්‍යන්තර ජුඩෝ සංගමය මගින් අවස්ථා දෙකක දී අපට ඇඳුම් කට්ටල ලබා දුන්නා.

මුලින්ම ඇඳුම් කට්ටල එකසිය පනහක් ලබාදුන්නා. නමුත් හිටපු නිලධාරීන් ඒ වගෙන් කොටසක් ළමයින්ට විකුණලා සල්ලි ගත්තා. ඒ සල්ලිවලට වුණ දෙයක් නෑ. ඒ වගේම ඉතිරි ඇඳුම්වලට වෙච්ච දේකුත් නෑ. ඒ වගේම මේ පිළිබඳ නිසි පරීක්ෂණකුත් නෑ.

නැවතත් එම සංගමය හරහා ශ්‍රී ලංකා ජුඩෝ සංගමයට ඇඳුම් කට්ටල 450ක් ලැබිලා තියෙනවා. නමුත් මෙම සභාපතිවරයාත් ලෑස්ති වෙන්නේ මේ ඇඳුම් ටිකත් ළමයින්ට විකුණන්න. එකක් ඇඳුමක් රුපියල් විසිදහසේ සිට රුපියල් හතළිස්දහස දක්වා වූ මුදලකට.

ඒ වගේම ඔස්ටි්‍රයා සංචාරයක් ලැබිලා තියෙනවා ජුඩෝ තරගයක් සඳහා. මේකට සහභාගී වන පුද්ගලයා ජුඩෝ කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති අයෙක් වීම.

ඒ වගේම මෙම සභාපතිවරයා ලේකම්තුමා ඇතුළු අනිකුත් නිලධාරීන්ගේ අත්සන් අවභාවිත කරනවා. ඇමෙරිකාව ඇතුළු රටවලින් ක්‍රීඩකයන් සහභාගි කරවන්න කියලා ලිපි ආවම සභාපතිවරයා ලේකම්වරයාගේ හා අනු කමිටු සාමාජිකයන්ගේ අනුදැනීමකින් තොරව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඔහුගේ හිතවතුන්ගේ නම් යොදා අනුමැති ලිපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ අකටයුතු දූෂණ වංචා දිගින් දිගටම මේ ආකාරයට සිදුවෙනවා.

එසේ ම ශ්‍රී ලංකා ජුඩෝ සංගමයේ වැදගත් තනතුරු දෙකක් තමයි ජාතික පුහුණුකරු හා පුහුණුකරු තේරීම් කමිටු සභාපති කියන එක. මේ තනතුරු දෙක තෝරාපත් කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය තුළ විධිමත් ක්‍රියා පටිපාටියක් තියෙනවා. නමුත් ශ්‍රී ලංකා ජුඩෝ සංගමය ඒ නිවැරදි ක්‍රියා පටිපාටියෙන් පරිබාහිරව හිතවත් නුසුදුසු පුද්ගලයන් ඒ සඳහා තෝරාපත් කරගෙන තියෙනවා.

ඒ ආකාරයට වර්තමාන සභාපතිවරයාගේ සහෝදරයා තමයි තේරීම් කමිටු සභාපති ධුරයට පත්කර ගෙන තියෙන්නේ. මේ තුළින් සිදු වන්නේ ජුඩෝ ක්‍රීඩාවට හා දක්ෂයන්ට අගතියක් මිස ක්‍රීඩාවේ උන්නතියක් ඇති නොවේ.

මෙවැනි විශාල ආක්‍රමිකතා රැසක් සිදුවෙලා තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ මේවා පිළිබඳව විධිමත්ව සොයාබැලීමක් හා පරීක්ෂණයක් කරන්න කියලා.

මෙම මාධ්‍ය හමුවේදී තවත් අක්‍රමතා රැසක් ද හෙළි කරන ලදී.

මෙම චෝදනා සම්බන්ධයෙන් ජුඩෝ සංගම් සභාපති මංජුල වීරසිංහ මහතා ගෙන් විමසූ අතර ඔහු ප්‍රකාශ කළේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. එසේම මෙම පරිත්‍යාග ලෙස ලැබුණු ජුඩෝ ඇඳුම් සඳහා රේගුවට මුදලක් ගෙවීමට සිදුවන හෙයින් එය පියවා ගැනීමට මෙම ඇඳුම් විකිණීමට තීරණය කළ බව ද ඔහු පැවසීය.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment