ජූඩෝ සංගමයට මඩ ගසන චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා

112

චෝදනාව නඟන අයට චෝදනා
ජූඩෝ සංගමයේ සභාපති වින්ග් කමාන්ඩර් මංජුල වීරසිංහ
පුවත ගැන කරුණු පහදයි

“ජූඩෝ සංගමයේ අක්‍රමිකතා; ක්‍රීඩාව පිරිහිලා” යන හිසින් ඉකුත් 05 වැනිදා අප පුවත්පතේ ක්‍රීඩා අතිරේකයේ පළවූ පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ සභාපති වින්ග් කමාන්ඩර් මංජුල වීරසිංහ මහතා කරුණු පැහැදිලි කිරීමක් එවා ඇත.

ඒ අනුව එම පුවතට පාදක වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පුද්ගලයා ක්‍රීඩාවේ මුවාවෙන් දෙවතාවක් ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායම හා ශ්‍රී ලංකා ජුජුබ්සු කණ්ඩායම නියෝජනය කරමින් 2006 වසරේදී කොරියාවේදී, ප්‍රංශයේදී අතුරුදන් වී නැවත ලංකාවට නොපැමිණ සිටි අයකු බවත් ඒ හේතුවෙන් නාවික හමුදාවෙන් ද ක්‍රීඩා නිලධාරි තනතුරෙහිද නෙරපා දැමූ අයකු බව ජූඩෝ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරයි.

එසේම මෙම පුවතේ පළවූ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අවධාරණය කරන සභාපතිවරයා ජූඩෝ සංගමයේ අභිවෘද්ධිය උදෙසා විශාල කාර්යභාරයක නිරතව සිටින විට සංගමයේ නිලධාරීන් ඉලක්ක කර එල්ල කරන අභූත චෝදනා පිළිකුලෙන් හෙළා දකින බවද අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ සම්පූර්ණ කරුණු පැහැදිලි කිරීම පහතින් දැක්වේ.

ඉහත සඳහන් පුවතේ මාතෘකාව වූයේ ජූඩෝ සංගමයට එරෙහිව චෝදනා රැසක් යන්නය. මෙම චෝදනා ඉදිරිපත් කරන ලද පුද්ගලයා ක්‍රීඩාවේ මුවාවෙන් දෙවතාවක් ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජුජුබ්සු කණ්ඩායම නියෝජනය කරමින් 2006 වසරේදී කොරියාවේදී සහ ප්‍රංශයේදී අතුරුදහන් වී නැවත ලංකාවට නොපැමිණ සිට එම හේතුව මත ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ද නෙරපා දැමූ, ක්‍රීඩා නිලධාරි තනතුරින් ද නෙරපා දැමූ ඩබ්ලිව්. තුසිත රංග ප්‍රනාන්දු යන අය බව ඔබගේ දැනගැනීම පිණිස මුලින්ම සඳහන් කළ යුතුය.

මෙවැනි පුද්ගලයකුගේ චෝදනාවන් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පළකිරීම සම්බන්ධයෙන් මාගේ දැඩි අප්‍රසාදය පළ කර සිටිමි. ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ නිලවරණය සඳහා ද මෙම පුද්ගලයා නාමයෝජනා ඉදිරිපත් කළ අතර ඉහත කී කාරණා හේතුවෙන් ඔහුගේ නාමයෝජනාව ද ප්‍රතික්ෂේප විය.

ශ්‍රී ලංකාවේ ජූඩෝ ක්‍රීඩාව ඉතා පහළ මට්ටමක පැවතණ අවධියක වටිනා ජූඩෝ මධ්‍යස්ථානය අතහැර දමා ගරා වැටී තිබියදී සභාපතිවරයා වන තමා විසින් අන්තර්ජාතික ජූඩෝ සම්මේලනයෙන් කළ ඉල්ලීමකට අනුව ලැබුණු මූල්‍ය පරිත්‍යාගයෙන් අප විධායක කමිටුව විසින් එම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් පිළිසකරකොට අවසන් කරන ලදී.

පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුදල් ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව නිසි ආකාරව පොත්පත්වල සටහන් තබා රජයේ විගණනයන්ට ලක්ව නිරවුල් විගණන වාර්තා ද රජයේ විගණන දෙපාර්තමේන්තුවෙන් අප වෙත ලැබී ඇත. සියලුම වියදම් විනිවිද භාවයෙන් යුතුව විධායක කමිටු අනුමැතිය ලබාගෙන සිදුකර ඇත.

2021 වර්ෂයේ අන්තර් ජාතික ජූඩෝ සම්මේලනය මගින් ශ්‍රී ලංකා ජූඩෝ සංගමය වෙත ජූඩෝ ඇඳුම් කට්ටල 150ක ප්‍රමාණයක් ලැබී ඇති අතර එවකට සිටි සභාපති සහ යම් නිලධාරීන් පිරිසක් එම ඇඳුම් කට්ටලයන් නිදහස්කොට හොර රහසේ විකුණා ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වල මුදල් තැන්පත්කොට ගෙන ඇත. අප කමිටුව පත් වූ විගසම ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකොට ඉතිරි ජූඩෝ ඇඳුම් ප්‍රමාණය සංගමය භාරයට ගෙන වරද කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවරයන් ගෙන ඇත.

අප සංගමයේ වත්මන් සභාපති වන තමාගේ ඉල්ලීම පරිදි අන්තර් ජාතික ජූඩෝ සම්මේලනය මගින් අප සංගමය වෙත ජූඩෝ මෙට්ට සහ ඇඳුම් කට්ටලයන් ලැබුණු අතර එම ඇඳුම් කට්ටලයන් දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ලබාදීමට පියවර ගෙන ඇත. ලැබුණු ජූඩෝ මෙට්ටයන් ප්‍රතිසංස්කරණය කරන ජූඩෝ මධ්‍යස්ථානයේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පොදු ප්‍රයෝජනය වෙනුවෙන් අප ස්ථාපිත කර ඇත.

ඔස්ටි්‍රයානු සංචාරය සම්බන්ධව තමා හට චෝදනාවක් එල්ල කරන අතර කිසිදු ක්‍රීඩකයකු හෝ නිලධාරියකු එම සංචාරය සඳහා සහභාගි වී නොමැති බව වගකීමෙන් දන්වමි. තවද ජූඩෝ සංගමයේ විධායක කමිටුවේ සියලුම නිලධාරීන් ජූඩෝ සංගමයේ ව්‍යවස්ථාවට අනුකූලව පත්වූ නිලධාරීන් බවද සඳහන් කිරීමට කැමැත්තෙමි.

advertistmentadvertistment
advertistmentadvertistment