ජූලි 07 යි. – රට කුමක් කරයිද…?  – රටට කුමක් වෙයිද…?

1360

මේ වන විට රට මුහුණ දී ඇති බරපතළම අර්බුදය ඉන්ධන නොමැතිකමයි. පෙට්‍රල්, ඩීසල්, ලාම්පුතෙල් (භූමිතෙල්) හා එල්.පී. ගෑස් ඊට අයත් ය. මේවා කෙසේ හෝ සපයා දෙන්නට ආණ්ඩුවට හැකිනම්, අනෙකුත් ප්‍රශ්න යම් තාක් දුරට හෝ යටපත් කර, රට ගෙනයන්නට පාලකයන්ට තවමත් ඉතා කුඩා ඉඩක් ඉතිරිව තිබේ. (එනමුත් රටේ ආර්ථිකය කාබාසිනියා කරන ලද පාපයෙන් කිසිලෙසකින්වත් මිදෙන්නට ඔවුන්ට අවස්ථාවක් නැත). ඒ පුංචිම පුංචි ඉඩ නොහොත් අවස්ථාව රටේ ජනතාව පෝලිම් තුළ දහ දුක් විඳිමින් තවමත් ඉවසමින් ආණ්ඩුවට ලබාදෙන්නේ අදින් මාස තුනකට පමණ පෙර සිටය. නමුත්, සති තුනක් ඉවසන්න ප්‍රශ්නය විසඳනවා කිව්ව අගමැතිවරයා ප්‍රමුඛ ඔහුගේ නව ආණ්ඩුවට තෙල් අර්බුදය විසඳන්නට හැකියාවක් තවමත් ලැබී නැත. මේ අතර බලශක්ති ඇමැති කංචන විජේසේකර කියන්නේ රටට ගෙනාපු තෙල්වලටත් තවමත් මුදල් ගෙවන්නට ඇති බව හා තෙල් ගෙනෙන්නට වත්කමක් නැති බවය. ඇමැති හරීන් ප්‍රනාන්දු මේ අතර ආණ්ඩුවේ

 දුක්ගන්නාරාළ බවට පත්වී, ඩීසල් නැව්, පැට්‍රල් නැව් අද එනවා, හෙට එනවා යැයි කියයි. ඔහු කියන අන්දමට ඉදිරි කාලයේම තෙල් නැව් රටට ළඟා වේ.

 නමුත් සැබෑව නම්, ටෝකන් කියා මළඉලව්වක් දී සිපෙට්කෝ ෂෙඩ් අසලින් තෙල් පෝලිම් ඉවත් කර, ඒ ඔස්සේ නැගෙන ජනතා විරෝධය ආණ්ඩුව හීං නූලෙන් අවසන් කර ඇත. දැන් ප්‍රශ්නය ඉන්දියන් ඔයිල් සමාගම පිට පටවා ඇති අතර, ජනතාව උදේ රෑ නැතිව දින  ගණන් ළගින්නේ අයි.ඕ.සී පෝලිම් තුළ ය. ඒ තෙල් බෙදිල්ලේ ද ක්‍රමවත් බවක් නැති අතර, සෑම අයි. ඕ. සී. තෙල් බෙදිල්ලකින්ම පාහේ අක්‍රමිකතා වාර්තාවේ. චණ්ඩින් හා ඒ ඒ ටවුන්වල බලපුළුවන්කාරයින් කුමන අටමගලක් ගසා හෝ තමන්ගේ පංගුව ගාණට  රැස්කරගන්නා අතර, පෝලිම් තුළ පිටුපස සිටින ජනයා මේ කිසිවක් නොදැන කාලය කා දමා, ඉන්ධන අවසන් යැයි කී පසු හිස් අතින්ම ආපහු නිවසට හෝ තවත් තෙල් පෝලිමක් සොයාගෙන යති.

 සැබැවින්ම හමුදාව, පොලිසිය තෙල් බෙදීම අධීක්ෂණය කරන්නට යෙදුවාට ඒ ඒ ඉන්ධනහල් තුළ ඉන්ධන අපේක්ෂාවෙන් සිටින ජනයාගේ අසහනය, කෝපය, අපේක්ෂා භංගත්වය වර්ධනය කරනු ලබනු මිස සහනයකට හේතු නොවන බව පෙනෙන්නට තිබේ. ඉන්ධන බෙදාහැරීම ආරම්භ වූ මොහොතේදීම කට පිරෙන්නට තෙල් ගසාගන්නේ පොලිසියේ වාහනවලට ය. අත්‍යවශ්‍ය සේවා යැයි වෙන්කරගන්නා කොටසෙන්ද ඔවුන්ට තෙල් ලබාගන්නා අතර, ජනතාවට නිකුත් කරන කෝටා එකෙන්ද පළමුව තෙල් යම් ප්‍රමාණයක් ඔවුහු ලබාගනිති. හමුදාව තුවක්කු එල්ලාගෙන බලා සිටිති. නැතහොත්, කුරුණෑගල යග්ගහපිටිය ඉන්ධනහලේදී ලුතිනන් කර්නල් විරාජ් කුමාරසිංහ (ලෝකල් ඉඩී අමීන්) තරුණයකුට පා පහර දුන්නාක් මෙන් ජනතාවටම පහර දෙති. පිස්තෝල අමෝරාගෙන තරුණයන්ට පහර දෙන පොලිසියට ද මේ චෝදනාව අදාළ ය.

 සැබැවින්ම මේ තරම් ජනයා වලිකන්නේ ඉන්ධන අවශ්‍යතාව සපුරාගෙන රටට බරක් නොවී, තම එදිනෙදා ගතමනාව සොයාගන්නටය. ඉන්ධන ඇත්නම් රටේ මොන ව්‍යාපාරයත්, මොන කර්මාන්තයත් ඉබේම කෙරෙනු ඇත. ඒ හරියට මෙරට සියලු ආකාරයේ  ගොවිතැන් මෙනි. ගොවියන් රටට වුවමනා පරිදි ගොවිතැන් කරනවා මිස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආණ්ඩුව කරන කෙංගෙඩියක් නැත. තෙල් දුන්නොත් සල්ලි හොයන චක්‍රය ඉබේම කරකැවෙන්නට පටන් ගන්නවා ඇත. ප්‍රවාහනය නැතිව අද ඈත ගම් දනව්වල අමාරුවෙන් හදා අස්වනු ගන්නා එළවළු, පලතුරු ටික නගරයට ගෙනෙන්නට නොහැකිව ළතැවෙති. මසුන් මරන්නට යන්නට නොහැකිව සුඩයා, සාලයාගේ සිට සියලු මාළු ගිනි ගණන්ය. හාල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය දෑ රට පුරා හරියට සංසරණය නොවේ. ගොවියාට පොහොර, බෙහෙත් තියා කුඹුර හාගන්නට, වල් ටික කපාදමන්නට, බැත පාහින්නට තෙල් ටික නැත. මේ අර්බුදයෙන් සියලු සැපයුම් කඩා වැටී ඇත. තෙල් අර්බුදය නොවිසඳී ඉදිරියට යන තාක් කල් රටේ ආහාර අර්බුදය ඇතුළු ජන දිවියට අදාළ අත්‍යවශ්‍ය සැපයුම් දිනෙන් දින අර්බුදයට ලක්වන බව ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව තේරුම් ගත යුතුය. (අප මෙහිදී අත්‍යවශ්‍ය සැපයුම් ලෙස අර්ථදක්වන්නේ අත්‍යවශ්‍ය සේවා අංශ නොවේ. එය වෙනම අර්බුදයකි. මන්ද මේ සියල්ල ජාල ගතවී ඇති නිසාය.) මේ අර්බුදය තේරුම් ගෙන ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතුය. නැතහොත් රට කොතනින් කොතැනට යයිද, රට කොතනින් නතර වෙයිද දන්නේ කවුරුන්ද..?

 අගමැතිවරයා මේ අර්බුදය විසඳන්නට සති 3 ක් දෙන ලෙස ඉල්ලා සිටියද, ජනාධිපතිවරයා මේ සඳහා කිසිදු පැහැදිලි කිරීමක් මේ දක්වා නොකිරීම රටේ ජනයාට විශාල ප්‍රශ්නයක් බව නොකිවමනා ය. 2019 දී රට භාරගන්නා මොහොතේත් රටේ ඉතිරිව ඇත්තේ මෙතරම් මුදල් (ඩොලර් සංචිත) ප්‍රමාණයක් බව ඔහුට කියන්නට අවස්ථාව තිබිණි. නැතහොත්, ගතවූ අවුරුදු දෙක හමාරක් තුළ රටට වෙන විපත්තිය රටට කියන්නට ඔහුට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. නමුත් ඒ කිසිවක් නොකළ හෙතෙම අඩුම තරමින් තේරෙන භාෂාවකින්, අකර්ෂණීයව ජාතිය අමතා කියන්නට තිබුණු දේ ජනතාවට තේරෙන අයුරින් කියන්නටවත් ඔහු දක්ෂයකු නොවීය. අදටත් රටට වෙන දේ කියන්නට ඔහුගේ මුව විවෘත නොවීම බරපතළ අඩුවකි. බරපතළ ප්‍රශ්නයකි. ජාතිය බින්දුවටම වැටී ඇති මෙවන් මොහොතක හෝ රට ගොඩගන්නා උත්සාහය රටට කීම ඔහුගේ යුතුකමකි. නැතහොත් සිදුවන්නේ පෙරේදා (05) පාර්ලිමේන්තුවේදී සිදු වූ පරිදි “ගෝ හෝම් ගෝඨා” කියා ඔහු නැගිට යනතෙක්ම රටේ විරෝධතා දියත්වීමය.

 සැබවින්ම මේ නම් අති අසාර්ථක පාලන යුගයකි. ආර්ථික අවපාතයට ගෝඨා පමණක් වගකිව යුතු නැතත්, අඩුම තරමින් 69 ලක්ෂයක් ජනතාව විශ්වාස තබා අල්ලස, දූෂණය, නාස්තිය, හොරකම නැති “ප්‍රමිති ගත” රටක් හදන්නට ගෝඨාභය ජනාධිපතිවරයාට දුන් අවස්ථාව ඔහුට ඉතා හොඳින් ප්‍රයෝජනයට ගන්නට තිබිණි. කටක් ඇර වචනයක් කියන්න, තෙල් අර්බුදයවත් විසඳා ප්‍රවාහන චක්‍රය කරකවා දෙන්නට ඔහුට හෝ අගමැතිවරයාට හෝ කංචන ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුවට තවමත් අවස්ථාවක් තිබේ. ඒ අප මුලින් කිවූ ජනතාවගේ ඉවසීමෙන් ලබාදී ඇති පුංචිම පුංචි ඉඩය. ඒ ඉඩත් අවහිර වූ දාට රට කුමක් කරයිද….? රටට කුමක් වෙයිද…?

advertistmentadvertistment
advertistmentadvertistment