ජේලර්වරියක් මරන්න ජේලර්වරියකගෙන් ම කොන්ත්‍රාත්තුවක්

765

බන්ධනාගාරයෙන් ඇසෙන අලුත්ම කතාව

මෙරට බන්ධනාගාර පද්ධතිය පිළිබඳ රට්ටුන් අතර ඇත්තේ එතරම් හොඳ චිත්‍රයක් නොවේ. බන්ධනාගාරගතව සිටින ඇතැම් පාතාල නායකයන් මත්කුඩු ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම් බන්ධනාගාර තුළ සිට මෙහෙයවන බවට විවිධ මත පලවී තිබේ. ඒ විතරක් නොව ඇතැම් පාතාල නායකයන් මිනීමැරුම් කොන්ත්‍රාත් ලබා දෙන්නේ ද බන්ධනාගාර තුළ සිටිමිනි. මේ අතර බන්ධනාගාර නිලධාරීන් මරා දැමීම සඳහා පාතාලය විසින් කොන්ත්‍රාත් ලබාදුන් අවස්ථා ද පසුගිය කාලයේ වාර්තා වී තිබුණි. එහෙත් අපි මේ කියන්නට යන්නේ ඊට වඩා වෙනස් කථාවකි. ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් විසින් එම බන්ධනාගාරයේම රාජකාරි කරන බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරීම සඳහා ලබා දුන් කොන්ත්‍රාත්තුවකි.

මෙකී ඝාතන කොන්ත්‍රාත්තුවේ ඇත්ත නැත්ත කෙසේ වුවද බන්ධනාගාර ජේලර්වරිය විසින් තමන් ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බටට ඇය ගාල්ල පොලිසියට පැමිණිලි කොට තිබුණි. පොලිසිය විසින් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය. දෙපාර්ශ්වයේම සාක්ෂි සටහන් කරගෙන එම කරුණු අධිකරණය වෙත වාර්තා කිරීමට ද කටයුතු කරනු ලැබීය. බන්ධනාගාර නිලධාරීන් තුළ මෙන්ම ආරක්ෂක අංශවල නිලධාරීන් අතර නිලතල හා උසස්වීම් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇත්තේද දැඩි තරගයකි. නිලතල උසස්වීම් ලබා ගැනීමේදී කැපිලි කෙටිලිවලින් අඩුවක් නැත. ඇතමුන් තනතුරුවලින් ඉදිමී සිටිති. මෙකී බන්ධනාගාර ජේලර්වරිය විසින් බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ජේලර්වරියගේ රැකියාවේ උසස්වීම් පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් බවට පොලිසිය විසින් කරනු ලැබූ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මේ පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ද වෙනම විමර්ශනයක් ආරම්භකොට තිබේ. එකී විමර්ශනවලට අනුව මෙකී බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවේ සුලමුල අනාවරණය වන්නේ මේ අයුරිනි.

මෙකී වර්ෂයේ ජනවාරි මාසයේ මුල් භාගය තුළ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර මොළේ උණ රෝගය පැතිරී ගොස් තිබුණි. මොළේ උණ වැළඳීමෙන් රැඳවියන් දෙදෙනකු මියගිය අතර තවත් රැඳවියන් පිරිසකට මොළේ උණ රෝගය වැළඳී තිබුණි. රෝගය පැතිර යෑම පාලනය කිරීම සඳහා ගාල්ල බන්ධනාගාරගත කරන නව රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට මාරුකර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් කටයුතු කර තිබුණි. අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට නව රැඳවියන් පිටත්කර යවන තෙක් ගාල්ල බන්ධනාගාරය තුළ එම රැඳවියන් වෙනම රඳවා තැබීමට කටයුතු කර තිබුණි. එහෙත් මෙකී සිද්ධියට සම්බන්ධ බන්ධනාගාර ජේලර්වරිය විසින් එම උපදෙස් කඩකර නව රැඳවියන් හා පරණ රැඳවියන් එකට රඳවා තැබීමට කටයුතු කර තිබුණි. එම අවස්ථාවේ බන්ධනාගාර නියාමකවරිය ද බන්ධනාගාර ජේලර්වරිය සමග රාජකාරි කරමින් සිටියාය.

පරණ රැඳවියන් හා අලුත් රැඳවියන් එකට රඳවා තැබීමට ක්‍රියාකිරීම තුළින් නිරෝධායන කටයුතු කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ජේලර්වරියට චෝදනා එල්ලවී තිබුණි. මේ සිද්ධිය පිළිබඳ බන්ධනාගාර අධිකාරිවරයාට ද වාර්තා වී තිබුණි. නිරෝධායන කටයුතු කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ජේලර්වරියට එරෙහිව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් විනය පරීකෂණයක් ආරම්භ කරනු ලැබීය. මෙකී සිද්ධිය පිළිබඳ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවේ බන්ධනාගාර නියාමකවරිය බවට ජේලර්වරිය සැක කළාය. මෙම සිද්ධියත් සමග දෙදෙනා අතර එතරම් ඇයිහොදැයියක් නොවීය. දෙදෙනා එකට රාජකාරි කළද ජේලර්වරිය හා නියාමකවරිය අතර වැඩි කථාබහක් නොතිබුණි. මේ අතර බන්ධනාගාර ජේලර්වරියට පළමු පෙළ ජේලර්වරියක් ලෙස උසස්වීමක් ලැබීමට නියමිතව තිබුණි. ඇය ඒ සඳහා සියලු සුදුසුකම් සපුරා තිබූ අතර ඇයට විරුද්ධව ඇති විනය පරීක්ෂණය මෙකී උසස්වීම ලබාගැනීම සඳහා බාධාවක් වේ යැයි ඇයට සිතුණි. බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට ගතු කියා තමන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය පසුබිම සකස්කරනු ලැබුවේ බන්ධනාගාර නියාමකවරිය බවට ජේලර්වරිය සිතුවාය.

මෙකී සිද්ධියත් සමග ඇය බන්ධනාගාර නියාමකවරිය සමග වෛර බැඳගත්තාය. එහෙත් දෙදෙනා අතර එතරම් ලොකු ප්‍රශ්නයක් නොවීය. කාලය කෙමින් ගෙවී යමින් පැවතුණි. මිනීමරුම් චෝදනාවකට අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ගාල්ල බන්ධනාගාරය තුළ රඳවා සිටියාය. එම රැඳවි කාන්තාව සංවිධානාත්මක අපරාධකරුවකු වන අහුන්ගල්ලේ ලොකු පැටීගේ ආධාරකාරියක් බවට හඳුනාගෙන තිබුණි. ඇයට ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ලවී තිබුණි.

බන්ධනාගාර නියාමක නෝනා ඝාතනය කරන්න කියලා ජේලර් මිස් මට කොන්ත්‍රාත්තුවක් දුන්නා. නමුත් මම ඒ වගේ වැරදි වැඩ කරන්නේ නැහැ. මට අවශ්‍ය නඩු ටික ඉවර කරගෙන ඉක්මනට මෙතනින් යන්න. රැඳවි කාන්තාව නියාමකවරියගේ හිතවත් නිලධාරිණියකට කීවාය. මෙන්න මෙහෙම කාථාවක් තියෙනවා. ටිකක් ප්‍රවේශම් වෙලා ඉන්න. බන්ධනාගාර නියාමකවරියට ඇයගේ හිතවත් නිලධාරිණිය කීවාය. මේ කථාව ඇසීමෙන් ඇය දැඩි තිගැස්සීමකට ලක්ව සිටියාය. පසුව බන්ධනාගාර නියාමකවරිය විසින් රැඳවි කාන්තාව හා ජේලර්වරිය මුහුණට මුහුණ මුණගස්වා මෙකී ඝාතන කොන්ත්‍රාත්තුවේ ඇත්ත නැත්ත පිළිබඳ විමසුවාය. එම අවස්ථාවේදී ජේලර්වරිය කිසිවක් කීවේ නැත. ඇය නිහඬව සිටියාය. මේ නිසා බන්ධනාගාර නියාමකවරියට ජේලර්වරිය පිළිබඳ දැඩි සැකයක් ඇතිවිය. මෙකී සිද්ධියත් සමග තමන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බව බන්ධනාගාර නියාමකවරිය බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබීය. මෙකී ඝාතන කොන්ත්‍රාත්තුවේ ඇත්ත නැත්ත පිළිබඳ සොයා බැලීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ද පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.

රැඳවි කාන්තාව කියන්නේ සත්‍යයක්ද? බන්ධනාගාර නියාමකවරිය මේ පිළිබඳ විමසීමේදී ජේලර්වරිය නිහඬව සිටියේ ඇයි? මම එහෙම කොන්ත්‍රාත්තුවක් දුන්නේ නැහැ. ජේලර්වරියට රැඳවි කාන්තාව ඉදිරියේ පැවසීමට තිබුණි. මෙකී කරුණු කාරණා හේතුවෙන් මෙකී ඝාතන කොන්ත්‍රාත්තුව පොලිස් පොතේ ද සටහන් විය. ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය මගින් මේ පිළිබඳ පරීක්ෂණයක්ද සිදුකරනු ලැබීය. මෙකී ඝාතන කොන්ත්‍රාත්තුව පිළිබඳ සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන තිබේ. එකී විශේෂ පොලිස් කණ්ඩායම ගාල්ල බන්ධනාගාරයට පැමිණ රැඳවි කාන්තාවගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන පරීක්ෂණ ආරම්භකොට ඇත.

මෙකී සිද්ධියත් සමග බන්ධනාගාර ජේලර්වරිය වැලිකඩ බන්ධනාගාරයට මාරුකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් කටයුතු කර තිබේ. ඇය ජේලර් පළමු පෙළ තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයට ද ඉකුත් 16 වැනිදින ඉදිරිපත් වූවාය. මෙම සිද්ධිය මිනීමරා ගැනීමට තරම් දෙයක් නෙවෙයි. ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ අදහසයි. මෙකී ඝාතන කොන්ත්‍රාත්තුව ඇත්තක්ද? රැඳවි කාන්තාව කියන කථාව පිළිගත හැකිද? ඇය විසින් ගෙතූ බොරුවක් ද යන්න පිළිබඳ ඉදිරි පරීක්ෂණවලදී අනාවරණය වනු ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment