විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි තරම් දරුණු කොන්දේ අමාරුවකින් පෙළෙන බවට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලක ලිපි ශීර්ෂය යටතේ තම අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ ආර්.පී.කේ. චන්දන නමැති වෛද්‍යවරයාට එරෙහිව වහාම සුදුසු පියවර ගන්නා ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
වෙනත් වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කරමින් සිටියදී එකී වෛද්‍යවරයාට එම පෞද්ගලික රෝහලේ ලිපි ශීර්ෂය භාවිත කර එවැනි වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමේ නෛතික හැකියාවක් නොමැති බවත් එම නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එවැනි වෛද්‍යවරයකු වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ඇති දැයි සොයාබලන ලෙසට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අධ්‍යක්ෂවරයාට වැඩිදුරටත් නියෝග කළේය.
ආර්.පී.කේ. චන්දන නමැති වෛද්‍යවරයා සිය රෝහලේ සේවය නොකරන බවත් ඔහුට ප්‍රශ්නගත වෛද්‍ය වාර්තාව සිය රෝහලේ ලිපි ශීර්ෂය යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බවත්, නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි එම පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරයා ලිඛිතව අධිකරණයට දන්වා ඇති බවත් පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා කරුණු දක්වමින් කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එකී නියෝගය කළේය. පෙරකී චන්දන නමැති වෛද්‍යවරයා කටයුතු කර ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදයට සම්පූර්ණයෙන්ම පටහැනි ආකාරයෙන් බවත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කරන එවැනි අයකුට එවැනි සුප්‍රසිද්ධ රෝහලක ලිපි ශීර්ෂය භාවිත කරමින් එවැනි වෛද්‍ය වාර්තාවක් අධිකරණය නොමග යවන ආකාරයෙන් යොමු කිරීම මෙන්ම තම අධිකරණය හමුවට ඉදිරිපත් කළ පෙරකී මුල් වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසද දන්වා නාරාහේන්පිට රෝහලට යොමු කළ ලිපිය ඔහුට ලැබුණේ කෙසේ දැයි ප්‍රශ්න සහගත වන්නේ යැයි ද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
එබැවින් එකී වෛද්‍ය වාර්තාව පිළිබඳව තොරතුරු විමසා පෙර කී පෞද්ගලික රෝහල වෙත තම අධිකරණය යොමු කළ ලිපිය එයට ලැබුණු පිළිතුරු ලිපිය ඇතුළු සියලු ලේඛන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත යොමු කරන ලෙසට ද මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මහාධිකරණ ප්‍රධාන ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක