ජොනීගේ පෙත්සම 5 වැනිදා කැඳවයි

50

නීති විරෝධී ලෙස කොටස් එකළස් කර සකස් කරන ලද බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ වාහනයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අනුව තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 5 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (25 දා) නියෝග කළේය.

එම පෙත්සම ඊයේ (25 දා) මොහොමඩ් ලෆාර් සහ පී.කුමාරන්රත්නම් යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. පසුගිය 22 වැනිදා අභියාචනාධිකරණයට ලබාදුන් පොරොන්දුව අනුව සිය සේවාදායකයා පසුගිය (23දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් එකී පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබාදුන් බවත් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල පල්ලියගේ මහතා විනිසුරු මඬුල්ලට පැවැසීය. සිය සේවාදායකයා වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අමතර ලේඛන ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා කල් ලබාදෙන ලෙසට ද නීතිඥ අමිල පල්ලියගේ මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment