ජොනී රිමාන්ඩ්

764

BMW චැසි අංකය යම් අපරාධ ක්‍රියාවකට යොදාගත් එංගලන්තයෙන් සොරාගත් රථයක එකක්
සීඅයිඩීය කියයි

නීත්‍යනුකූලව ලියාපදිංචි නොකර කොටස් එකලස් කර සකස් කරන ලද රුපියල් කෝටි ගණනක් වටිනා බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ සඟවා තිබියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබන 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (23දා) පස්වරුවේ නියෝග කළාය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා ඊයේ (23දා) උදෑසන 9.00ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් පැය 5ක් ප්‍රශ්නකොට ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. සිය සේවාදායකයාට එරෙහිව එල්ල කර ඇත්තේ මෝටර් රථ ආඥා පනත යටතේ දඩ නියම කළ හැකි වැරදි වන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙස සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

එකී බී.එම්.ඩබ්ලිව්. වාහනයේ චැසි ඉදිරිපත් කොට ජාත්‍යන්තර පොලිසිය හරහා මෙතෙක් සිදු කළ විමර්ශන අනුව එකී චැසි අංකය සහිත වාහනය එංගලන්තයේදී සොරකම් කර යම්කිසි අපරාධමය වරදක් සඳහා යොදා ගත් වාහනයක් බවට අනාවරණය වී ඇතැයි විමර්ශන සිදු කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එවැනි චැසි අංකය සහිත වාහන කොටස හා අනෙකුත් අමතර කොටස් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ කෙසේ ද යන කරුණු මෙන්ම ඒවා ගෙන්වා එකලස් කරනු ලැබුවේ කවුරුන් විසින් ද යන කරුණු අනාවරණය කර ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් එකී විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් සැකකරු ඇප මත මුදා හළහොත් ඔහු යළිත් අධිකරණය හා පොලිසිය මඟහැර යෑමේ ප්‍රවණතාවයක් ඇති බවත් විමරශන නිලධාරීහු එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවැසූහ.

විමර්ශන නිලධාරීන් පවසන පරිදි එකී විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බව පෙනී යන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට සැකකරු කෙටි දිනකට රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට තම අධිකරණය තීරණය කළ බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය එලෙස සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. සතියක් ඇතුළත විමර්ශන අවසන් කොට විමර්ශන ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය. නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක, හේමන්ත රන්දුණු
ඡායාරූපය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment