දිනය 1993 ජූලි 31 දා ය. වසර 30කට පෙර, ශ්‍රී ලංකාවේ වඩාත් ම කැපී පෙනුණ නූතන චිත්‍ර ශිල්පියා මිය ගියේ ය. 1901 දී ඉපිද 90 දශකය වන තුරු ම මුළු 20 වන සියවස ම පාහේ අත්දකිමින් එය කලාත්මක ඇසකින් හැඩගැස්වූ මේ පින්සලේ නිහතමානී හිමිකරු ජෝජ් කීට් ය.
ජෝජ් කීට්: චිත්‍ර ශිල්පියකුගේ ජීවිතය චිත්‍රයට නඟන්නට

ඔහු ජීවතුන් අතර සිටිය දී මෙන් ම 1993න් පසුව ද ඔහුව මෙරට හා විදෙස් පර්යේෂකයින්ගේ අධ්‍යයනයන්ට විෂයපථය වී තිබේ.

කීට්ගේ පින්සලෙන් නිමවූ කලා නිර්මාණ ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ මෙන් ම මුළුමහත් ආසියාවේ ම නූතන චිත්‍ර කලාව නිදර්ශනය කරන අග්‍රගණ්‍ය නිදසුන් ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජාතික චිත්‍ර ශිල්පියා වශයෙන් තමාව ගොඩනැඟූ කීට්, අපූර්ව මාවතක ගමන් කළේ ය. ඉන්දියාව සමඟ ඔහුගේ සබඳතා, සංචාර හා ඔහුට ඉන් ඇති කළ බලපෑම අධ්‍යයනයට පාත්‍රව ඇතත්, ඒ පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් සැමදා අවශ්‍යතාවක්ව පවතී. කෙසේවෙතත්, නවත ම අධ්‍යයනයන් ඔහුගේ පසුකාලීන කලා දිවිය කෙරෙහි අනුබලයක් වූ ඔහුගේ ජීවිතයේ මුල් අවධියේ පැතිකඩ අනාවරණය කරගෙන තිබේ.

පර්යේෂණ හරහා ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ නූතන කලා ව්‍යාපාර අතර පැවැති සම්බන්ධතා මෙන් ම දකුණු ආසියාවේ හා ආසියාවේ සංස්කෘතික නූතනවාදය කෙරෙහි ශ්‍රී ලංකාවේ දායකත්වය මතු කොට ගෙන තිබේ. කීට්ගේ කලාත්මක ගමන්මග පෙන්නුම් කරන ආකාරයට බුදු දහමින් ආභාසය ලැබූ ඔහුගේ මුල් ජීවිතය, ඉන්දියාවේ වඩා විශාල කලාත්මක හා සංස්කෘතික පරිසරය වෙතින් අනුබල ලැබූ වර්ෂ සේ ම වැදගත් ය.

20 වන සියවසේ මුල් භාගයේ දී මහනුවර දී උපත ලැබූ කීට් මුළුමනින්ම බටහිරකරණයට ලක් වූ හා ඇංග්ලිකානු ආගමික, මධ්‍යම පාන්තික පවුලක සාමාජිකයකු විය. මොවුන් බර්ගර් ජනවර්ගයට අයත් වූ අතර, මෙකල වනවිට බර්ගර්වරු සුවිශේෂී අනන්‍යතාවයක් සතු කරගනිමින් නීතිය හා වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්‍රවල ආධිපත්‍යධාරීහු වූහ. අතරමැදි සමාජමය ස්ථානයක් හිමිකරගෙන සිටි මොවුන් ඉතිහාසඥ මයිකල් රොබට්ස් “අතරමැදි මිනිසුන්” (People In-Between) ලෙස හඳුන්වයි.

කීට් තමාට උපතින් ලැබූ මෙම දායාදය ප්‍රතික්ෂේප කළේ ය. තම කිතුණු හා බටහිර ශික්ෂණයන්ගෙන් මිදී බුද්ධාගම වැළඳගත් ඔහු බෞද්ධ භික්ෂූන්ගෙන් සිංහල සමඟ පාලි, ඇතැම්විට සංස්කෘත ද ඉගෙන ගත්තේ ය. ඔහුගේ සමගාමීන්ගේ දිවිපෙවත අනුගමනය කිරීම පසෙක ලා ඔහු තමා ව ඔහුගේ දේශයේ සංස්කෘතිය තුළ ගිල්වූයේ ය.

1920 හා 1930 ගණන්වල දී ඔහු ලේඛකයෙකු හා කවියෙකු ලෙස කීර්තියක් ගොඩනඟා ගෙන සිටියේ ය. ඔහු සඟරා හා සංග්‍රහයන් ගණනාවකට ලිවීම ආරම්භ කළේ ය. තව ද මෙම අවධිය ඔහු කෙරෙහි ගැඹුරු බලපෑමක් කළ, ලංකාව තුළ ආගමික හා සංස්කෘතික වශයෙන් පුනර්ජීවනයක් ඇති වූ කාලපරිච්ඡේදයක් විය.

කීට්ගේ උපතින් වසර හතකට පසු, එනම් 1908 දී, ප්‍රවීණ ශාස්ත්‍රඥ ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි මහනුවර සංස්කෘතිය පිළිබඳ ඔහුගේ කුළුඳුල් නිර්මාණය, මධ්‍යකාලීන සිංහල කලා එළිදැක්වී ය. කීට්, කුමාරස්වාමිගේ ග්‍රන්ථය පරිශීලනය කළ අතර මහනුවර චිත්‍ර හා මූර්ති කෙරේ ඔහු ඉස්මතු කළ කාරණා මගින් විශාල ආභාසයක් ලැබී ය. මහනුවර සිද්ධස්ථාන නැරඹීමට හා ඒවායෙහි බිතු සිතුවම් නිරීක්ෂණයට කීට් ව මෙ මගින් පොළඹවන ලදී.

ජෝජ් කීට්: චිත්‍ර ශිල්පියකුගේ ජීවිතය චිත්‍රයට නඟන්නට

මේ වනතුරු පහත් සේ සලකා බැහැර කර තිබුණු මෙම බිතු සිතුවම් කුමාරස්වාමිගේ දැක්මට අනුව සාමාන්‍ය ජනතාවකගේ ජීවන රටා හා විශ්වාස නිදර්ශනය කරන්නන් විය. කීට්ට ද ඒවා සජීවීමය සබැඳියාවක් ම විය. පුදුමයක් නො වන පරිදි, ඔහුගේ මුල් රචනා හා චිත්‍රවල ඔහු බෞද්ධ තේමා මත පිහිටා කටයුතු කළේ ය.

1940 ගණන් තුළ කීට් තමා ව ප්‍රමුඛ පෙළේ ජාතික චිත්‍ර ශිල්පියෙකු ලෙස ගොඩනඟාගෙන තිබුණි. ඔහුගේ මුල් කාලීන නිර්මාණවල පැවැති සම්භාව්‍ය බවින් මිදී පැබ්ලෝ පිකාසෝ, ජෝජ්ස් බ්‍රාක් හා ෆර්නැන්ඩ් ලෙජර් වැන්නවුන්ගේ කලාව හා නූතනවාදය තුළ ඔහු තමා ව ගිල්වී ය. ඔහු, ඔහුගේ කාලයේ සම්මතයන් අත්දකිමින් ඒවාට අකීකරු වෙමින් සිටියේ ය. මේ වනවිට ඔහුගේ සමීප සගයෙකු වූ ඡායාරූප ශිල්පී ලයනල් වෙන්ඩ්ට් විසින් බිහි කළ, ශ්‍රී ලංකාවේ මෙන් ම ආසියාවේ ම ප්‍රථම නූතන කලා ව්‍යාපාරය, 43 කණ්ඩායමේ නායක පෞරුෂයක් බවට පත් ව සිටියේ ය.

තවද කීට් මේ වනවිට ඉන්දියාවේ කලාව හා සංස්කෘතිය හඳුනාගෙන තිබුණි. දෙවන ලෝක යුද්ධයේ හිනිපෙත්තේ දී ඔහු ඉන්දියාවට ගියේ ය. ඔහු භුබනේස්වර්, කොනාර්ක් හා තවත් සමහරක් ස්ථාන නැරඹූ අතර ඉන්දීය සංස්කෘතියේ සංකේතයක් බඳු වූ නවකතා රචක මුල්ක් රාජ් ආනන්ද් හා චිත්‍ර ශිල්පී එම්. එෆ්. හුසේන් ඇතුළු ඉන්දීය කලාකරුවන් සමග සබඳතා ගොඩනඟාගත්තේ ය.

විද්වතුන් විසින් අද අත්පත් කොටගෙන ඇත්තේ ඔහුගේ ජීවිතයේ ඉහත දැක්වූ අවධිය යි. එක් බැල්මකින් ම ඔවුන්ගේ ආශාව තේරුම්ගත හැකි ය. කීට් ඉන්දීය සංස්කෘතික උරුමය මගින් පන්නරය ලැබුවා පමණක් නොව ඔහු බොහොමයක් සමකාලීන සංස්කෘතික හා බුද්ධිමය කවයන්හි ප්‍රබල චරිතයක් විය.

මෙම කලාකරුවා පිළිබඳ වඩාත් පුළුල් ම අධ්‍යයනය සිදු කරන ලද්දේ ඔහුව කිසිදිනෙක හමු නො වූ ඉන්දීය ජාතික යශෝදරා ඩැල්මියා විසිනි. එනම්, Buddha to Krishna( Life and Times of George Keyt (Routledge, 2017) ය.

ජෝජ් කීට්: චිත්‍ර ශිල්පියකුගේ ජීවිතය චිත්‍රයට නඟන්නට

මෙකී පර්යේෂණ ඉතා නිරවද්‍ය වුවත් කීට් පිළිබඳ ඉස්මතු නොවුණු තවත් කරුණු කාරණා බොහොමයකි. කීට්ගේ පෙර කිසිදිනෙක පළ නො වූ චිත්‍ර හා කලා කෘති එක් කරමින්, ආසියානු කලාව හා ආසියාව තුළ සංස්කෘතික නූතනවාදයේ ගමන්මග ඇතුළත් කරමින්, ඔහුගේ ජීවිතය හා කර්තව්‍යය පිටුපස සන්දර්භය The Absence of a Desired Image නමින් ග්‍රන්ථාරූඪ කිරීමට ආචාර්ය සිංහරාජ තම්මිට-දෙල්ගොඩයන් පෙළඹෙන්නේ මෙවන් පසුබිමක දී ය.

Taprobane Collection මගින් පළ කරන ලදුව, ආචාර්ය තම්මිට-දෙල්ගොඩගේ ග්‍රන්ථය හොඳින් පර්යේෂිත හා විස්තීර්ණ සැකසුමකි. පර්යේෂක උදිත දේවප්‍රියගේ පර්යේෂණ සම්බන්ධීකාරකත්වය යටතේ පර්යේෂණ හිඩැස් කිහිපයක් ම පුරවමින්, එය අපට නූතන ආසියානු කලාව සඳහා කීට්ගේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ම දායකත්වය ආවර්ජනා කිරීමට අවස්ථාවක් ලබා දේ.

The Absence of a Desired Image තව ද කීට්ගේ මුල් ලේඛන හා සිතුවම් විදහා දක්වන අතර බුද්ධාගම හා සිංහල සංස්කෘතිය ගැන කීට් තුළ ඔද වැඩෙමින් තිබූ වටහාගැනීම පිළිබඳ අවබෝධයක් අපට ලබාදෙමින්, ඔහුගේ මුල් ජීවිතය හා ඔහු ව හැඩගැස්වූ ආභාසය පහදා දෙයි. කර්තෘවරයා කීට් ප්‍රතිචාර දැක්වූ හා එහි අත්හදා බැලීම හා නවෝත්පාදනය අවශෝෂණය කරගත් ශෛලිය ලුහුබඳිමින්, නූතනවාදය හා නූතන කලාව තුළ ඔහුගේ ගිලීම සටහන් කිරීමට සමත් වී තිබේ.

කීට් නිදර්ශනය කළ සමහරක් ප්‍රකාශන මහජන දර්ශනයෙන් සම්පූර්ණයෙන් ම පාහේ අතුරුදන් වී ඇත. වඩාත් වැදගත් ම දේවලින් එකක් නම් එතරම් ප්‍රකට නො වන නිර්මාණයක් වන, මුල්ක් රාජ් ආනන්ද් සමඟ එක් ව කළ The Story of India (Kutub Publishers, බොම්බාය, 1949) ය. එහි ඉන්දීය ඉතිහාසයේ අවධීන් නිදර්ශනය කරමින් කීට් විසින් ඇඳි චිත්‍ර 50ක් වත් අඩංගු වේ.

පිටු 464ක ඇති පරිච්ඡේද 18ක් සමඟ, George Keyt The Absence of a Desired Image හරවත් කර්තව්‍යයකි. එය පෙර කිසි ම දිනෙක පළ නො වූ කරුණු ඇතුළත් කරමින්, මුළුමනින් ම පර්යේෂණය කොට තිබේ. පෙර පර්යේෂකයින් විසින් ඇඳි කීට් ඔහුගේ ජීවිතයේ චිත්‍රය ආචාර්ය තම්මිට-දෙල්ගොඩ සම්පූර්ණ කරන ලදී. බුද්ධිමය දස්කමක් මෙන් ම ඔහුගේ ග්‍රන්ථය දෘශ්‍යමාන ප්‍රදර්ශනයකි.

උත්පල විජේසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment