ජෝතිගේ සිංදු අහන්න මහතුන් අයියාගේ තොටළඟ කඩේ ළඟට එන්න

275

මා ලැබූ ජීවිතයේ… සැනසුම ඔබ සතුවේ…

සුදෝ ඔබ මොනවා කළත් අහිතක් නැහැ හිතුවේ…

අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන්ගේ මියුරු ගීතයක් කනවැකුණු මම මොහොතක් නතර වූයෙමි. එසේ නතර වූයේ තොටළඟ හන්දියේ බස් නැවතුම්පොළ අසල පිහිටි කෑම කඩය අසලය.

එය කුඩා ලෑලි කඩයකි. කඩය ඉදිරිපිට සුදු පැහැති සරමකින් සහ සුදු පැහැති දැල් බැනියමකින් සැරසුණු පුද්ගලයකු සිටී. කොටි දතක් සහිත රන්මාලයක් පැලඳ එක් අතක ඇඟිලි හතරට රත්තරන් මුදු පැලඳ අනෙක් අතෙහි රන් දම්වැලක් දමාගෙන, දුම්වැටියක් උරමින් උජාරුවට සිටින ඔහු මෙම කඩයෙහි හිමිකරු විය හැකියැයි මම අනුමාන කළෙමි.

ජෝතිගේ සින්දු අහනවා වගේ… මම ඔහු ළඟට ගොස් පැවසුවෙමි. මොනවද සර්.. ජීවිතේ විනෝදෙන් ඉන්න නම් ජෝතිගේ සින්දු අහන්න ඕනේ. මම මේ කඩේ උදේ 6.30 සිට රෑ 10.00 පමණ වනතුරු ඇරලා තියෙන්නේ. ඒ වෙනකම් එක දිගට ජෝතිගේ සින්දු තමයි දාලා තියෙන්නේ, ඔහු පැවසීය.

මෙලෙස වෙළෙඳාමේ යෙදෙන ඔහු ගැන විමසන්නට මට සිත් යොමු විය. මහතුන් අයියා ලෙසින් තොටළඟ ප්‍රදේශයේ ජනප්‍රිය වී සිටින ඔහු නමින් අටලුගමගේ උපසේන ය.

දරුවන් තිදෙනකුගේ පියෙකු වන ඔහුගේ බිරිඳ කාදර් ෆාතීමා බීබීය. ජාතික කඩදාසි සංස්ථාවේ වසර 14ක සේවයෙන් පසු ඔහු මෙතෙක් තම බිරිඳ වසර 30ක් තිස්සේ පවත්වා ගෙන ආ කෑම කඩය පවත්වාගෙන යන්නට සහායට එක්වී ඇත.

මගේ උපන්ගම සේදවත්ත. ගාමිණී මහ විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවේ. ලොකුවට ඉගෙන ගත්තේ නැහැ. අට පාස්වුණාට පස්සේ විංකල් වැඩ (පාපැදි අලුත්වැඩියාව) කරන්න පටන් ගත්තා.

ඊට පස්සේ ජාතික කඩදාසි සංස්ථාවේ සේවයට ගියා. ඒ අතරේ මම පොඩි පොඩි බිස්නස් වැඩක් කළා. මට තොටළඟ පදික වේදිකාවේ කඩ දහයක් විතර තිබුණා. ඒවා දවස් කුලියට රෙදි විකුණන අයට තොරොම්බොල් විකුණන අයට දුන්නා. දවසේ කුලිය රුපියල් 50යි, 100යි. මහතුන් අයියා තම ජීවන චරිතය ගැන අප සමග පවසන්නට විය.

රස්සාවෙන් අස්වෙලා කඩේ කරන්න පටන් ගත්තාට පස්සේ මම අලුත්ම කැසට් රේඩියෝ යන්ත්‍රයක් මිලදී ගෙන කඩේට ගෙනැවිත් තබා ජෝතිපාල මහතාගේ ගීත දාන්න පටන් ගත්තා.

ඒ සඳහා මට හොඳ ප්‍රතිචාර ලැබුණා. සමහරු කඩේට එන්නේ කෑම කන්න නෙමෙයි, ගීත අහන්න. මහතුන් අයියා ජෝතිගේ සින්දු අහනකොට අපේ බඩ පිරෙනවා කියා සමහරු මට කියනවා යැයි මහතුන් අයියා තමාට ලැබෙන ප්‍රතිචාර ගැන පවසන්නට විය.

තොටළඟ කියන්නේ පාතාලයේ සාමාජිකයන් ඉන්න මත්ද්‍රව්‍ය විකුණන අය සහ ඊට ඇබ්බැහිවූවන් සිටින ප්‍රදේශයක් ලෙස බොහෝදෙනා පවසනවා. බිස්නස් කරන එක ලේසි නැහැ නේද? මම විමසුවෙමි.

මගේ උපන්ගම නොවුණට පුංචි කාලේ ඉඳලා මම හැදුනෙ වැඩුනෙ තොටළඟ. ඒ හින්දා ඔය කවුරුත් මට මුකුත් කියන්නෙ නැහැ. ආ මහතුන් අයියා කියලා කවුරුත් කටපුරා මට කතා කරනවා. එහෙම නැත්නම් මේ අවට වෙළෙඳාම් කරන්න අමාරුයි. ලයිට් කණුවෙනුත් කප්පම් ගන්න අය ඉන්නේ. මහතුන් අයියා සිනහ සෙමින් පිළිතුරු දුනි.

තොටළඟ, කොළඹ, මීගමුව ප්‍රධාන මාර්ගයේ බෝ ගහ අසල පිහිටි බස් නැවතුමට යාබද මහතුන් අයියාගේ කෑම කඩය කොයි කා අතරත් ජනප්‍රිය නිසා බොහෝ පිරිස් නිතර ඒ අවට ගැවසෙති. එසේ ගැවසෙන අය අතර යාචකයන් කිහිපදෙනෙක් ද සිටිනු දැකගත හැකි විය. කිහිලිකරුවලින් යන ආබාධිතයන් දෑත් අහිමි වූවන් ද ඒ අතර විය.

මම ඔවුන් ගැන මහතුන් අයියා ගෙන් විමසුවෙමි. ඔය හිඟාකන අය තොටළඟ අය නෙමෙයි. කොළඹ පිටකොටුව, වත්තල වැනි ප්‍රදේශවල පදිංචිකරුවන්. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ස්ථීර පදිංචියක් නැති ගෙයක් දොරක් නැති අය තමයි මේ විදිහට හිඟා කන්නේ. සමහරු හිඟා කන්න පහසුවක් විදිහට කෝච්චියට අතපය හසු කරගෙන ආබාධ තත්ත්වයට පත්කර ගන්නවා. ආබාධිත කියලා ඒ අයට අනුකම්පා කරලා සමහරු මුදල් දෙනවා, කෑම පාර්සල් දෙනවා. මේ කිසිම කෙනෙක් ඇත්තට ම උපතින් ආබාධිත තත්ත්වයට පත්වෙච්ච අය නෙමෙයි. හිඟා කන්න පහසුවක් විදිහට ආබාධිත තත්ත්වයට පත්වෙච්ච අය. මගේ පැනයට මහතුන් අයියා පිළිතුරු දුන්නේ එලෙසිනි.

ජෝතිගේ සිංදු අහන්න මහතුන් අයියාගේ තොටළඟ කඩේ ළඟට එන්න

කොටි දතක් සහිත රන්මාලයක් පැලඳ සිටීම ගැන විමසූවිට මහතුන් අයියා පැවසුවේ තමා පැලඳ සිටින්නේ සැබෑ කොටි දතක් බවත්, ඉන් තමාට ආරක්ෂාවක් ලැබෙන බවත්ය.

සමහරු පොඩි පොඩි වචන හුවමාරු වූවිට මාත් සමග රණ්ඩුවට එනවා. මගේ කොටි දත සහිත මාලය දැකලා ඒ අය ටිකක් පසු බසිනවා. පස්සෙ බලාගමු මහතුන් අයියා කියලා හෙමින් සීරුවේ මාරුවෙලා යනවා යැයි ඉන් තමාට ලැබුණු රැකවරණයේ අත්දැකීම් මහතුන් අයියා සිහිපත් කළේය.

එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීත අඛණ්ඩව සිය කැසට් යන්ත්‍රයෙන් වාදනය කළත් ඔහු නිහාල් නෙල්සන් සහ මොහිදින් බෙග් ගායකයන්ගේ ගීත රසවිඳීම ද සිදුකරන බව පවසයි.

වැඩිදෙනෙක් කැමැති ජෝතිපාලගේ ගීත අහන්න. සමහරදාට කැසට් යන්ත්‍රය රත්වී ස්වයංක්‍රියාව නතර වූවිට මහතුන් අයියා මොකද අද ජෝතිගේ සින්දු නැත්තේ කියලා අහනවා. ඒ හින්දා මම වෙන ගායකයන්ගේ ගීත කෑම කඩයේ කැසට් යන්ත්‍රයෙන් ප්‍රචාරය කරන්නෙ නැහැ යැයි මහතුන් අයියා කීවේය. ඔහු සතුව ජෝතිපාලයන්ගේ ගීත තුන්සියයක් පමණ ඇතැයි සඳහන් කළේය.

පොලිසිය මහත්වරු සහ හමුදාවේ මහත්වරු මගේ කඩේ අසල රාජකාරි ඉන්න කොට මට කියනවා, ඔයා හොඳ ජෝති රසිකයෙක් නේද? අපිත් ආසයි ඒ ගීත අහන්න කියලා. සමහරු ගීත අහමින් ඉඳලා බස් රථයත් මඟ හැරගෙන තියෙනවා. මහතුන් අයියා තමාට ලැබෙන ප්‍රතිචාර ගැන සිහිපත් කළේ සතුට සිතිනි.

ඉතිං… මේ අපූරු රසිකයා සහ ව්‍යාපාරිකයා සමග වැඩිදුර සම්බන්ධතා පැවැත්වීමට මම ඔහුගේ ජංගම දුරකථන අංකය ඉල්ලු වෙමි. අනේ සර්… මම දැන් ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. ඒක දඩ ගොඩක්. සමහර පොලිස් මහත්වරු සහ හමුදාවේ මහත්වරු මගේ කඩේ ළඟදී ගන්න බැරි කප්පම් ඉල්ලන්නේ දුරකථනයෙන් කතා කරලා. රෑට කතා කරලා අරක්කු බෝතලයක්, බයිට් එකක් ඉල්ලනවා. හැබැයි කඩේ ගාවදි ඉල්ලන්නෙ නැහැ.

මම ලොකුවට සල්ලි හම්බ කරන්නෙ නැහැ. බත් පාර්සලයක් විකුණන්නෙ රුපියල් 150ට. එළවළු දෙක්ක සහ මැල්ලුමක් එහි තියෙනවා. මගේ නෝනා තමයි උයන්නෙ. අපි දවසකට බත් පාර්සල් 20ක් විතර තමයි හදන්නේ.

දන්වනනේ මේ අවට ඉන්නේ සල්ලිකාරයෝ නෙමෙයිනෙ. එදාවේල හොයාගන්න අයනෙ. ඒ හින්දා මම කාටවත් කප්පම් දෙන්නෙ නැහැ.

මම කාටවත් ණයත් නැහැ. මගේ පාඩුවේ ජීවත් වෙනවා. බජාර් බැහැලා චණ්ඩියා වෙන්න ගියොත් වැඩි කාලයක් ජීවත් වෙන්න බැහැ. ඒ හින්දා දැහැමින් සෙමින් ජීවත් වෙනවා. මහතුන් අයියා නමැති මෙමඅපූරු මිනිසා අවසන් වශයෙන් පැවසීය.

මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්….

ජෝතිපාලයන්ගේ තවත් රසවත් ගීතයක් රස විඳිමින් අපි ඔහුගෙන් සමුගතිමු.

උපාලි ද සේරම්

පිංතුර – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment