ජෝතිමත් ජෝති ගී

204

සිය ජීවන වේදිකාවෙන් බැස ගොස් දස වස් තුනකට ආසන්න කාලයකට පසුව වුව එච්. ආර්. ජෝතිපාල යනු එදා සේම ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටින ගායකයෙකි. ඒ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් වනුයේ එකල අප රටේ විශේෂ තැනක තිබූ ජනප්‍රිය එහෙමත් නැති නම් වානිජ සිනමාව නමින් හැඳින් වූ සිනමා නිර්මාන වල පසුබිම් ගායනය සඳහා ඔහු කළ දායකත්වයයි. ඒ ඔස්සේ ලැබූ ජනප්‍රියත්වයත් සමගම ඒ ගී ආරට සමාන ස්වතන්ත්‍ර ගී රැසක්ද ඔහු බිහි කළේ විශේෂයෙන් සිනමාව හරහා ඔහු වටා රොක්වණු රසික පිරිස ඉලක්ක කොටගෙනමය.

ජෝතිපාල යනු ගැලරියට සිංදු කියන, සුභාවිත ගීත රසිකයාට ගෝචර නොවන ගායකයෙකි ලෙසින් යම් යම් අදහස් දැක්වූ සමහරුන් පසු කලෙක ඒ අදහස් සම්පූර්ණයෙන්ම හෝ යම් මට්ටමකට වෙනස් කරගන්නට පෙළඹිනි.

එය එසේ වෙද්දී ජෝතිපාල යනු විශිෂ්ට ගායකයෙකිය යන්න දිගින් දිගටම ප්‍රකාශ කළ අයද මේ අතර සිටියහ. මේ දෙයාකර අදහස් අතරේ, කවර විවේචනයන්ට බඳුන් වුවද මා මේ පිළිබඳව දරන්නේ මිශ්‍ර අදහසකි. පසු කලෙක මතු වූ ජනප්‍රිය අදහස් මත පිහිටා මා සිතට අවංකව දැනෙන දේ හඟවා ගත යුතු නැත. දහස් ගණනක් වූ ජෝතිගේ ගීත වලින් අති බහුතරය අප මෙහි කතා කරන ඔහුගේම ගීත රැස හා සම මට්ටමෙහි ලා සැලකිය නොහැකි ඒවාය.

මා ඒ තක්සේරුව දෙන්නේ ජෝතිට නොව ජෝතිගේ වැඩිමනත් ගී වලටය. බොහෝ අය වර්තමානයේදී ඒ ගැන කියන්නට බිය වන්නේ පසු කලෙක සංගීත ක්ෂේත්‍රයේ අතිශය ප්‍රබලයින් කිහිප දෙනෙකු ජෝති වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම නිසාය. එවන් පිරිසක් තරයේ අදහස් දක්වමින් පෙර අර අදහස් දැක්වූ පිරිසට වැටෙන්නට පහර දෙන්නට සමත් වූ නිසාම පෙර වෙනස් අදහස් දැක්වූ අය පවා පසුව ටික ටික තම අදහස් වෙනස් කරගනිමින් ජෝති ගේ ගුණ ගයන්නටද පටන් ගත්හ.

ඔවුන්ගේ ඒ පෙනී සිටීමෙන් ජෝතිගේ සියලු ගී නිදොස් කොට නිදහස් නොවේ. කවුරුන් කෙසේ කීවත් ඔහුගේ ගීත යම් පමණක් හැර අති බහුතරය මේ කතා බස් අසලට වැද්දා ගත නොයුතු තරමේ ඒවාය. ඒ ගීත එසේ වූයේ ප්‍රධාන වශයෙන් අර්ථ ශූන්‍ය වීමෙනි. ඒවා වැඩි වශයෙන් චිත්‍රපට ගීතය. සමහර චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ගීතයේ අරුත් නොතකා කුමන හෝ වචන ටිකකට තනුවක් සහ සංගීතය යොදා ජෝති ට කියා ගායනා කරවා ගැනීම සෑහේ යැයි සිතූ බැවිනි.

ජෝති තමන් ගයන සෑම ගීයකටම පාහේ තමන්ගේ ගායන හැකියාවෙන් උපරිම සැරසිල්ලක් කිරීමට උත්සාහ කළ ගායකයෙකි. ගායන හැකියාව මත පමණක් පිහිටා විමසුවහොත් ඔහු විශිෂ්ට ගායකයෙකු වෙයි. ගායන හැකියාව පමණක් ගායකයෙකු විශිෂ්ටත්වය කරා ගෙන යයිද යන්න මට වෙනම ඇති ගැටළුවකි.

ඔහු විශිෂ්ඨ ගායකයෙකු කරන්නට තම ගීත ධාරාවේ අරුත්පිරි බව සහ ඒවාගේ දෘෂ්ඨියද වැදගත් යැයි සිතමි. නිර්මාණ ධාරාවේ දෘෂ්ඨිය තීරණය වන්නේ නිර්මාණකරුවාගේ දෘෂ්ඨිය ද මත ය. ජෝති තමන් විසින් ගැයූ ගී පිළිබඳ එවැනි දෘෂ්ඨියක සිටියා නම් ඔහුගේ විශිෂ්ඨත්වය කියා නිම කල නොහැකිය. එහෙත් අවාසනාවට ඔහු එවැනි තැනක සිට නැති බව ඒ බොහෝ ගී විමසීමේදී පෙනී යයි.

විශිෂ්ටතම සංගීතඥයින් වන පණ්ඩිත් අමරදේව, ආචාර්ය කේමදාස, සරත් දසනායක, ෂෙල්ටන් ප්‍රේමරත්න, බී. එස්. පෙරේරා, ලයනල් අල්ගම, පී. වී. නන්දසිරි ආදීන් සංගීතවත් කළ ගීත ද ජොති ගේ ගීත අතර අපට හමුවෙයි.

ජෝතිගේ දහස් ගණන් ගී අතර හමුවන අඩු සංඛ්‍යාවකින් මුත් වන විශිෂ්ට ගී නිර්මාණ ජෝති නමට ගොනු කිරීමට ඔවුනගෙන් ලද දායකත්වය වෙසෙස් ය. ජෝති ගේ ගායන හැකියාව ඉතා විශිෂ්ඨය. ඔහු ගීත ගයයි. සින්දු හැපීම සිදු නොකරයි. ජෝති සමග සමහර ගායකයින්ට හැරෙන්නටවත් බැරිය යනුවෙන් කීවේ ආචාර්ය කේමදාසයන් ය.

සරත් දසනායක ද ජෝති ගේ ගායන හැකියාව පිළිබඳව නොබියව අදහස් දැක්වූ තවත් අති ප්‍රබලයෙකි. මේ දැවැන්තයින් දෙදෙනා නිසා කලක් ජෝති ට පවරා තිබූ පීචං ගායකයා යන නම සුනු විසුනු විය. එය පැසසුමට කරුණකි. මන්ද යත් දහස් ගණනක් අවර ඝනයේ ගීත ඔහු විසින් ගයා තිබුණේ වුවද, මැණික් ඉල්ලමේ වැඩිපුරම ඇත්තේ තිරිවානා ගල් වුවද, තිරිවානා ගල් අතරේ තිබුනේ වුව මිනි කැට හමු වුව හොත් ඒවා මිනිකැටමය. ජෝති ගේ ගී ඉල්ලමේ බහුතර නිර්මාණ තිරිවානා ගල් වැනි වුව මිනි කැට වැනි අති සොඳුරු ගීත රැසකුත් අපට හමු වන නිසාය.

ජෝතිපාලයන් සරත් දසනායක, ආචාර්ය කේමදාස, පණ්ඩිත් අමරදේව වැන්නවුන්ගේ තනු රචනා ගයන විට ඔහු සතු ගායන ගුණය වඩාත් කැපී පෙනේ.

කන්දෙන් කන්දට ලන්දෙන් ලන්දට
මල්මුවරද රස විසිරී යනවා

ආචාර්ය අමරදේවයන් සංගීතවත් කළ ගීතයකි. එය අපට හමු වන්නේ 1975 දී තරගත වූ තරංගා සිනමා පටයේදීය. ජෝති යනු වානිජ හෙවත් ජනප්‍රිය නම් වූ ඛාණ්ඩයේ චිත්‍රපට ගී ගායනයෙදී අපට සිටි දැවැන්තම චරිතයයි. විජය සහ ගාමිණී ගේ රංගනය අහිමිවීමත් සරත් දසනායක ගේ සංගීතය අහිමි වීමත් ජෝති ගේ ගැයුම් අහිමි වීමත් සමග ජනප්‍රිය සිනමාව කඩා වැටීම මත මොවුන් ඊට සැපයූ දායකත්වය මනාව පැහැදිලි වේ.

ජෝතිගේ චිත්‍රපට පසුබිම් ගී වල ඇති විශේෂත්වය වන්නේ ඔහු ඒවා ගැයීමේදී එම ජවනිකාවල යෙදුන ප්‍රධාන නළුවන් කිහිප දෙනෙකුටම ඔහුගේ හඬ මනාව ගැලපීමයි. විජය, ගාමිනී, රවීන්ද්‍ර, තිස්ස විජේසුරේන්ද්‍ර වැනි එකල එවැනි චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟ දැක්වූ නළුවන් හට ඒ හඬ නියමෙටම ගැලපුනි. එසේම ලතා, ඇන්ජලීන්, සුජාතා, ශ්‍රීමතී වැනි ගායිකාවන් සමග යුග ගී ගැයීමටද ඒ හඬ මනාව ගැලපුනි. තවද අදාල ජවනිකාවට ඔහුගේ හඬ පෞරුෂයෙන් විශාල අලංකාරයක් ලැබුණි.

කේමදාසයන් සංගීතවත් කළ දුලීකා චිත්‍රපටයෙහි විශිෂ්ට ගීත කිහිපයක් හමුවෙයි. එහෙත් එහි එන දුලීකා නමින් වන ගීත දෙක ගත් විට ඉන් කුමකින් කුමක් අංක එකට තෝරන්නදැයි සිතෙන තරම් සොඳුරු ගී වෙයි. එකක් මද රිද්ම හැඟීම් ගායනයකි. එය ගයන්නේ සනත් නන්දසිරි විසිනි.

සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ වෙළුනා…
දුලීකා…… දුලීකා…… දුලීකා…… දුලීකා….

අනෙක් දුලීකා ගීතය තරමක වේග රිද්ම ගීතයකි. එයය ජෝති විසින් ගයන්නේ.

ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා…… දුලීකා…… දුලීකා…… දුලීකා….

අදාල ගායකයින් දෙදෙනා මේ වෙනස් ආරේ ගීත දෙකට සිය හඬ පෞරුෂය මනාව දායක කර ඇත. මේ දෙදෙනාට මේ ගී දෙක මාරු කර දුන්නා නම් සම්පූර්ණයෙන්ම අසාර්ථක වන්නට වුව ඉඩ තිබුණි. එහෙත් තෝරා ගැනීම හරියටම සිදුව ඇත.

අනෙකුත් සංගීතඥයින්ගේ ගී වුවද ඒවාගේ අරුත් රසයට වඩා තනුව සහ සංගීතයද ගායනයද සලකා විමසුවහොත් ඒවාගේ වුවද ප්‍රකට වන්නේ ඔහුගේ සුවිශේෂී ගායන හැකියාවයි.

සොඳුරු ලොවට මල් වැහැලා
තවුතිසාවෙ හද මැවිලා

එවැනි තවත් සොඳුරු ගීතයකි.

මෙම ගීතය අඩංගු වූයේ 1978 දී තිරගත වූ එච්. ඩී. ප්‍රේමරත්නයන් ගේ අපේක්ෂා චිත්‍රපටයෙහිය. එහි සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ක්ලැරන්ස් විජේවර්ධන යි. ජෝති සමග ගීතය ගයන්නේ සුජාතා අත්තනායක විසිනි. මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂනය කළ සේන සමරසිංහ ගේ නිෂ්පාදනයක් වන සදහටම ඔබ මගේ චිත්‍රපටයේ අමරපෙම් ලතාවේ රන් මලක් උදාවේ ගීතය ජෝති සමග ගයන්නේ ඇන්ජලින් ගුණතිලක ය. මෙම ගීතයේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ සරත් දසනායක ය. එය ඔහුගේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂනයයි.

වාසනා චිත්‍රපටයේ, ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා ගීතයද එමෙන්ම මියුරු ගීතයකි. .

මෙහි ඇත්තේ ප්‍රමෝදමත් බවය. අරුතට වඩා රිද්මයටත් ගැයුමටත් මුල්තැන දී ඇති බව පෙනේ. එය සිනමා කෘතියේ අවශ්‍යතාව සලකා කළ දෙයක් බව වැටහෙනු ඇත.

මේ ගී ගායනා අසන විට ජෝති ඉතා හැඟිමෙන් සහ ප්‍රේමනීය බව විසුරුවමින් ගයන බව වැටහෙනු ඇත. වානිජ හෙවත් ජනප්‍රිය චිත්‍රපට ප්‍රවාහය තුළ ජෝති නාමයට ඉල්ලුම සැකසෙන්නේ ඒ හේතුවෙනි.

ආචාර්ය කේමදාසයන් සංගීත නිර්මාණය කල 1974 දී තිරගත වූ ලසඳා චිත්‍රපටයේ එන මා ප්‍රාර්ථනා ආශාවෝ – ආරාධනා ඇසුනාදෝ විශිෂ්ට මට්ටමේ ගීතය ගයන්නේ ජෝති සමග ඇන්ජලීන් ය.

චන්දන ඇල්ලෙන් නාලා අංජන මල් මී ගාලා

අති සුන්දර ගීය අපට හමු වන්නේ සුජීවා චිත්‍රපටයෙනි. ගලගෙදර එම්. එම්. ඒ. හක් විසින් තනු රචනා කරන්නට යෙදුනු මෙහි සංගීත නිර්මාණය ටී. එෆ්. ලතීෆ් ගෙනි. ගිතයේ ප්‍රධාන ශක්තිය එහි තනුවයි. කොතැනක සිටියත් ඔබ මෙලොවේ ගීතය ඔහුගේ තවත් ජනප්‍රිය ගීතයකි. මේ ගීතය හමු වන්නේ සැමියා බිරිඳගේ දෙවියාය චිත්‍රපටයෙනි. එය තිරගත වූයේ 1964 දිය. ජෝති ගේ බොහෝ ගී රිද්මයෙන් මදක් වැඩි ඒවාය. එහෙත් ඔහු ඉතා අඩු වේගයෙන් වැයෙන ගීද මනාව සහ හැඟුම් බරව ගයා ඇත.

ඉර සඳ වැඳලා නෙත් දෙක හැරලා
අත ඔබෙ නළලෙ තියා

එවන් ගීතයකි. එහි තනුව ඉතාම මියුරු සහ හැඟුම් බරය. ජෝති ගේ ගායනය ඒ සියල්ල අබිබවා නැගී සිටි. ඔහු ආදරෙයි කියන විට ආදරය වෑහේ. මේ ගිතයේ සහාය ගායිකාව වන්නේ ඇන්ජලින් ගුණතික ය.

මේ ජීවනයේ – මුළු සංසාරේ යනු අඩු ළයෙන් වැයෙන ගීයකි. ඒ, අම්මා ගැන ජෝති ගේ අර්ථකථනයයි.

● ටජ්මහලක් තනවන්න නෑ මට,
● මල් පිබිදෙන එක වසන්ත සමයක,
● හද විමන් දොරින් එන පැතුම් පවන්,
● එපා එන්න කියලා මොකෝ මැණිකේ කීවේ,
● කීවෙම් ඔබ හට සිය දහස් වර,
● කල්ක් තිස්සේ සිතක් පතුළේ,
● දිය පොදක් වෙමින්,
● ඔබේ පෙම් වදන් නෑ,
● ආදර මධුර අතීතේ,
● නින්ද නේන රාත්‍රියේ,
● පායා ඇයි හිනැහෙන්නේ,
● ටජ්මහලක්,
● හඬන්නේ ඇයි සුදු මැණිකේ

එසේම මිනිසුන් අතර මිනිහෙක් චිත්‍රපටයේ මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ තවත් එවැනිම සුන්දර රස වෑහෙන ගීත රැසකි.

මේ සියළු ගී ඔහු ඉතා හොඳින් සහ රස වෑහෙන අයුරින් ගයා ඇත. ඉතා පැහැදිලි හැඟුරෑම්බර හඬකින් ඒවා ගයා ඇත. එහි රසය අනූනය. පෞරුෂයෙන් යුක්තය. එහි ගායනය පිළිබඳව කිසිවෙකුගේ තර්කයක් නැත. මේ ගී වල අරුතට වඩා තනුව රිද්මය සංගීතයට වැඩි තැනක් ලැබී ඇති බව පෙනී යයි. මීට හේතුවක්ද වෙයි.

ජෝති ට බොහෝ විට ගායනය කරන්නට සිදු වූයේ වානිජ පරමාර්ථ පෙරදැරි චිත්‍රපට ගීතය. ඊ ළඟ කරුණ අනුකාරකවාදී ගීත දහස් ගණනක් ගයන්නට ඔහුට සිදුවීමයි. හින්දි සහ දෙමළ තනු අනුව රිද්මය සහ ශබ්දය පළමු කොටගෙන ලියැවුනු අර්ථය ගැන වැඩි දුර නොතැකූ හෝ කෙලෙසක වත් නොතැකූ ගී රැසකින් ඔහුගේ ගී මල්ල පිරී ගියේය. පසු කලෙක ස්වතන්ත්‍ර ගී නිර්මාණයේදී වුව අරුතින් බර පද වැල් ඔහු වෙත ලැබෙනවා වෙනුවට වෙනම රසික කැලක් ඉලක්ක කොට ගත් ගීත නිර්මාණයන්ය ඔහුට ලැබුණේ.

පෙර මා කී වෙසෙස් සංගීතඥයින්ගේ ඇසුරේ වුව ඔහු වඩාත් ගැයුවේ එවන් බර අරුත් නැති සැහැල්ලු විශේෂයෙන් ප්‍රමෝදමත් අරුත් සහිත ගීතයන්ය. ඔවුන් ඔහුගේ හැකියාවන් මනාව හඳුනාගෙන සිටියත් ඒ වෙනුවෙන් පෙනී සිටියත් ඔහුගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඒ කිසිවෙකුටත් අවස්ථාව හිමි වූ බවක් නොපෙනේ.

මේ බොහෝ නිර්මාණ කාර්යන්හිදී රසිකයා දකින්නේ නිර්මාණ කරුවන් සහ නිර්මාණ පමණි. ඊට යටි තලයේ ඇති බොහෝ දුෂ්කර සහ අමිහිරි කරුණු ඔවුන් නොදකී. ඔවුන් දකින්නේ මුතු ඇටයයි. මුතු බෙල්ලියකගේ මසට වැලි කැටයක් කා වැදුනු දා සිට මුතු බෙල්ලිය විඳින අපමණ දුකින් මුතු බිහිවන බව මුතු දකින්නන්ට එතරම් වැටහුමක් නැත.

නිර්මාණ පිටිපස අදිසි හස්ථය නිෂ්පාදකයාය. කුමන නිර්මාණකරුවා සිය නිර්මාණ කාර්යයකට අත ගැසුවද ඔහු ගේ බලයට අභියෝග කරණ අදිසි බලයක් නිෂ්පාදකයාට ඇත. නිර්මාණකරුවා ගේ බල පරාක්‍රමය මත මේ අදිසි බලය යම් මට්ටමකට සමනය කරගන්නට හැකියාව ලැබුණත් එය සියයට සියයක් මැඩ පවත්වීමට කිසිවෙකුත් අසමත් වන්නේ නිෂ්පාදකයෙකුද මේ නිර්මාණ කටයුත්තට අත්‍යවශ්‍ය වන බැවිනි.

ජෝති ගේ ගායන හැකියාව විශිෂ්ට එකක් වුව එය රාගධාරී ශාස්ත්‍රීය හැදියාවක් සහිත එකක් නොවේ. රාගධාරී ශාස්ත්‍රීය හැදියාවක් නොමැති වූවාට රසෙහි අඩුවක්ද නැත. ජෝති ශාස්ත්‍රීය ඌරුවක් සහිතව නිර්මාණය කළ ගී රැසක්ද ගයා ඇත.

රිදි වලාතුළින් එබී බැබලෙන රන් තාරකා ගීය ඉන් එකකි. සංගීතය පී. වී. නන්දසිරි ඇදුරිඳුන් විසිනි. ඔහු ශාස්ත්‍රීය පදනම මත පිහිටා සැදූ ගී දක්ෂ ලෙස හඳුනාගෙන තමන්ට හුරු නිදහස් ආරෙන් ගැයීමට දක්ෂයෙකු බව සනාථ වෙයි. ඒ අතරම ඒවා ශාස්ත්‍රීය ගැයුම් නොවන වගද සනාථ වෙයි.

ජෝති කුමන ආරක ගීයක් ගැයුවද සුන්දර ය. රස ය. ඒ රසය කියන්නට මා සටහන දුප්පත් ය.

වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර

ජෝතිමත් ජෝති ගී
advertistmentadvertistment
advertistmentadvertistment