ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ජුනි මස ඇරැඹේ

57

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කර ඇති ‘රිට්ස්බරි – ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන’ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියර ජූනි 13 සහ 14 යාපනයේ දී ආරම්භ කෙරේ.

ජූනි 13 සහ 14 යන දෙදින යාපනයේ සුප්‍රසිද්ධ දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ආරම්භක තරගාවලියට උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වෙති.

අවුරුදු 12 න් පහළ, 13 න් පහළ, 14 න් පහළ සහ 15 න් පහළ වයස් සීමාවන් යටතේ බාලක සහ බාලිකා තරග ඉසව් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.

මෙම තරගාවලියට අයදුම්පත්‍ර භාර ගැනීම මැයි 30 දක්වා පමණක් සිදු කෙරේ. සියලුම අයදුම්පත් තිරෝන් ඉන්දික ගමගේ මහතා, ලේකම්, ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය, කුලරත්න මධ්‍ය මහා විදුහල, ගොඩකවෙල යන ලිපිනයට යොමු කළ යුතුවේ.

මෙවර ‘ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා’ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මූලික වටය කලාප 05 ක දී පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබේ. එම තරග ආශ්‍රිතව ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන නොවැම්බර් මස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වෙන අවසාන තරගාවලිය සඳහා සහභාගි කරවා ගැනීමට තීරණය කර ඇත.

දකුණ, ඌව සහ සබරගමුව පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට සහභාගි විය හැකි වන පරිදි සංවිධානය කර ඇති මූලික වටයේ තරගාවලිය ජූලි 03, 04 සහ 05 යන දිනවල ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරෙන අතර මධ්‍යම පළාත සහ වයඹ පළාත මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය සහභාගි වන මූලික වටයේ තරගාවලිය ජූලි 12, 13 සහ 14 දිනවල වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේ දී ක්‍රියාත්මක කෙරේ.

කොළඹ සහ කළුතර දෙදිසාවේ ක්‍රීඩක ක්‍රීඩකාවන් සඳහා වන මූලික වටයේ තරගය ජූලි 26, 27 සහ 28 යන දිනවල බණ්ඩාරගම ජාතික ක්‍රීඩා සංකීර්ණ භූමියේදී ක්‍රියාත්මක කෙරෙන අතර නැගෙනහිර පළාතේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන මූලික වටයේ තරගාවලිය අගෝස්තු 03 සහ 04 මඩකලපුව වෙබ්බර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඇඹිලිපිටිය, මඩකලපුව, බණ්ඩාරගම සහ වෙන්නප්පුව යන ප්‍රදේශවලදී පැවැත්වෙන තරග සඳහා අයදුම්පත් භාර ගැනීම ජුනි මස 15 දින දක්වා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් තිරෝන් ඉන්දික ගමගේ මහතා පැවසීය.
සෙනුරි උපේක්ෂා හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment