ජෝර්දානයේ ඇඟලුම් කම්හල්වලින් එළියට වැටුණු 66ක් සියලු වරප්‍රසාද රැගෙන ලංකාවට එති

1919

ආයෝජකයෝ පැදුරටත් නොකියා මාරුවෙලා

මාස 9ක් පඩි ලැබුණේ නෑ

ජෝර්දාන් පොලිසිය අපට ගැහුවා

ජෝර්දානයේ පවත්වා ගෙන යමින් තිබූ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක ආයෝජකයන් එහි සේවය කළ සේවකයන්ට නොදන්වා අතුරුදන්වීම නිසා, වසා දැමීමට ලක් වී තිබූ එම කම්හල්වල, අසරණ වී සිටි සේවක සේවිකාවෝ 66 දෙනෙක් ඊයේ (09 දා) අලුයම, තමන්ට හිමි සියලුම වරප්‍රසාද ලබාගෙන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.

ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් නමැති මෙම කර්මාන්තශාලා පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතික ආයෝජකයන් කිසිවෙකුටත් නොදන්නා පලා යෑම නිසා එහි සේවය කළ ශ්‍රී ලාංකික, බංග්ලාදේශ, ඉන්දීය සහ නේපාල ජාතික සේවකයෝ වැටුප්, ආහාරපාන, ජලය, විදුලිය නොමැතිව අසරණ වූහ.

එහිදී මෙම කර්මාන්තශාලාවලින් ජැකට් සහ ටී ෂර්ට් මිලදී ගත් ඇමෙරිකානු ජාතික ව්‍යාපාරිකයකු මෙම කර්මාන්තශාලා සේවකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, එම සේවකයන්ට තම මව් රට බලා යන තෙක් උදව් උපකාර කර තිබේ.

මෙම කර්මාන්තශාලාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මැදිහත් වී, විශේෂඥ නීතිඥ සහාය ලබාදෙමින් ජෝර්දාන කම්කරු දෙපාර්තමේන්තුව සමග එකඟතා ඇති කර ගනිමින් කටයුතු කර තිබේ.

ඒ අනුව මෙම ශ්‍රී ලාංකික සේවකයන්ට ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ප්‍රවේශ පත්‍ර, හිඟ වැටුප්, නිවාඩු සඳහා ගෙවන වැටුප්, සමාජ ආරක්ෂණ දායක මුදල් මෙන්ම වීසා නොමැතිව එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් ගෙවිය යුතු දඩ මුදල් කපා හැරීම ඇතුළු සියලුම වරප්‍රසාද හිමි වී තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ මාතර බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි සුනේත්‍රා පත්මිණී මහත්මිය මෙසේ පැවසුවාය.

හිටි හැටියේ ම අපේ කර්මාන්තශාලාවේ අයිතිකරු, අපට නොදන්වා අතුරුදන් වුණා. කොහේ ගියා ද කියලා අපට හොයා ගන්න බැරි වුණා. එයාගේ ෆෝන් එක ආන්සර් කළේ නැහැ. මම ඒ ෆැක්ටරියේ කාර්යාලයේ වැඩ කළේ. අපිට මාස 09 ක් විතර පඩි ලැබුණේ නැහැ. අපේ ළමයි ස්ට්‍රයික් කළා. පාරට ඇවිත් උද්ඝෝෂණය කළා. අපිට ජෝර්දාන පොලිසිය ගැහුවා යැයි ද පැවසුවාය.

මේ අවස්ථාවේ මෙම පිරිස අතර සිටි පානදුර අජිත් පුෂ්පකුමාර මහතා මෙසේ පැවසීය.

අපිට අවුරුද්දක් විතර කන්න නැහැ. වතුර නැහැ. මේ කාලයේ ඒ රට හරිම ශීතලයි. අපි හුඟක් දුෂ්කරතාවලට ලක් වුණා. අපිට ලංකාවට එන්න, කන්න බොන්න, වතුර, විදුලිය ලබාදීලා උදව් කළේ ඇමෙරිකානු බයර් කෙනෙක්.

මෙසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරින් 61 දෙනෙකු කුවේට් සිට ඊයේ (09 දා) අලුයම 02.15 ට පැමිණි ජසීරා ගුවන් සේවයේ ජේ.- 9553 දරන ගුවන් යානයෙන් ද, තවත් 05 දෙනෙකු දෝහා සිට ඊයේ (09දා) අලුයම 02.55 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එසේම ජෝර්දානයේ වසා දැමූ කර්මාන්තශාලාවේ සේවය කළ ඉතිරි ශ්‍රී ලාංකිකයන් පිරිස ද ඉදිරි දින දෙක තුළ කටුනායක ගුවන්තොටුපොළ වෙත එවීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගනිමින් සිටිති.

මීට අමතරව ඩුබායි සිට එරට තානාපති කාර්යාලයේ රඳවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 17 දෙනෙකු ද ඊයේ (09දා) අලුයම 05.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මොවුන් සියලු දෙනා භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොළ කළමනාකරු අමරා මුතුකුමාරණ මහත්මිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment