ඥානසාර හිමිට ඇප නෑ

158

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙසට කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (2දා) ප්‍රතික්‍ෂේප කළේය.

විත්තිය ඉල්ලා සිටින පරිදි විත්තිකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂ කරුණු තම අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවට නිගමනය කළ විනිසුරුවරයා එම නියෝගය කළේය. ආගමික හා ජාතික සහජීවනයට හා සංහිඳියාවට හානිවන ආකාරයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීම ඇතුළු අධිචෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් පසුගිය 28 වැනිදා බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කර තිබිණි.

එම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනාවක් ගොනු කර ඇති බැවින් අභියාචනාවට යටත්ව සුදුසු ඇප කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින්නැයි විත්තිකාර හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම අභියාචනාව විභාග කොට තීන්දුවක් නිකුත් කිරීමට අවම වශයෙන් වසර 6 – 7 ක් හෝ ගතවන බවත් මහාධිකරණය නියම කළ වසර හතරක සිරදඬුවම වසර දෙකයි මාස කිහිපයක් ඇතුළත බන්ධනාගාර රෙගුලාසි අනුව අවසන් විය හැකි බවත් පැවසූ ජනාධිපති නීතිඥවරයා එම කරුණු මෙන්ම විත්තිකාර හිමියන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයද සුවිශේෂී කරුණු ලෙස සලකා ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

විත්තිකරුගේ අභියාචනාව විභාග කර තීන්දුවක් ලබාදීමට ගත විය හැකි කාලය සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවට අභියාචනාධිකරණය මින් පෙර නිකුත් කර ඇති තීන්දු අනුව සනාථ වන බවත් විත්තිකාර හිමියන්ගේ අසනීප තත්ත්වය සනාථ කළ හැකි කිසිදු වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් එම කරුණත් සුවිශේෂ කරුණක් ලෙස සැලකිය නොහැකි බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ චතුරංග බණ්ඩාර මහතා අධිකරණයට පැවසීය.

යම් අභියාචනාවක් ඉදිරිපත්වූ විට විත්ති පාර්ශ්වයට නොතිසි නිකුත් කර කැඳවා එය සලකා බැලීම අධිකරණයේ සම්ප්‍රදාය වන බැවින් ඒ සම්බන්ධයෙන් පැවසීමට ඇත්තේ කුමක් දැයි විනිසුරුවරයා රජයේ අධිනීතිඥවරයාගෙන් එම ඇප අයැදුම ඊයේ කැඳවූ මුල් අවස්ථාවේදීම විමසා සිටියේය. නීත්‍යානුකූලව, අධිකරණයේ නියෝගය පරිදි නිකුත් කළ නොතිසියක් තම දෙපාර්තමේන්තුවට නොලැබුණ නමුත් ඊයේ උදෑසන අභියාචකගේ නීතිඥවරුන් වාචිකව ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බැවින් අධිකරණයේ අභිමතය පරිදි එය සලකා බැලීමට තීරණය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව රජයේ අධිනීතිඥවරයා පැවසීය.

ඒ අනුව විත්තිකාර අභියාචක වෙනුවෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට අධිකරණය අවසර දුන්නේය. රජයේ උගත් අධිනීතිඥවරයා එම දෙපාර්තමේන්තුවේ වැදගත් සම්ප්‍රදාය ආරක්‍ෂා කරමින් පැමිණිල්ලේ කරුණු දැක්වීමට විරුද්ධත්වයක් නොදැක්වීම තමා අගය කරන බව පවසා කරුණු දැක්වීම ආරම්භ කළ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විත්තිකරුගේ රෝගී තත්ත්වයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදිය හැකි පහසුකම් බන්ධනාගාර රෝහල තුළ නොමැති බැවින් තමන් පෙර ඉදිරිපත් කළ කරුණු මෙන්ම එකී කරුණත් සානුකම්පිතව සලකා බලා ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති විත්තිකරු මේ වනවිට නඩු විභාගයකින් අනතුරුව අධිකරණය විසින් වරදකරු කර දඬුවම් නියම කළ අයකු බැවින් නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය ඔහුට නොමැති බවත් ඇප ලබා ගැනීමට ඒ සඳහා සුවිශේෂී කරුණු අභියාචක පාර්ශ්වය අධිකරණය හමුවේ සනාථ කළ යුතු බවත් රජයේ අධිනීතිඥවරයා පැවසීය.

තම අධිකරණය විසින් එකී විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව පසුගිය 28 වැනිදා නිකුත් කිරීමෙන් අනතුරුව අධිකරණයෙන් නික්ම ගොස් ඇත්තේ තීන්දුවට අත්සන් කිරීමකින් තොරව බවට සමහර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවත් එකී ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද ජනාධිපති නීතිඥවරයා කරුණු දැක්වීම ආරම්භ කිරීමට පෙර මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා කියා සිටියේය.

ඥානසාර හිමිට ඇප නෑ
හිමියන්ට සහාය පළකරමින් උසාවි භූමියට වැඩම කර සිටි මහා සංඝරත්නය

සියලු කරුණු විමසීමෙන් අනතුරුව 11.30ට පමණ අධිකරණ ශාලාවෙන් නික්ම ගිය විනිසුරුවරයා පස්වරු 1.05ට පමණ යළි අධිකරණයට පැමිණ එම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඉහළ අධිකරණය හමුවේ ගොනු කරනු ලබන අභියාචනා නඩු ප්‍රමාදවීම සුවිශේෂී කරුණු ලෙස සැලකිය නොහැකි බවට රජයේ අධිනීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු තම අධිකරණය සලකා බැලූ බවත් එම කරුණු සුවිශේෂී කරුණක් ලෙස සැලකීමට නොහැකි බවට තම අධිකරණයේද නිගමනය බවත් විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පැවසීය.

නීතිඥ චාන් කොඩිතුවක්කු, අෂාන් නානායක්කාර, තීශ්‍ය වේරගොඩ, සංජය ආරියදාස, ඉරේෂ් සෙනවිරත්න, සංජය මාරඹේ හා ළහිරු අබේසේකර යන නීතිඥ මණ්ඩලය සමග ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටියේය.

භික්‍ෂුන් වහන්සේ 25 නමකට අධික පිරිසක් එම අවස්ථාවේ අධිකරණයට සහ අධිකරණ භූමියට වැඩම කර සිටියහ.

සටහන සහ ඡායාරූපය ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment