ට්‍රම්ප්ගේ පහරවල් අපට වදින්නේ මෙහෙමයි

578

2025 පෙබරවාරි මස 09 වැනිදා ඉරිදා

ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගන්නා ලද තීන්දු කිහිපයක් නිසා ලෝකයට විශාල බලපෑමක් එල්ල වී තිබේ. ජනාධිපති වූ ගමන්ම ඔහු කළේ ඇමරිකාවේ සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් පලවා හැරීම සඳහා අවශ්‍ය නීති සකස් කිරීමය. දෙවනුව ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් විය. තුන් වෙනුව USAID සංවිධානය වසා දැමුවේය. USAID සංවිධානය වැසීමේ තීරණයත් සමගම ලොව පුරා රටවල තිබෙන රාජ්‍ය නොවන සංවිධානවලට හිඟා කෑමට සිදුවනවා ඇත. ඇමරිකාව එක්තරා කාලයක දී තුන්වන ලෝකයේ රටවල් පාලනය කළේ මේ කියන USAID සංවිධානය හරහාය. එම රටවල තිබෙන රාජ්‍ය නොවන සංවිධානවලට USAID සංවිධානය විශාල වශයෙන් ආධාර කළේය. එවිට එම රාජ්‍ය නොවන සංවිධාන තම රටේ ආණ්ඩුවලට විශාල බලපෑමක් කළේය. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික යුද්ධය පවතින සමයේ දී විශාල වශයෙන් රාජ්‍ය නොවන සංවිධාන පහළ විය. ඒ රාජ්‍ය නොවන සංවිධානවල කරදරය කොතරම් ද යත් ඒවා පාලනය කිරීම සඳහා වෙනම ලේකම් කාර්යාලයක් පවා විවෘත කිරීමට ආණ්ඩුවට සිදුවිය. මේ රටේ ජීවත් වූ ඇතැම් උගත් හොරු කොළඹින් කුඩා කාර්යාලයක් කුලියට ගෙන තමන් සාමය පිණිස කැපවෙන බව කියමින් යෝජනා පත්‍රයක් පිළියෙල කර එය USAID සංවිධානයට යවා ඩොලර් මිලියන ගණනින් ආධාර ලබා ගත්හ. මේ රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක සිටියේ එහි සභාපති සහ ලේකම් පමණි. USAID අරමුදල්වලින් ලබාගත් සැප වාහන දෙකක් ඒ දෙදෙනාටම විය.

ඒ අතර සාමය සඳහා කැපවුණු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සමග සාකච්ඡා පැවැත්වීම සඳහා මේ අය නිතරම විදේශ සංචාරවල නිරත විය. එකල ඇමරිකාව ලෝක ජනමතය මෙහෙයවීමේ දී මේ කියන රාජ්‍ය නොවන සංවිධානවල උදව් ලබාගත්හ. රටේ ජනාධිපති හෝ අගමැති කෙළින්ම හමුවී බලපෑම් කිරීමට තරම් හයියක් ඔවුනට තිබිණ. ලංකාවේ ජනවාර්ගික යුද්ධය අවසන් වීමත් සමගම මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන හෙවත් ‘සාම කඩ’ වසා දැමීමට සිදුවිය. මෙවැනි සාමකාරයෝ USAID සංවිධානයෙන් පමණක් නොව නෝර්වේ, ජපානය ඇතුළු ධනවත් රටවල් ගණනාවකින් ලබාගත් සල්ලි යුද්ධය අවසානයත් සමග අහිමි විය. ආණ්ඩුවේ හමුදාව මගින් ප්‍රභාකරන් ඝාතනය කිරීම නොඉවසිය හැකි තරම් දරුණු ලෙසට මේ සංවිධානවලට දැණින. එහෙත් රටට සේවයක් කරන රාජ්‍ය නොවන සංවිධාන රැසක් ද තිබේ. මේ සංවිධාන මගින් සිදු කරන්නේ යුද්ධයෙන් හෝ වෙනත් සමාජමය හේතූන් නිසා පීඩාවට පත් කුඩා දරුවන්ගේ සහ වැන්දඹු මව්වරුන්ගේ යහසාධනය පිණිස කටයුතු කිරීමය. වැන්දඹු මව්වරුන් වෙනුවෙන් වෘත්තීය පුහුණු ආයතන පටන් ගැනීමත්, මහ පාරට වැටුණු අනාථ දරුවන් සඳහා ආහාර, නවාතැන් සහ අධ්‍යාපනය ලබාදීමත් මේ සංවිධාන මගින් කෙරිණ. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් USAID සංවිධානය වසා දැමීමත් සමගම නරක එන්.ජී.ඕ. මෙන්ම හොඳ එන්.ජී.ඕ. ද නන්නත්තාර වී තිබේ. USAID සංවිධානයට ඍජු ලෙස සම්බන්ධවී පිටරටවල සේවය කරන ඇමරිකානුවෝ 10,500 කට ද ට්‍රම්ප්ගේ තීරණය නිසා රැකියා අහිමිවී තිබේ. මීට අමතරව එම සංවිධානවලට අනියමින් සම්බන්ධ වී සේවය කරන තවත් හත් අට ලක්‍ෂයකටම රැකියා නැතිවිය. මෙහිදී ට්‍රම්ප්ට ද කරන්නට දෙයක් නැත. හොඳ එකා මොකාද නරක එකා මොකාද යන්න තීන්දු කිරීම සඳහා අවශ්‍ය සමාජ පෙරහන්කඩය ඔහු සතුව නැත. ට්‍රම්ප් බැලුවේ තමන්ගේ රට පැත්තෙනි. USAID සංවිධානය හරහා නිකරුණේ විනාශ වන ඩොලර් බිලියන ගණනක් ඇමරිකාව තුළම තබා ගැනීම ඔහුගේ අරමුණ විය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ගහපු ගැහිල්ල සෙල්ලම් ගැහිල්ලක් නොවේ. ලංකා මුහුදු තීරයට පැමිණ මසුන් මැරීම වෙනත් රටවලට තහනම්ය. එහෙත් ඉන්දියාව මරණ තරමක් මසුන් මරා ගන්නේ ලංකා මුහුදු සීමාවට හොරෙන් ඇතුළු වීමෙනි. මෙසේ කියා ඒ චෞර ධීවරයන් සියලු දෙනාම සංහාරය කිරීමට ලංකාව කටයුතු කරන්නේ නැත. මන්ද එවැනි පියවරක් ගත්තොත් තමිල්නාඩුවේ ධීවරයන් බොහෝ දෙනකුට හිඟා කෑමට සිදුවේ. එවිට ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව අපත් සමග හැප්පීමට එනවා ඇත. සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නය ද යම් තරමකින් මෙයට සමාන ප්‍රශ්නයකි. ඇමරිකාව තුළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් මිලියන දෙකක් සිටින බව ඇමරිකන් ආණ්ඩුව කවදත් දැන සිටියේය. එහෙත් ඒ මිනිසුන් හොරෙන් ඇමරිකාව තුළට පැන තම බඩවියත පිරිමසා ගන්නා නිසා කවර ඇමරිකන් ආණ්ඩුවක්වත් එකී සංක්‍රමණිකයන්ට විරුද්ධ වුණේ නැත. ඇමරිකාවේ මෙවැනි පුරුද්දක් තිබේ; කිසියම් පුද්ගලයකු ප්‍රවාහන නීති කැඩීම වැනි සුළු වරදක් කර අධිකරණයට ඉදිරිපත් කළ විට එම තැනැත්තා කවර රටකින් පැමිණියේ ද, ඔහු නීතිවිරෝධී සංක්‍රමණිකයෙක් ද නැද්ද යන්න ඇමරිකන් අධිකරණය කවදාවත් විමසුවේ නැත. ඒ වෙනුවට නඩුකාරයා විසින් අසන ලද්දේ විත්තිකරු වරදකරු ද නැද්ද යන්න පමණි. ඇමරිකන් ආණ්ඩුව විත්තිකරුගේ අතීත කතාව පිළිබඳ සොයා බැලුවේ ඔහු හෝ ඇය ලිංගික දූෂණයකට හෝ මත්ද්‍රව්‍ය සිද්ධියකට හෝ මිනීමැරුමකට හෝ රාජ්‍යද්‍රෝහී ක්‍රියාවකට හෝ සම්බන්ධ නම් පමණි. මේ අනුව ඇමරිකාවේ සිටින සංක්‍රමණිකයන් ඇමරිකාවට ද සේවයක් කරමින් තමන් ද බඩ පුරවාගෙන තමන් උපන් රටවල සිටින දරු පවුල්වල යැපීම සඳහා මුදලක් යැවූහ. ට්‍රම්ප් සංක්‍රමණිකයන්ට ගහපු ගැහිල්ලට ඒ සියල්ල කුඩුපට්ටම් වී යනවා ඇත. ලංකාවට අයත් නීතිවිරෝධී සංක්‍රමණික වැසියන් තුන්දහස් ගණනක් ඇමරිකාවේ සිටිති. ඉදිරියේ දී මේ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන ලංකාවට නෙරපා හැරීමේ අවදානමක් පවතී. ට්‍රම්ප් ජාතිවාදියෙක් නොවේ. ඔහු ජාතිකවාදියෙකි. ඔහු බලන්නේ තමන්ගේ රට පැත්තෙනි. එවැනි මිනිසුන් බලයට පත්වූ විට මෙවැනි දේ වැළැක්වීමට නොහැක.


advertistmentadvertistment