ඇමරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස්ට වැඩි වාසි ගෙන දෙමින් නිමාවට පත් වූ ට්‍රම්ප් -හැරිස් ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරණ සජීවී රූපවාහිනී විවාදය වාර්තාගත අයුරින් රූපවාහිනී ප්‍රේක්ෂකයන් මිලියන 67.1ක් නරඹා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ජනමාධ්‍ය පර්යේෂණ ආයතනයක් වන නීල්සන් ආයතනයට අනුව ඇමරිකාවේ ඒ.බී.සී. රූපවාහිනී සේවය විසින් ඉකුත් අඟහරුවාදා පවත්වා ඇති එම දේශපාලන විවාදය නැරඹූ පිරිස ඉකුත් ජුනි මාසයේදී පැවති වත්මන් ජනාධිපති ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැති රූපවාහිනී විවාදය නැරඹූ ප්‍රේක්ෂක පිරිස ඉක්මවා ගොස් ඇත.
ඉකුත් ජුනි මාසයේ පැවැති බයිඩන්-ට්‍රම්ප් රූපවාහිනි විවාදය නරඹා තිබූ ප්‍රේක්ෂකයන්ගේ සංඛ්‍යාව මිලියන 51ක් බව ඇස්තමේන්තු කර තිබිණි. නිල්සන් ආයතනය විසින් පෙරේදා (11) නිකුත් කර තිබූ දත්තවලට අනුව ට්‍රම්ප්-හැරිස් විවාදය නැරඹූ මිලියන 67.1ක ජනතාවගෙන් මිලියන 41.3ක් දෙනා වයස අවුරුදු 55 හෝ එම වයස ඉක්මවූ අය වන අතර මිලියන 16.9ක් වයස අවුරුදු 35-44 වයස් ඛාණ්ඩයට අයත් වේ. නිල්සන් ආයතනයේ මෙම දත්ත මගින් අදාළ රූපවාහිනී විවාදය සමාජ මාධ්‍ය ජාල හා ස්ටි්‍රමින් පහසුකම් ඔස්සේ නැරඹූ ප්‍රේක්ෂක පිරිස ආවරණය නොවන බව විදෙස් මාධ්‍ය විසින් සඳහන් කර තිබේ. මේ අතර ඉකුත් අඟහරුවාදා පැවති ට්‍රම්ප්-හැරිස් විවාදය නැරඹූවන්ගෙන් සියයට 63ක් හැරිස් විසින් ට්‍රම්ප්ට වඩා හොඳින් විවාදය සිදු කළ බව සී.එන්.එන්. රූපවාහිනී සේවය මගින් සිදු කළ මත විමසුමකදී පවසා ඇති අතර සියයට 37ක් පවසා ඇත්තේ ට්‍රම්ප්ට විවාදය පැවති රාත්‍රිය යහපත් රාත්‍රියක් වූ බවයි. ට්‍රම්ප්-හැරිස් විවාදය විශාල පිරිසක් නරඹා ඇතත් මෙතෙක් වැඩිම රූපවාහිනී ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹා ඇති දේශපාලන විවාදය සේ සලකනුයේ 2016 වසරේ පැවති ට්‍රම්ප්-හිලරි ක්ලින්ටන් දේශපාලන විවදයයි. එම විවාදය නරඹා තිබූ රූපවාහිනි ප්‍රේක්ෂකයන්ගේ සංඛ්‍යාව මිලියන 84ක් බව වාර්තා වී තිබේ.
මේ අතර විවාදය අවසානයේ දේශපාලන විචාරකයන්ගේ මෙන්ම බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ උප ජනාධිපතිනි කමලා හැරිස් විවාදය ජයගත් බවයි. කෙසේ වුවද මෙම විවාදයේ ප්‍රතිපලය එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ද ප්‍රතිපලය වනු ඇතැයි කිසිවකු නොපවසන බවද වාර්තාවේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ